ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග නීතිරීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට හසුවූ පාකිස්තානයේ හසන් අලි සහ ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් සහ නායක අස්ගර් ඇෆ්ගන්ට දඩ මුදලක් සමග දඬුවම් ලකුණක් බැගින් ලබාදීමට කටයුතු කර තිබේ.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ දෙපිල අතර පසුගිය සිකුරාදා රාත්‍රී පැවැති තරගයේදී විනය විරෝධී හැසිරීමක් පෙන්නුම් කිරීම නිසා ඔවුන්ගේ තරග මුදලින් 15%ක දඩ මුදලක් පනවා ඇති අතර ඔවුන්ගේ පෞද්ගලික වාර්තාවට දඬුවම් ලකුණක් ද එකතු කර තිබේ.
ඇෆ්ගනිස්තාන පිතිකරු හෂ්මතුල්ලා ශහීඩි වෙත පන්දුව දමා ගැසීමේ තර්ජනාත්මක ඉරියව්වක් පෙන්නුම් කිරීම නිසා පාකිස්තාන වේගපන්දු යවන හසන් අලිට මේ දඬුවම පනවා ඇති අතර හසන් අලිගේ සිරුරේ හිතාමතා ගැටීම නිසා ඇෆ්ගනිස්තාන පිලේ නායක අස්ගර්ටත්, අසිෆ් අලී දැවීයාමෙන් පසුව නැවත ක්‍රීඩාගාරයට යද්දී ඔහුට පිටියෙන් ඉවත්වන ලෙස ඇඟිල්ල දිගු කර සංඥා කිරීම නිසා රෂීඩ් අලිටත් මේ දඬුවම පනවා ඇත.
පාකිස්තානය සමග පැවැති සුපිරි හතර වටයේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන පිල ඕවර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 257ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දු 3ක් ඉතිරිව තිබියදී තරගය ජයගත්තේ කඩුලු 7ක් දැවීයාමෙන් පසුවය.
දැඩි උණුසුම් මුහුණුවරක් ගත් මේ තරගයේ දී හෂ්මතුල්ලා ශහීඩි පන්දු 118කට මුහුණ දී හතරේ පහර 7ක් සමග නොදැවී ලකුණු 97ක් රැස් කිරීමට සමත්විය. ඔහුට අගනා සහයක් දුන් නායක අස්ගර් ඇෆ්ගන් පන්දු 56කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 67කි. දෙදෙනා අතර සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 94ක් විය.
ලකුණු 258ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු පිලට ජයග්‍රහණයේ මාවත විවර කර දුන් ඉමාම් උල් හක් පන්දු 104කදී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමග ලකුණු 80ක් රැස් කළේය. බාබර් අසාම් රැස් කළ ලකුණු සංඛ්‍යාව 66කි. පන්දු 94ක් වැය වූ ඔහුගේ ඉනිම හතරේ පහර 4කින් සහ හයේ පහරකින් වර්ණවත් විය. කණ්ඩායම ජයග්‍රහණය දක්වා ඇදගෙන ගිය සොයිබ් මලික් පන්දු 43කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමග නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 51කි.
ආසියානු කලාපයේ සම්ප්‍රදායික පසමිතුරන් වන පාකිස්තානය සහ ඉන්දියාව අතර සුපිරි හතර වටයේ තවත් තරගයක් ඊයේ රාත්‍රී පැවැත්වීමට නියමිතව තිබූ අතර ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර තරගයත් ඊයේ රාත්‍රී පැවැත්වීමට නියමිතව තිබිණි.
0 Comments