රටකට අපමණ අගයක් ඕනෑ යැයි කියන නායකයින් කිරි දරුවන් ඉන්න අම්මලා රට යවන්න හදන ප්‍රතිපත්තිය පිළිබඳව හා කිිරි අම්මලා රට යවලා හදන ආර්ථිකය කුමක්ද යන්න එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති විමසා සිටී. එමෙන්ම සිංගප්පූරු ගිවිසුම අත්සන් කර පිටරට මෑන් පවර් කොම්පැණිවලට පවා මෙරටට එන්න ඉඩ හදන ආණ්ඩුව අපේ රටේ කිරි දෙන මව්වරුන් පවා රට යවන්න හදන බවත් ඔහු සඳහන් කර සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති,
විදේශ රැකියා අමාත්‍යාංශයත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් අද අරාජික ආයතන බවට පත්වෙලා. ආණ්ඩුවේ බල අරගලය නිසා ඇමතිවරයාගේ පුටුව නියෝජ්‍ය ඇමතිවරයා අත්පත්කරගෙන. අමාත්‍යාංශයේ බිල්ඩිම තියෙන්නේ නියෝජ්‍ය ඇමතිගේ භාරයේ. ඇමතිවරයාගේ කටයුත්ත හරියට කෙරෙනවාද කියලා සැකයක් තියෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය් සභාපති ඉල්ලා අස්වෙලා. සභාපතිගේ වැඩ බලන්නේ අධ්යක්ෂවරයෙක්. මේ තත්වයන් තුළ එම ආයතනවලින් අවශ්‍ය කටයුතු නොකෙරෙන තත්වයක් ඇතිවෙලා තිබෙනවා.
මේ දිනවල විශේෂ මාතෘකාවක් බවට පත්වෙලා තිබෙන්නේ කාන්තාවන් විදේශගතවන විට සකස් කරන පවුල් වාර්තාව අහෝසි කරන්න ආණ්ඩුව සූදානම් වන එක. එම පවුල් වාර්තාව ග්‍රාමසේවකගේ මැදිහත්වීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සකස් කොට අනුමැතිය ලබාගන්නවා. අවුරුදු පහට අඩු දරුවන් සිටීම, විදේශ රටකට රැකියාව සඳහා යාමට සුදුසුද යන්න පිළිබඳව එම වාර්තාවේ විස්තර අඩංගු වෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවසර ලබාදෙන්නේ එම වාර්තාවට අනුවයි. මෙම පවුල් වාර්තාව නිසා කිරි දරුවන් සිටින අම්මලා විදෙස්ගතවීම වැළකුණා. පවුල් ආරවුල් ඇතිවීම වැළකුණා. නමුත් රටකට ඕනෑ අපමණ අගයක් කියලා හදපු ආණ්ඩුව කිරි දරුවන්ට අම්මලාගේ අගය නැතිකරන විදිහේ නීති සම්පාදනය කරනවා. පවුල් වාර්තාව අහෝසි කරලා ඕනෑම කාන්තාවක් රට යවන්න තැරැව්කරුවන්ට හා ඒජන්සිකරුවන්ට ඉඩ හදලා දෙන්නයි විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කරමින් ඉන්නේ. රටකට අපමණ අගයක් ඕනෑ කියන නායකයින් කිරි දරුවන් ඉන්න අම්මලා රට යවන්න හදන ප්‍රතිපත්තිය මොකක්ද? කිිරි අම්මලා රට යවලා හදන ආර්ථිකය මොකක්ද? සිංගප්පූරු ගිවිසුම අත්සන් කරලා පිටරට මෑන් පවර් කොම්පැණිවලට පවා මෙරටට එන්න ඉඩ හදන ආණ්ඩුව අපේ රටේ කිරි දෙන මව්වරුන් පවා රට යවන්න හදනවා.
මේවා සිදුවෙන්නේ ඒජන්සිකරුවන්ගේ බලපෑම්වලට අනුවයි. ඩිලාන් පෙරේරා ඇමතිවරයාව සිටියදී ඒජන්සිකරුවන්ගෙන් මුදල් අරගෙන විවිධ පදනම් හදලා විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් විනාශ කරලා දැම්මා. වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුත් කටයුතු කරමින් ඉන්නේ ඒ ආකාරයටමයි. විශේෂයෙන් උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් කාන්තාවන් විශාල ආර්ථික පීඩනයක ඉන්නවා. ඔවුන් විවිධ තැරැුව්කරුවන් හරහා රැුකියා ඒජන්සි හරහා කිසිදු පදනමකින් තොරව රට පැටවීමට තමයි පවුල් වාර්තාව අහෝසි කරන්න හදන්නේ. එමගින් පවුල් ඒකක කුඩු පට්ටම් වෙලා ස්වාමිපුරුෂයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා, දරුවන් අනාත වෙලා යන්න ඉඩ හැදෙනවා. ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ නූතන වහල් සේවයක් හදන්නයි. පවුල් වාර්තාව අහෝසි කිරීමට එරෙහිව ළමා කාන්තා කටයුතු ඇමතිනී, බුද්ධ ශාසන ඇමතිවරයා, අධිකරණ ඇමතිනී (හිටපු විදේශ සේවා ඇමතිනී) කැබිනට් එකේ අදහස් පළ කළා කියලා වාර්තා වෙනවා. නමුත් අපි කියන්නේ කැබිනට් එක විදිහටම මෙම කි‍්‍රයාමාර්ගයට එරෙහි විය යුතුයි කියලා. පවුල් විනාශ කරලා රටට ලැබෙන විදේශ විනිමය ගැන පමණක් හිතන එක රටකට ඕනෑ අපමණ අගයක් කියන පාඨයට ගැලපෙන්නේ නැහැ.
අපි බොහෝ අවස්ථාවල අවධාරණය කොට තිබෙනවා වෘත්තීයමය නිපුණත්වය සහිතව රැකියාවලට ශී‍්‍ර ලාංකිකයින් යැවිය යුතුයි කියලා. නූතන වහල් සේවය වෙනුවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත් වෙලා වෘත්තීයමය හැකියාව තිබෙන හෙදියන්, විදෙස්ගත කළ හැකියි. ඔවුන්ට විශේෂ ඉල්ලූමක් තිබෙනවා. විශේෂ පුහුණුවක් ලබාදීලා සහතිකයක් ලබාදීලා වෙනම බඳවාගැනීම්කරලා හෙදියන් විදෙස්ගත කළ හැකියි. ඒ වගේම හමුදා සේවයෙන් විශ්‍රාම ගිය තාක්ෂණික, කාර්මික ආදී පාඨමාලාවන් හදාරපු රැකියා නිපුණතාවයන් සහිත නිලධාරීන් විදේශ රැකියාවලට යැවිය හැකියි. ඒ වෙනුවෙන් ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ට විශේෂ සහතිකයක් නිකුත් කිරීම පමණයි. එසේ කළහොත් දැන් ලැබෙන වැටුපට වඩා වැඩි වැටුපක් ලබාගත හැකියි. මේ වනවිට ඉන්දියාව වැනි රටවල් එය කි‍්‍රයාත්මක කරනවා. වෙනත් රටවල එවැනි හැකියාවන් තිබෙන පුද්ගලයින් ලබාගන්නා වැටුපට වඩා ඉතා අඩු වැටුපක් තමයි අපේ රටෙන් යන හමුදා සේවයේ හිටපු නිලධාරීන් ලබාගන්නේ. ආණ්ඩුවට ඉතාම පහසුවෙන් කළ හැකි දේවල් ගැන අවධානයක් යොමුවෙලා නැහැ. අද හමුදා සේවයෙන් විශ්‍රාම ගිය පුද්ගලයින් බැංකු කඩන, මංකොල්ල කන, විවිධ අපරාධවලට මැදිහත්වන තත්වයක් තිබෙනවා. ඒවා අඩු කරගන්නත් ආණ්ඩුවට හැකියාවක් තිබෙනවා. හමුදා සේවයේ සිටි නිසා ඔවුන්ට මැදපෙරදිග වැනි රටක රැකියා කිරීමද අපහසු දෙයක් නොවෙයි. ඒ වගේම උසස් පෙළ සමත් විශාල පිරිසක් රැකියා නැතිව විවිධ ගැටළුවලට මුහුණ දෙනවා. ඔවුන්ට පුහුණුවක් ලබාදී ඩිප්ලෝමා සහතිකයක් නිකුත්කර ආණ්ඩුවෙන් ලබාදෙන එන්.වී.කිව්. සහතියක් සමග විදේශ රැකියා සඳහා අවස්ථා හදන්න හැකියාව තිබියදී ඒ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ.
ආණ්ඩුවේ ඇමතිවරුන්ට ඕනෑ වෙලා තිබෙන්නේ ඒජන්සිකරුවන්ගෙන් ලැබෙන කොමිස් මුදල පමණයි. ඒ වෙනුවට මොළය පාවිච්චි කරලා ටිකක් මහන්සි වෙලා වැඩක් කරන්න කැමති නැහැ. විදේශ සේවා අමාත්‍යාංශය මැදිහත් වුණොත් අපේ රටට වෘත්තීමය ගෞරවයක් සහිතව, අභිමානයක් සහිතව විදේශ රැකියාවලට ශී‍්‍ර ලාංකිකයින් යවන්න පුළුවන්. ඒජන්සිකරුවන්ගේ මුදලට යට වෙලා අපේ රටේ කිරි මව්වරුන් රට පටවන එක ගැන ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි.
කටාර් රාජ්‍යයේ ඉදිකිරීම් කටයුතුවලට පිරිමි ශ්‍රමිකයින්ට විශාල ඉල්ලූමක් ලැබිලා තිබෙනවා. මෙතෙක් තිබුණු නීතිය තමයි විදේශ රැකියා නියෝජිත ආයතන කටාර් රාජ්‍යයේ අනුමැතිය සහිතව අපේ රටෙන් විදේශ ශ්‍රමිකයින් ඉල්ලා සිටිනවා. ඒ අනුව අපේ රටේ රැකියා නියෝජිතයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් තානාපති කාර්යාලයත් ඒකාබද්ධ වෙලා අවශ්‍ය පිරිස විදෙස්ගත කරනවා. ඊට පෙර තානාපති කාර්යාලයේ නියෝජිතයෙක් සේවා ස්ථානය පිළිබඳව නවානැත්, ආහාර, සෞඛ්‍ය පහසුකම් පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙනවා. අපේ රටේ ශ්‍රමිකයින් පිළිබඳව තානාපති කාර්යාල වගකීමක් ගන්නවා. එම නීතිය නව චක්‍රලේඛයක් මගින් අහෝසි කරන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරමින් සිටිනවා. ආණ්ඩුව මේ උත්සාහ කරමින් තිබෙන්නේ නැවත වටයකින් වහල් සේවය කි‍්‍රයාත්මක කරන්නයි. තානාපති කාර්යාලය නොදන්න තැනකට විදේශ රටවල රැුකියා නියෝජිතයින් මගින් මෙරට රැකියා නියෝජිතයින්ට පුද්ගලයින් යැවීමට අවස්ථාව හදලා දෙනවා. අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නේ ඇයි අපේ රටේ නීති ලිහිල් කරලා වහල් සේවය හදන්නේ කියලා? ඇමතිවරයා ඒජන්සිකරුවන්ගේ මුදලට යටවෙලා වැඩ කරනවා.
මීට අමතරව විදේශ සේවයේ නියුතු ශී‍්‍ර ලාංකිකයින් මුහුණදෙන ගැටළු ගණනාවක් තිබෙනවා. මැදපෙරදිග අතරමං වන කාන්තාවන්ට තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවහන් තිබෙනවා. නමුත් පිරිමි ශ්‍රමිකයින්ට එවැනි ආරක්ෂිත නිවහන් නැහැ. ඔවුන්ට බොහෝ වෙලාවට සිදුවන්නේ පොලීසියේ අත්අඩංගුවට පත්වෙලා හිර ගෙවල්වල ගත කිරීමටයි. එසේ නොමැති නම් කාගේ හෝ හිතවතෙකුගේ කාමරයේ ගත කිරීමටයි. නමුත් මේ සියලූ දෙනා අපේ රටට විදේශ විනිමය එවන අයයි. නමුත් ආණ්ඩුව ඔවුන් පිළිබඳ සොයා බැලීමක් කරන්නේ නැහැ. විශේෂයෙන් සයිප්‍රස් රටට යන සේවකයින්ගෙන් වැටුපෙන් 4%ක් කපාගෙන සමාජ ප්රතිලාභ අරමුදලක් සකස් කරනවා. එසේ සකස් කරන අරමුදලින් වයස අවුරුදු 65 සම්පූර්ණ වන අයට වැටුපෙන් 80%ක විශ්‍රාම මුදලක් ලැබෙනවා. නමුත් එම පුද්ගලයින් වයස සම්පූර්ණ වීමට කලින් ශී‍්‍ර ලංකාවට පැමිණියහොත් එම විශ්‍රාම වැටුප ලබාගැනීමේ හැකියාවක් නැහැ. ආණ්ඩුව සයිප්‍රස් රජය සමග ගිවිසුමකට එළඹෙන්නේ නම් එම අරමුදලේ ප්රතිලාභ ලබාගන්න ශී‍්‍ර ලාංකිකයින්ට හැකියාව ලැබෙනවා. සිංගප්පූරු ගිවිසුම්, රටේ සම්පත් විකුණන ගිවිසුම් අපේ රටේ රැුකියා වෙළඳපොළ බිඳ වට්ටන ගිවිසුම් පැය 24න් අත්සන් කරන ආණ්ඩුව විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ට පහසුකම් ලබාදෙන ගිවිසුමක් අත්සන් නොකර අවුරුදු ගාණක් කල් මරනවා.
විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයිනට විශ්‍රාම වැටුපක් ලබාදෙන්න 2016 අයවැයෙන් යෝජනාවක් සම්මත කළා. කුවේට් අරමුදලේ බිලියන හතරක් යොදාගෙන එම විශ්‍රාම වැටුප සකස් කරන්න ආණ්ඩුව පොරොන්දු වුණා. නමුත් දැන් වසර දෙකක් ගතවෙලත් රුපියල් බිලියන හතරක මුදලක් තිබියදී ආණ්ඩුව අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නේ නැහැ. මහ බැංකුවත් විදේශ රැුකියා අමාත්‍යාංශයත් බිලියන හතර හිරකරගෙන කඹ අදිමින් ඉන්නවා. ඒ වගේම විදේශ රැකියාවල නියුතු ශී‍්‍ර ලාංකිකයින්ට ඡුන්ද අයිතිය ලබාදෙන්න තේරීම් කාරක සභාවක් පත්කළා. මැතිවරණ කොමසාරිස් හිටපු විදේශ ඇමතිනී සහ ජවිපෙ විශාල මැදිහත්වීමක් කරලා හදපු තේරීම් කාරක සභාවට මොකද වුණේ කියලා තොරතුරක් නැහැ. අඩුම තරමේ අතුරු වාර්තාවක් හදන්න බැරිවෙලා තිබෙනවා.
එහිදී අදහස් දැක්වූ එතෙර අපි සංවිධානයේ ලේකම් ජානක අධිකාරි,
දීර්ඝ කාලයක් තිස්සේ විදේශ සේවා ඇමතිවරුන්ගේ අවධානයට යොමු කළත් නොවිසඳුනු ගැටළු ගණනාවක් තිබෙනවා. ඇතැම් දේවල් ආණ්ඩුවට විශාල වියදමක් යන දේවල් නොවෙයි. ආණ්ඩුවට අවශ්‍ය වෙන්නේ සෘජු ප්‍රතිපත්තියක් පමණයි. සරල දේවල් පවා කි‍්‍රයාත්මක කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක්. විදේශ රැකියා සඳහා යන ශී‍්‍ර ලාංකිකයින් වෙනුවෙන් අවම වැටුපක් පිළිබඳ ප්‍රතිපත්තියක් අවශ්‍යයි. රටතුළ පෞද්ගලික අංශයටත් රාජ්‍ය අංශයටත් අවම වැටුපක් තීරණය වන ජාතික වැටුප් ප්‍රතිපත්තියක් තිබෙනවා. නමුත් විදේශ රැකියාවලට යන අයට තමනගේ අවම වැටුප ගැන සහතිකයක් නැහැ. ආණ්ඩුව කළ යුත්තේ රටවල් සමඟ රාජ්‍ය තාන්ති‍්‍රක ගිවිසුම්වලට එළඹීමයි. එවැනි දේවල් නොකර සිටීමේ වාසිය මොකක්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. එයින් වාසි ලැබෙන්නේ ඒජන්සිකරුවන්ට පමණයි. රටේ ඡන්දදායකයින් ගැන නොසිතන ඒජන්සිකරුවන්ගේ කොමිස් මුදල දිහා පමණක් බලාගෙන ඉන්න ඇමතිවරුන් නිසයි මේ දේවල් මෙහෙම වෙන්නේ.
එමෙන්ම විදේශගත වූ ශී‍්‍ර ලාංකිකයින් එම රටවල්වලදී මිලදී ගත් වාහනය ලංකාවට තීරු බදු රහිතව රැුගෙන ඒමට එක් අවස්ථාවක් ලබාදෙන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කරනවා. ඔවුන් පාවිච්චි කරන වාහනය ශී‍්‍ර ලංකාවට ගෙන ඒමෙන් ඔවුන් නැවත ලංකාවට පැමිණ නව වාහනයක් මිලදී ගැනීමේදී විදෙස් රටවලට ඇදී යන මුදල වළක්වාගත හැකියි. එසේ තිබියදී අනවශ්‍ය පුද්ගලයින්ට ඕනෑ තරම් තීරුබදු සහන දෙන ආණ්ඩුව රටට විදේශ විනිමය සොයා දෙන ජනතාවට එම සහනය ලබාදෙන්න කටයුතු කරන්නේ නැහැ. එමෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදෙස්ගත වන්නන්ට හඳුන්වා දෙන රක්ෂණ ආවරණය සම්බන්ධයෙන් ගැටලූවක් තිබෙනවා. එම රක්ෂණය කල් පිරීමට පෙර අදාල පුද්ගලයා ලංකාවට පැමිණ නැවත රැුකියාවක් සඳහා විදේශගතවනවිට රක්ෂණ ආවරණය සඳහා නැවත වරක් මුදල් ගෙවීමට සිදුවෙනවා. එවැනි දෙයක් කිරීමේ පදනම මොකක්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. ආණ්ඩුව ඇයි මෙවැනි තුට්ටු දෙකේ වැඩ කරන්නේ? විදේශ රැකියා සඳහා යන ශී‍්‍ර ලාංකිකයින්ට පුළුවන් තරම් පහසුකම් ලබාදෙනවා වෙනුවට මැති ඇමතිලාගේ සුඛෝපභෝගී ජීවිතය වෙනුවෙන් ඔවුන්ගෙන් පුළුවන් තරම් මුදල් අයකර ගැනීමට ගාස්තු ක්‍රම හඳුන්වලා දෙනවා. ඒක ඉතාම කණගාටුදායක තත්වයක්.
එමෙන්ම විදේශ තානාපති කාර්යාලවල විවිධ අංශ සඳහා නිලධාරීන් පත්කර සිටියත් වෛද්‍ය නිළධාරියෙක් නොමැති වීම නිසා ශී‍්‍ර ලාංකිකයින් විශාල අර්බුදයකට මුහුණපාලා සිටිනවා. ඇතැම් අයට භාෂා ප්රශ්නය නිසා තමන්ගේ රෝගී තත්වය පැහැදිලි කරගන්න හැකියාවක් නැහැ. ඇතැම් අයට මුදල් අපහසුතා නිසා වෛද්‍ය ප්‍රතිකාර ගන්න හැකියාවක් නැහැ. එනිසා අපි ආණ්ඩුවට යෝජනා කරනවා අඩුම තරමින් එක් වෛද්‍ය නිලධාරියෙක්වත් තානාපති කාර්යාලයේ සේවයේ යොදවන්න කියලා. ඒ වගේම විදෙස්ගත වූවෙක් මියගිය පසු දේහය ලංකාවට ගෙන්වා ගැනීමේදී ඥාතීන් විශාල දුෂ්කරතාවලට මුහුණ දෙනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුවෙලා නැහැ. ශී‍්‍ර ලංකාවේ සැලකිය යුතු ප්‍රමාණයක් මැදපෙරදිග කලාපයේ සේවය කරනවා. ඔවුන්ගේ ගැටළු පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමුවෙන්නේ නැහැ. අපේ රටේ ජනාධිපතිවරයා පුහුණු ශ්‍රමිකයින් විදේශගත කරන්න කතා කරන අතරේ විදේශ සේවා අමාත්‍යාංශයෙන් පවුල් වාර්තාව අහෝසි කරනවා. මේ විදිහට ජනාධිපතිවරයා එකක් කියනකොට කැබිනට් මණ්ඩලය තව එකක් කරනවා. ඇමතිවරු වෙත් දේවල් කරනවා. අද ආණ්ඩුව එදා වේල ගතකර ගන්නේ විවිධ විගඩම් කරන අතරේ ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳ අවධානයක් යොමුවෙන්නේ නැහැ.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
අද විදේශ රැකියා යනු පිටරටවලට මිනිස්සු පැටවීමේ ජාවාරමක් විතරයි. විදේශ සේවා ඇමතිවරු බලාගෙන ඉන්නේ ඒජන්සිකරුවන්ගෙන් පගාව ගන්න විතරයි. ඒ වෙනුවෙන් ඔවුන් රටේ නීති ලිහිල් කරනවා. ඒජන්සිකරුවන්ට ඕනෑ විදිහට අමාත්‍යාංශයේ කටයුතු හසුරුවනවා.
ලංකාවේ බොහෝ ආයතනවල අවශ්‍ය දත්ත එක්රැුස්කරගන්නේ නැහැ. විදේශ සේවයේ සිටින ශී‍්‍ර ලාංකිකයින් පිළිබඳව තොරතුරු පමණක් නොව අපේ රටේ වැඩිහිටි ජනගහනය ගැන, ආබාධිත පුද්ගලයින් ගැන, කිසිදු දත්තයක් රාජ්‍ය ආයතනවල නැහැ. අපේ රටේ විදේශ රැකියාවල නියුතු පිරිස ගැන ආණ්ඩුවේ අවධානය නැති එකට ඒක හොඳ උදාහරණයක්. විදේශ රටවල රැකියා කරන පුද්ගලයින්ට තමන් ගැන තොරතුරු තානාපති කාර්යාලය දන්නවා කියන එක ලොකු ශක්තියක්. නමුත් එවැනි තත්වයක් අපේ තානාපති කාර්යාලවල නැහැ. මෙවැනි කරුණු ගැන රටේ ජනතාව දැන ගන්න ඕනෑ. ඒවා ඵල කිරීම මාධ්‍ය ආයතනවල වගකීමක් ලෙස අපි සළකනවා.
ආණ්ඩුවට මුදල් අර්බුද තිබෙනවා කියලා රටේ නීති කඩකරලා මිනිස්සු රට පටවන්න පුළුවන්කමක් නැහැ. ආණ්ඩුවේ ආර්ථික අර්බුදය විසඳන්න කියලා ලංකාවේ ඉන්න සියළු දෙනා රට පටවලා හරි යන්නෙත් නැහැ. එහෙම කරන්න රටකට ආණ්ඩුවක් ඕනෑ වෙන්නේ නැහැ.
මෙම අවස්ථාවට එතෙර අපි සංවිධානයේ ජාතික සංවිධායක සංජීව මුණසිංහද සහභාගි විය.
The post කිරි දෙන අම්මලා රට යවා හදන ආර්ථිකය මොකක්ද? appeared first on Lanka News Column.
0 Comments