Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තුන්වැනි ස්ථානය ලැබීම සතුටක්

ෆවුස් මොහොමඩ් හොංකොං සිට...

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ හොංකොං හී පැවැති පළමු අදියරේ තරගාවලියේ දී කුසලාන වටයේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීම තම ප්‍රධානතම ඉලක්කය වී තිබු බව ශ්‍රී ලංකා රග්බි පිලේ පුහුණුකරු පීටර් වුඩ්ස් ප්‍රකාශ කළේය.

කුසලාන වටයේ අවසන් පූර්ව තරගයේදී හොංකොං පිල හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම පිලිපීනයට එරෙහිව ජය වාර්තා කරමින් තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනාගැනීමෙන් පසුව ශ්‍රී ලංකා රග්බි පිලේ පුහුණුකරු මේ අදහස් පළ කළේය.

‘අපේ ප්‍රධානම ඉලක්කය වුණේ කුසලාන වටයට සුදුසුකම් ලැබීමයි. හොංකොං තරගාවලිය පළමු අදියරේ තරගාවලියයි. තව අදියර දෙකක් ඉතිරිව තිබෙනවා. ඒ නිසා ආරම්භයේදීම මේ ලැබූ ස්ථානය ගැන සතුටුයි. පසුගිය වසරේ තරගාවලියේ කොළඹ පැවැති අවසන් අදියරේ තරගාවලියේදිත් අපි තුන්වැනි ස්ථානය දිනාගත්තා.‘ පීටර් වුඩ්ස් කිවේය.

පසුගිය වසරේ තරගමාලාවේ කොළඹ පැවැති අවසන් තරගාවලියේදි ද කුසලාන වටයේ අවසන් පූර්ව තරගයට එක්වූ ශ්‍රී ලංකා පිල ලකුණු 26-12කින් හොංකොං පිල හමුවේ පරාජයට පත්විය. එවර ශ්‍රී ලංකා පිල තුන්වැනි ස්ථානය දිනාගත්තේ කොරියාව ලකුණු 22-5කින් පරාජය කරමිනි.

පසුගිය වසරේ හොංකොං තරගාවලියේදී පස්වැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ තුන්වැනි ස්ථානය අත්කරගත්තේ ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනකුම ආබාධවලට ලක්වී සිටියදීය.

‘අදීෂ වීරතුංග, කවිඳු පෙරේරා, ගයාන් වීරරත්න අවසන් පූර්ව වටයේ සිට ආබාධවලට ලක්වුණා. ඒත් අවසන් තරග දෙක අපි හොඳට ක්‍රීඩා කළා. ‘ පීටර් වුඩ්ස් පැවැසීය.

අදීෂ වීරතුංග පාදයේ ආබාධයකට ලක්වී සිටින අතර කවිඳු පෙරේරා උරහිසේ ආබාධයකටත්, ගයාන් වීරරත්න හිසේ ආබාධයකටත් ලක්වී සිටිති.

ප්‍රබලතම ක්‍රීඩකයන් රැසක් ආබාධවලට ලක්වීම නිසා ශ්‍රී ලංකා පිලට නවක ක්‍රීඩකයන් කිහිපදෙනකු එක්වූ අතර මේ මස 29 සහ 30 පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ කොරියාවේ පැවැත්වෙන දෙවැනි අදියරේ තරගාවලියට එම ක්‍රීඩකයන් යළි එක්වනු ඇත.

‘ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට නැවත කණ්ඩායමට එක්වීමට නම් ඔවුන් තමන්ගේ දස්කම් පෙන්විය යුතුයි. මම කිසිම ක්‍රීඩකයකුට වාසිදායක ලෙස කටයුතු කරන්නේ නෑ.‘ පුහුණුකරු සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();