ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වැටීම හේතුව අතීතයේ බිහිවූ අතුරු කමිටු බව හිටපු ක්‍රීඩා ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
තමන් ක්‍රීඩා ඇමැති වනවිට වසර 8ක් තිස්සේ අතුරු පාලක කමිටු තිබුණද එම ක්‍රමය වෙනස් කරමින් ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට තමන් කටයුතු කළ බවද ජයසේකර මහතා පැවැසීය.
ඒ මහතා එසේ පැවැසූවේ ඊයේ කොළඹ නිපොන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
‘මා මේ ප්රවෘත්ති සාකච්ඡාව කැදෙව්වේ හිටපු ලෝක ශූර නායක අර්ජුන රණතුංග මහතා අවස්ථා කිහිපයකදීම මා දෝෂ දර්ශනයට ලක්කළ නිසයි. මා නිසා ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටී ඇති බව ඔහු මුළු රටටම කිව්වා. මා කියන්නේ අර්ජුන රණතුංග නිසා ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටුණු බවයි. ඔහු කරන්නේ ද්වේෂ සහගත ප්‍රකාශයක්. මා නිලවරණය පවත්වා තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් සභාපති වූදා පටන් ඔහු මා සමග අමනාපයෙන් සිටිනවා. මා බුකීකාරයෝ සමග කටයුතු කරන බව අර්ජුනගේ චෝදනාවක්. මා කිසිම දවසක එහෙම බුකීකාරයෝ සමග සම්බන්ධතාවක් පවත්වා නැහැ. මට කොයිතරම් මඩ ගැහුවත් මා ඔහු සමග අමනාපයක් නැහැ. නමුත් සත්‍ය ජනතාවද දැනගත යුතුය.’ ජයසේකර මහතා පැවැසීය.
රණතුංග පවුල හා තිලංග සුමතිපාල මහතා අතර අතීතයේ විශාල සම්බන්ධකම් තිබුණා. ලෝක කුසලානෙන් පසු තිලංග ක්‍රිකට් සභාපති කරන්න රණතුංග පවුලම කටයුතු කළා. ධම්මික රණතුංග මහතා ප්‍රධාන විධායකයා ලෙස කටයුතු කළා. ප්‍රසන්න රණතුංග මහතා උප සභාපති හැටියට කටයුතු කළා. නිශාන්ත රණතුංග මහතා තිලංග යටතේ විධායක සභිකයෙක්. අර්ජුනගේ රක්ෂණ සමාගම ඒ කාලයේ කණ්ඩායමේ ක්‍රීඩකයෝ රක්ෂණය කර තිබුණා. එය සිදු වුණේත් තිලංග සභාපති කාලේ. අද විරසක වුනාට ඒ අය එදා හොඳ මිත්‍රයෝ. ඒ නිසා මට අනිසි චෝදනා නැගීම අසාධාරණයි. තිලංග සුමතිපාල සමග ඡන්දය ඉල්ලා දිනන්න බැරිනම් මා කුමක් කරන්නද. තිලංග ක්‍රිකට් සභාපති උනාට මා සමග අමනාපවී කිසිදු පලක් නැහැ.’ හිටපු ක්‍රීඩා ඇමැතිවරයා සඳහන් කළේය.
අර්ජුන රණතුංග මහතාගේ කාලයේ සූරියවැව ක්‍රීඩාංගණය සෑදීමට තාරුණ්‍යයට හෙටක් සමග කටයුතු කළ ආකාරයද මේ මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.
‘අර්ජුන ක්‍රිකට් සභාපති කාලයේ සූරියවැව ක්‍රීඩාංගණය හදන කාලයේ ලිපියක් ලියා තිබුණා. එම ක්‍රීඩාංගණයේ පාලනය අධ්යක්ෂවරු 10ක් යටතේ තිබිය යුතු බව එම ලිපියේ සඳහන්. තාරුණ්‍යයට හෙටක් සංවිධානයෙන් අධ්යක්ෂවරු 3ක්, ක්‍රිකට් මණ්ඩලයෙන් අධ්යක්ෂවරු 3ක්, ඉදිකිරීම් සමාගමෙන් අධ්යක්ෂවරු 3ක් හා අර්ජුන රණතුංග එක් අධ්යක්ෂවරයෙක් හැටියට හඳුන්වා තිබුණා. පසුව එම ක්‍රීඩාංගණය සැදීමට බිලියන 5ක් ගෙවන ලෙස අර්ජුන ඉල්ලා සිටියා. මේ ජනතා මුදල්. එහෙම ඉතිහාසයක් ක්‍රිකට් ක්‍රීඩාවේ තිබුණා.’ ජයසේකර මහතා පැවැසීය.
ඉදිරියේදී රණතුංග මහතා දෙන ඕනෑම ප්‍රශ්නයකට තමා පිළිතුරු දීමට සූදානම් බවද හිටපු ක්‍රීඩා ඇමැතිවරයා සඳහන් කළේය.
0 Comments