වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය වාර්ෂිකව සංවිධාන කරන වෙළෙඳ සේවා ක්‍රිකට් තරග මාලවේ ‘බී’ කාණ්ඩයේ ඕවර 50 ලීග් ක්‍රිකට් තරගාවලිය මේ මස 26 වැනිදා ආරම්භ වෙයි.
මේ තරගාවලිය සඳහා දෙවැනි වරටත් යුනීලීවර් ශ්‍රී ලංකා සමාගම අනුග්‍රාහකත්වය සපයන අතර තරගාවලියේ ශූරයන්ට ‘ෆෙයාර් ඇන් ලව්ලී මෙන්ස්’ කුසලානය පිරිනැමේ.තරගාවලියේ අවසන් තරග වටය ඔක්තෝබර් 20 වැනිදා අරම්භ වන අතර අවසන් තරගය නොවැම්බර් 03 වැනිදා වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
සමස්ත තරගාවලියට තරග 33ක් ඇතුළත් වන අතර බ්ලූම්ෆීල්ඩ්, පනාගොඩ යුද හමුදා, මග්ගොන සරේ , බී.ආර්.සී, මොරටුව ද සොයිසා, පී. සරා ඕවල්, කෝල්ට්ස් සහ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී තරග පැවැත්වෙයි.
මේ තරගාවලියේදී ජොන් කීල්ස්, යුනිලීවර්, සී.ඩී.බී., හැටන් නැෂනල්, කන්චි, එක්ස්පෝ ලංකා, සිංගර් ශ්‍රී ලංකා සහ කොමර්ෂල් බැංකුව එක්ව සිටී.
තරගාවලියේ දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු යවන්නා, තරගාවලියේ වීරයා හා අවසන් තරගයේ තුන් ඉරියව් ක්‍රීඩකයා සඳහා කුසලාන පිරිනැමීමට නියමිතය.
මේ තරගාවලියෙන් නවක ක්‍රිකට් ක්‍රීඩකයන් හඳුනා ගෙන කාණ්ඩ තුනක් යටතේ ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කරමින් ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනික සහයද ලබාදීමට යුනිලිවර් ශ්‍රී ලංකා වැඩසටහනක් දියත් කරයි. මේ තරගාවලියට සමගාමීව මෙරට ප්රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දායකත්වය සමගින් කොළඹ, මහනුවර, ගාල්ල සහ යාපනය යන ප්‍රදේශවල ක්‍රිකට් පුහුණු කඳවුරු හතරක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ. පන්දුවට පහරදීම, පන්දු යැවීම සහ පන්දු රැකීම සම්බන්ධ පුහුණුව, පෞර්ෂ වර්ධනය සහ නායකත්ව ගුණාංග වර්ධනය ඇතුළුව දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු හා සාර්ථක පුද්ගලයකු බවට පත්වීමට අවශ්‍ය ගුණාංග සම්බන්ධ පුළුල් පුහුණුවක් ලබාදීමට මේ වැඩසටහන යටතේ සිදුකෙරෙනු ඇත.
තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ පැවැති අතර එම හමුවට වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති රොහාන් ඉද්දමල්ගොඩ, එම සංගමයේ ප්‍රධාන ලේකම් නලීන් වික්‍රමසිංහ, තරග කමිටු සභාපති සුජීව ද සිල්වා හා උප සභාපති වසන්තලාල් ප්‍රනාන්දු යන මහත්වරුන් හා අනුග්රාහකයන් වෙනුවෙන් යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම නියෝජනය කරමින් අධ්‍යක්ෂිකා අලෙවි (පාරිභෝගික භාණ්ඩ) නිලූෂි ජයතිලක මෙනෙවිය, සම හා හිස ආශ්‍රීත නිෂ්පාදන ප්‍රධානී මිහිර කුලතුංග හා “ෆෙයාර් ඇන් ලව්ලී මෙන්ස් ” ජ්‍යෙෂ්ඨ කළමණාකරු දමින්ද පෙරේරා යන මහත්වරු එක්ව සිටියහ.
0 Comments