“බොහෝම වැදගත් විදිහට ජීවත්වුණු මිනිස්සු... කුරා කුහුඹුවකුටවත් වරදක් නොකර හැම දෙනාටම පිහිට වෙමින් ජීවත්වූ මේ අයටත් මෙහෙම දෙයක් වුණා කිව්වම හිතාගන්න බැහැ...” යැයි අසල්වැසියෙකු පවසා සිටියේ නිමේෂයකින් වූ ගිනි ජාලාවකින් තරුණ වෛද්‍ය යුවළක් තම කුඩා පුතු සමඟ ගෙවූ දිවියට අත්වූ ඛේදනීය ඉරණම ගැන විස්සෝප වෙමිනි.
බෙල්ලන්විල රජමහා විහාරය දෙපසින් වැටී තිබෙන විහාර මාවතත්, සෝමරත්න මාවතත් එක්වන ස්ථානයේ පිහිටා ඇති නොම්මර අසූහය දරන නිවෙසේ විසූවේ ජයවර්ධනපුර රෝහලේ අක්ෂි වෛද්‍යවරයකු වූ 38 හැවිරිදි සුබවීරගේ අනුරංග ඩයස් සහ වෛද්‍යවරියක වූ 37 හැවිරිදි විදර්ශී ඩයස් සමඟ කුඩා පුතු පස් හැවිරිදි ආර්‍ය්‍ය ඩයස්ය. ඊට අමතරව අනුරංගගේ මෑණියන් වූ අසනීප තත්ත්වයෙන් පසුවූ 63 හැවිරිදි මාතාවද එම නිවෙසේ විසුවාය.
පසුගිය බ්‍රහස්පතින්දා (06) දහවල් 1.25ට පමණ 119 මඟින් බොරලැස්ගමුව පොලීසියට ලැබුණු ඇමැතුමින් කියැවුණේ බෙල්ලන්විල සෝමරත්න මාවතේ නිවෙසක ගින්නක් හටගෙන ඇති බවයි. ඒත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රියංක සිල්වා ඇතුළු පිරිස නිවෙස සොයා යන විටත් ගිනිදැල් මුළු දෙමහල් නිවෙස පුරාම පැතිරී තිබිණි.
පසුව පොලිස් නිලධාරීන්, ගම්වාසීන් සහ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවන නිලධාරීන්ගේ දැඩි පරිශ්‍රමයකින් ගින්න මැඬ පවත්වා නිවෙසේ ඉහළ මහලට ඉණිමං ආධාරයෙන් නැඟ සෝදිසි කළේ එහි විසූ වෛද්‍ය යුවළ සහ කුඩා පුතණුවන් ගැනයි.
පිරිස නිවෙස තුළට ඇතුළු වන විටත් මුළු නිවෙසම දුම් වලාවකින් වැසි තිබිණි. පසුව නිවෙස පුරා සෝදිසි කොට නාන කාමරයේ දොර විවර කරනවාත් සමඟම දුටු දර්ශනය හද කම්පා කරවන්නක් බව තිදෙනා බේරා ගැනීමට ඉදිරිපත් වූ අයෙක් කියා සිටියේය.
“තුන්දෙනාම එකට බදාගෙන සිහිය නැතිවයි හිටියේ... වතුර කරාමෙත් ඇරල තිබුණේ” යැයි ඔහු කියා සිටියේය.
පසුව ප්‍රථමයෙන් කුඩා පුතු 1990 ගිලන් රථයෙන්ද වෛද්‍ය යුවළ බොරලැස්ගමුව පොලිස් ජීප් රථයෙන්ද කළුබෝවිල රෝහලට රැගෙන ගියත් වෛද්‍ය විදර්ශි රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටියාය. පාණදුරේදී උපන් විදර්ශි පාණදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා ඇත.
ආර්ය පුතණුවන්ගේ පස්වන උපන්දිනය පවුලේ සැවොම එක්ව සමරා තිබුණේ පසුගිය 31 වැනිදායි.
කුඩා පුතු සහ වෛද්‍ය අනුරංග පුවත්පත මුද්‍රණයට යන විටත් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
ජයවර්ධනපුර රෝහලේ අක්ෂි වෛද්‍යවරයෙකු වූ අනුරංග මෙන්ම වෛද්‍යවරියක වූ විදර්ශි කලක් හොරණ මූලික රෝහලේ සේවය කරමින් සිටියහ. ඇය ආර්ය පුතු මෙලොවට බිහි කිරීමෙන් පසු රැකියාවෙන් ඉවත්ව නිවෙසේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් තිබුණේ තම ස්වාමියාද සමඟිනි. විදර්ශී වෛද්‍යවරිය ඛේදනීය ඉරණමට ලක්වන විට පස් මස් ගැබිනියක ව සිටියාය. අවට සැවොම සමඟ කුලුපගව සතුටු සාමිචි දිවියක් ගත කළ එම යුවළ ඛේදනීය ඉරණමට ලක්වීමට පෙර දිනයේද විනෝද චාරිකාවකට ගොස් පැමිණ සිටි බවක් වාර්තා වේ.
එසේ පැමිණි හෙයින් ඛේදවාචකයට මුහුණ දෙන විටත් නිවෙසේ ඉහළ මාලයේ යුවළ කුඩා පුතු සමඟ නිදාගෙන සිටි බවට සැලවේ. පහළ මහලෙන් හටගත්තා යැයි සැක කෙරෙන ගින්න මුලින් දැක තිබුණේ අනුරංගගේ මෑණියන්ය. ඇය ඒ මොහොතේ හිඳ තිබුණේ පහළ මහලේයි. අනතුරුව මෑණියන් කෑමොර දී ඒ බව පුතුට සහ ලේළියට දන්වා ඇත. ඊට ප්‍රතිචාර දක්වමින් අනුරංග පවසා තිබුණේ ‘අම්මත් උඩට එන්න’ කියායි. එහෙත් ගින්නේ තීව්ර බවත් මෑණියන්ගේ අසනීප තත්ත්වයත් මත ඇයට ඉහළ මහලට යෑමට හැකියාවක් නොමැති හෙයින් පසුව ඇය විසින් අවට වැසියන්ට කෑගසා තිබුණේ නිවෙස ගිනිගන්නා බව පවසමිනි.
විනාඩි ගණනක් තුළදී නිවෙසේ තිබූ සියලු සේසතම අළු ගොඩක් බවට පත් කරමින් සිදුවූ මේ ඛේදවාචකය ගැන සිකුරාදා පෙරවරුවේ රජයේ රස පරීක්ෂක පැමිණ නිවෙස පරීක්ෂා කළ අතර එම රස පරීක්ෂක වාර්තාව අනුව ගින්නට නිශ්චිත හේතුව තිර ලෙස දැනගැනීමට හැකි වෙතැයි පොලීසිය කීවේය.
එහෙත් දැනට වාර්තා වන අන්දමට නිවෙසේ පහල මාලයේ වූ විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි සැක කෙරෙන අතර වෛද්‍ය යුවළ නිදන කාමරයේ වායු සමීකරණ යන්ත්‍රයද ක්‍රියාත්මක කරමින් නිදා සිටි හෙයින් එම කාමරයට ගින්න ක්ෂණයෙන් පැතිරෙන්නට ඇතැයි අනුමාන කරයි. මේ ඛේදවාචකයේ ඇති අදිසි හස්තය නම් මේ නිවෙස මීට වසර විස්සකට පමණ පෙරද මෙලෙසම ගිනි ජාලාවකට හසුවී අළු වී ගොස් තිබෙන බවයි. ඊට අමතරව වසර හතරකට පමණ පෙරදී සොර සතුරන් විසින් මුළු නිවෙසම කොල්ලකා තිබුණේ වෛද්‍ය යුවළගේ සියලු සේසත රැගෙන යමින් බව අසල්වාසීන් ආවර්ජනය කොට සිටියේය.
කෙසේ හෝ ගැබිනි මාතාවකට අකල් මරණයක් අත්කොට තරුණ යුවළකගේ කුරුලු කැදැල්ලක් විනාශ කළ මේ ඛේදවාචකයෙන් පිළිබිඹු වන්නේ මිනිස් ජීවිතවල දුක - සතුට ක්ෂණයකින්ම තීන්දු වන බවයි.
මේ පිළිබඳව පැති කිහිපයක් ඔස්සේ වැඩිදුර පරීක්ෂණ බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියංක සිල්වාගේ උපදෙස් මත උපො. පරීක්ෂකවරුන් වන දිනේෂ් සහ වික්‍රමසිංහ, පො.සැ. (36763) සමන්, පොලිස් කොස්තාපල්වරුන් වන (88112) බුද්ධික, (6024) සම්පත් ඇතුළු පිරිස් සිදු කරති.
0 Comments