Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආණ්ඩුව රු. බිලියන 2,000ක සුදුවක .

anura kumara disanayaka

වැඩකරන ජනතාව සතු රු. බිලියන 2,000ත් ආණ්ඩුව සූදු කෙළින්න යොදා ගන්නවා යයි  ජනතා විමුක්ති පෙරමුණේ  නායක
අනුර දිසානායක  කියා  සිටියි. ඔහු  මෙසේ  කියා  සිටියේ  අද  ජනතා විමුක්ති  පෙරමුණ  ප්‍රධාන කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි .එහෙදි  වැඩි දුරටත්  අදහස්  දැක්වූ  අනුර කුමාර දිසානායකයන්  මෙසේද   සදහන් කර සිටියේය.
වත්මන් ආණ්ඩුවේ වසර 3ක පාලන කාලය තුළ රටේ ආර්ථිකය බරපතල ලෙස කඩා වට්ටලා තිබෙනවා. රටේ ජනතාවට තමන්ගේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යා නොහැකි ලෙස උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා. ග‍්‍රාමීය ජනතාව තමන් ගත් ණය ගෙවාගත නොහැකි තත්වයකට මුහුණ පාලා. රටේ ජාතික ණය නැවත ගෙවාගත නොහැකි තත්වයක තිබෙනවා. රුපියලේ අගය වේගවත් ලෙස පහළ බසිමින් තිබෙනවා. මේ වනවිට ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල රු. 162.50කට අධික අගයකට පැමිණ තිබෙනවා. වර්තමාන පාලනයත් පැවති පාලනයත් ගනු ලැබූ අසාර්ථක ආර්ථික කි‍්‍රයාමාර්ග හේතුවෙන් අද අපේ රට විශාල ආර්ථික අර්බුදයක හිරවී තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහ පාලනය ගතවන තත්පරයෙන් තත්පරය පෙන්වමින් තිබෙන්නේ මෙම පාලනයට අපේ රටේ ආර්ථිකය තව දුරටත් ගොඩගත නොහැකි බවයි. ඒ විතරක් නෙවෙයි, වංචාවේ,දුෂණයේ, නාස්තියේ බර මුළුමනින්ම මහජනතාව මත පටවමින් තිබෙනවා. රටේ ජාතික සම්පත් විකිණීම හැර අන් කිසිදු ආර්ථික උපායමාර්ගයක් නැති බව ඔවුන් රටට ඔප්පු කරමින් තිබෙනවා.
චන්ද්‍රිකා පාලන සමයේ ටෙලිකොම් සමාගම පුද්ගලීකරණයට ලක්කළා. රජය සතු කොටස් ප‍්‍රමාණය 49.5%ක්ද මැලේසියානු සමාමගකට කොටස් 45%ක්ද අනෙකුත් පුද්ගලික සමාගම්ද කොටස් 5%ක පමණ ප‍්‍රමාණයක්ද හිමිව තිබෙනවා. වර්තමාන පාලනය විසින් ටෙලිකොම් සමාගම සතු කොටස්වලින් 10%ක් කොටස් වෙළඳපොළෙට මුදාහරින්න තීරණය කොට තිබෙනවා. එවිට රජය සතු කොටස් ප‍්‍රමාණය මැලේසියානු සමාගම සතු කොටස් ප‍්‍රමාණයට වඩා එනම් 44%කට වඩා අඩු අගයකට පහත බැසීම මගින් රජය සතු පංගුව අත්හැරීමට සිදුවෙනවා. එමගින් ටෙලිකොම් සමාගම පුද්ගලික අංශය වෙත මුදාහැරීමට කටයුතු කරමින් තිබෙනවා. ලංකා හොස්පිට්ල් ආයතනය විකුණා දැමීමට දැනටමත් කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම ලංකා බැංකුව, මහජන බැංකුව වැනි රාජ්‍ය බැංකු පද්ධතිය රාජ්‍ය සතු අයිතිය අත්හරමින් කොටස් වෙළඳපොළෙට මුදාහරින්න කටයුතු කරමින් තිබෙනවා. මත්තල ගුවන්තොටුපොළ විකිණීම සඳහා අදාල පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙනවා. ති‍්‍රකුණාමළය තෙල් ටැංකි විකිණීමට මේ වනවිටත් කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. මේ ආකාරයට රාජ්‍ය සම්පත් විකුණමින් බඩවියත රැුක ගැනීමට ආණ්ඩුවට සිදුවී තිබෙනවා.
මෙහි භයානකම තත්වය පත්ව තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදලයි. 2016 වසරේදී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව ගිවිසුමක් අත්සන් කළා. එහි 14වැනි වගන්තියට අනුව 2017 මාර්තු මාසයේදී ආසියානු සංවර්ධන බැංකුවත් ද-ඒරියන් නැමති ඇමරිකානු සමාගමක් එක්ව සකස් කරන ලද ධවල පති‍්‍රකාවක් ලංකා ආණ්ඩුවට ලබාදී තිබෙනවා. එමගින් යෝජනා කොට තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම පිළිබඳවයි. ඒ සඳහා අවශ්‍ය වන ප‍්‍රතිපත්ති සහ කි‍්‍රයාමාර්ග සම්පූර්ණයෙන් එහි යෝජනා කොට තිබෙනවා. මෙම යෝජනාවට අනුව ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 300ක ණය මුදලක් ලංකාවට ලබාදීමට නියමිත අතර ඒ වෙනුවෙන් ඔවුන්ගේ කොන්දේසි සම්පූර්ණයෙන් ඉටු කළ යුතුව තිබෙනවා. එම ණය මුදලින් ඩොලර් මිලියන 250ක්ම ලබා දෙන්නේ සේවක අර්ථසාධක අරමුදල ප‍්‍රතිව්‍යූහගත කිරීමටයි. 2019 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 125ක්ද තුන්වන කාර්තුවේදී ඩොලර් මිලියන 125ක්ද ලබාදීමට නියමිතයි. එම ණය මුදල ලබාගැනීමට සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළඳපොළේ යෙදවීම සඳහා ප‍්‍රතිපත්ති සහ කි‍්‍රයාමාර්ග ආණ්ඩුව විසින් ගත යුතුව තිබෙනවා. ආණ්ඩුවේ සැලසුම් අනුව 2025වනවිට රජය සතු සම්පත් සියල්ල කොටස් වෙළඳපොළට නිකුත්කොට පුද්ගලීකරණය කිරීමට සැලසුම් සකස් වෙමින් තිබෙනවා. ඒ වනවිට ඇතිවිය හැකි ප‍්‍රාග්ධන හිඟය ආවරණය කිරීම සඳහා ආසියාවේ විශාලතම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල යොදාගැනීමේ උපක‍්‍රය තමයි මේ කි‍්‍රයාත්මක වෙමින් තිබෙන්නේ.
සේවක අර්ථසාධක අරමුදල සතුුව රුපියල් ටි‍්‍රලියන 2ක මුදලක් එනම් බිලියන 2,000ක මුදලක් තිබෙනවා. රු. කෝටි ලක්‍ෂ දෙකක්. එය දැවැන්ත අරමුදලක්. 2016 වසරේ ආයෝජනයන්ගෙන් පමණක් බිලියන 193ක, කෝටි 2.000කට ආසන්න ආදායමක් ලබාගෙන තිබෙනවා. සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කොට තිබෙන්නේ අරමුදලින් 5%ක පමණ ප‍්‍රමාණයකි. එම මුදල ආයෝජනය කොට තිබෙන්නේ මහ බැංකු බැඳුම්කරවල සහ භාණ්ඩාගාර බිල්පත්වලයි. එම නිසාම විශාල ආදායමක් ලැබෙන අතර එම ආයෝජන සඳහා සහතිකයක් ලැබෙනවා. නමුත් ආණ්ඩුව අත්සන් කරන ලද ගිවිසුම අනුව දැන් කරන්නට යන්නේ සේවක අර්ථසාධක අරමුදලින් 30%-40% අතර ප‍්‍රමාණයක් කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීමටයි. ඉතිරි 60%ත් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් හරහා කොටස් වෙළඳපොළේ ආයෝනයට අවස්ථාව ලබාදීමට නියමිතයි. එනම් සේවක අර්ථසාධක අරමුදලේ ටි‍්‍රලියන දෙකක මුළු මුදලම කොටස් වෙළඳපොළේ ආයෝජනයට අවස්ථාව නිර්මාණය කරනවා. එය ඉතා අවදානම් කටයුත්තක්. පසුගිය කාලයේ එනම් 2008-2012 වසර 4ක කාලය සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළඳපොළේ ආයෝජනයෙන් සිදුව ඇති පාඩුව කෝටි 2800ක්. එසේ වී තිබෙන්නේ ආණ්ඩුවේ දූෂිත ගණුදෙනු හරහා ගජ මිතුරන් සමඟ සූදු කෙළින්න මෙම අරමුදල යොදාගත් නිසයි. ආණ්ඩුවේ හිතවතුන්ගේ කඩාවැටෙන සමාගම් ගොඩ දාගන්න සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යොදාගත්තා. දුෂිත බැඳුම්කර ගණුදෙනුවේ වාර්තා අනුව පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ගණුදෙනුව සිදුකළ මොහොතේ කෝටි 1100ක අයුතු ලාභයක් ලබාගෙන තිබෙනවා. ඒ මොහොතේ සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව කෝටි 850ක්. සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව තමයි පර්පචුවල් සමාගමේ ලාභය ලෙස ලැබී තිබෙන්නේ. එම නිසා ආණ්ඩුවල මෙම දූෂිත ගණුදෙනුවලට අද යොදාගන්නේ අරමුදලින් 5%ක්. එම මුදල 40% දක්වා වර්ධනය කළ විට අත්කර දෙන විනාශය කොපමණදැයි හිතාගන්න පුළුවන්.
ආණ්ඩුව මේ අත තබන්නේ වැඩකරන ජනතාව සතු අරමුදලටයි. මෙම අරමුදලේ ගිණුම් ලක්‍ෂ 26ක් තිබෙනවා. එනම් වැඩකරන ජනතාව ලක්‍ෂ 26ක් මෙහි හිමිකරුවන්ෙ වෙනවා. එම අරමුදලේ භාරකාත්වයක් පමණයි ආණ්ඩුවට තිබෙන්නේ අයිතිකරුවන් වන්නේ වැඩකරන ජනතාවයි. භාරකරුවන්ට එනම් ආණ්ඩුවට මෙම අරමුදල විනාශ කරන්න ඉඩදෙන්න පුළුවන්කමක් නැහැ. පහුගිය කාලයේ ආණ්ඩුවල ඞීලර්ස්ලාට ගජ මිතුරන්ට සූදු කෙළින්න මෙම අරමුදල් සැපයීමෙන් පාඩු සිදුවුණේ වැඩකරන ජනතාවටයි. එම නිසා මෙය කිසි සේත්ම කි‍්‍රයාත්මක කරන්න ඉඩ දියයුතු නැහැ. 1957 අරමුදල වෙනුවෙන් සකස් කළ පනතේ පැහැදිලිව සඳහන් කොට තිබෙනවා ආයෝජන සඳහා 2.5ක% අවම ප‍්‍රතිලාභයක් ලැබිය යුතුයි කියලා. නමුත් ගිවිසුම අනුව එම කොන්දේසිය ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. එම නීතිමය බාධාව ඉවත් කරන්න සංශෝධන ගේන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ආණ්ඩුව රාජ්‍ය සම්පත්, රාජ්‍ය ආයතන විකුණමින් ඇවිත් අවසානයේ වැඩකරන ජනතාව සතු අරමුදලටත් අත තබා තිබෙනවා. මෙම ප‍්‍රයත්නය මුළුමනින්ම පරාජයට පත්කරන්න ගතයුතු කි‍්‍රයාමාර්ග පක්‍ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණත් වෘත්තීය සමිති ව්‍යාපාරයත් ඒකාබද්ධව ගන්නවා. තමන්ගේ අරමුදල ආරක්‍ෂා කරගන්න වැඩකරන ජනතාව ලෙස පෙරට එන්න කියලා අපි ජනතාවට ආරාධනය කරනවා.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
ඒකාබද්ධයේ රැලිය 
ඕනෑම පක්‍ෂයකට පාරට බැහැලා උද්ඝෝෂණය කරන්න ආණ්ඩුවට එරෙහිව කි‍්‍රයාමාර්ග ගන්න අයිතිය තිබෙනවා. නමුත් ඒකාබද්ධයේ ක‍්‍රියාමාර්ගවලට ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධයක් නැහැ. අප පක්‍ෂයක් ලෙස කටයුතු කරමින් තිබෙන්නේ මෙම පාර්ශ්ව දෙකම අනුගමනය කරමින් තිබෙන ප‍්‍රතිපත්තියට එරෙහිව විකල්ප ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක කිරීම සඳහායි. මේ හොරු කණ්ඩායම වෙනුවට තවත් හොරු කණ්ඩායමක් බලයට ආවත් මෙම පාලන ක‍්‍රමයේ වෙනසක් ඇති වන්නේ නැහැ. මෙම පාලනයන් දෙකටම රට හදන්න බැරි බව ඔවුන් අසමත් බව ඔප්පු කොට තිබෙනවා. රට මහා ණය කන්දක හිර කරලා තරුණ තරුණියන්ට රැුකියාවක් දෙන්න බැරිව, ගොවි ජනතාවගේ ජීවන මට්ටම ඉහළ දමන්න බැරිව ජනතාවගේ ජීවන බර අඩු කරන්න බැරිව ඉන්න මෙම පාලනයන්ට තව දුරටත් රට හදන්න බැරි බව ඔප්පු කොට තිබෙනවා. පවතින පාලනයටත් පැවති පාලනයටත් නැවත පැමිණෙයි කියා හිතා ඉන්න රාජපක්‍ෂ පාලනයටත් රට ගොඩනගන්න නොහැකි බව ඕනෑවටත් වඩා ඔප්පු කර තිබෙනවා.
අරලියගහ මන්දිරයේ මංගල උත්සවය
මංගල උත්සවය සිදුවූ දිනට පසු දිනම දුෂණ විරෝධී හඬ සංවිධානයේ වසන්ත සමරසිංහ සහෝදරයා තොරතුරු දැනගැනීමේ පනතට අනුව අග‍්‍රාමාත්‍ය කාර්යාලයෙන් ඒ පිළිබඳ තොරතුරු ඉල්ලා ලිපියක් යොමුකොට තිබෙනවා. අරලියගහ මන්දිරයේ උත්සව ශාලාවක් තිබේද?, මීට පෙර එම උත්සව ශාලාව කුලියට දී තිබේද? එම උත්සව ශාලාව කුලියට දෙන මිල මට්ටම් කොපමණද? එවැනි සෑම උත්සවයක් සඳහාම රාජ්‍ය ආරක්‍ෂාව ලබා දෙනවාද? කුලියට ලබාදෙන අදාල කාලයට අමතරව වැඩිපුර පැය ගණන් සඳහා අයකරන මුදල කොපමණද? යන කාරණා එම ලිපියෙන් විමසා තිබෙනවා. කෙසේ වෙතත් මේ පාලකයින්ට මහජන මුදලින් යැපෙනවා හැර වෙන යමක් නොමැති බව බැලූ බැල්මට පේනවා. අපේ රටේ සාමාන්‍ය පවුලක් වුවත් තමන්ගේ මංගල කටයුත්තක් සඳහා යොදා ගන්නේ තමන් දුක් මහන්සියෙන් හම්බකරගත් මුදලක්. නමුත් මෙම පාලකයින් මගුල් කන්නෙත් මහජන මුල්වලින් බව ජනතාවට පෙන්වමින් තිබෙනවා.
සටන් කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන්
ඕනෑම සටන් කි‍්‍රයාමාර්ගයක් අවසන් වන ක‍්‍රම තුනක් තිබෙනවා. එකක් තමයි ජනතාවට ජයග‍්‍රහණ අත්පත්කර දෙමින් කි‍්‍රයාමාර්ගය අවසන් වෙනවා. ඇතැම් කි‍්‍රයාමාර්ග විනාශය පසුපසට ඇද දැමීමට සමත් වෙනවා. උදාහරණයක් හැටියට ති‍්‍රකුණාමල තෙල් ටැංකි විකිණීම සටන් කි‍්‍රයාමාර්ග නිසා පසුපසට ඇද දැමීමට සමත් වී තිබෙනවා. ඒ වගේම ඇතැම් සටන් කි‍්‍රයාමාර්ග ප‍්‍රතිපාර්ශ්වයට ජයග‍්‍රහණ අත්කර දෙමින් උද්ඝෝෂකයන්ට පරාජය අත්කර දෙමින් අවසන් වෙනවා. එය තමයි යථාර්ථය එම නිසා එක් එක් කරුණට වෙන වෙනම සටන් කිරීමෙන් තව දුටත් ඵලක් වෙන්නේ නැහැ. මෙම පාලනයන් අනුගමනය කරන වැරදි ප‍්‍රතිපත්තියට එරෙහිව තනි සටනක් දියත් කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාව පළ ගැසිය යුතු බවයි අපගේ ස්ථාවරය වන්නේ.
ආණ්ඩුවට එරෙහි කි‍්‍රයාමාර්ග තවත් ශක්තිමත් කළ යුතුයි
මෙතක් පැවති පවතින පාලනයන්ගෙන් දුර්වලතම පාලනය වර්තමාන පාලනයයි. මෙම ආණ්ඩුව විසින් ගෙනා පනත් විශාල ප‍්‍රමාණයක් ආපසු හරවගන්න සිදුවුණා. දේශීය ආදායම් බදු පනත අප විසින් ගෙනා සංශෝධනද නොතකා ආණ්ඩුව සම්මත කර ගත්තත් ඒවා කි‍්‍රයාත්මක කරගන්න බැරි වුණා. ඇතැම් බදු ආපසු හරවා ගන්න මුදල් ඇමතිවරයාට සිදුවුණා. ඒ වගේම පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් පනත් ගණනාවක් ආණ්ඩුවට සම්මත කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ගොවිජනතාවට ලබාදුන් පොහොර සහනාධාරය කප්පාදු කළත් විරෝධතා හමුවේ නැවත ලබාදෙන්න සිදුවුණා. එම නිසා විපක්‍ෂයේ විශාල මැදිහත්වීමක් මත ආණ්ඩුවේ ඇතැම් කි‍්‍රයාමාර්ග ආපසු හරවන්න පුළුවන් වෙලා තිබෙනවා. එම කි‍්‍රයාමාර්ග ප‍්‍රමාණවත්ද යන්න පිළිබඳව විවාදයක් තිබෙනවා. නමුත් ආණ්ඩුවට එරෙහි කි‍්‍රයාමාර්ග තව තවත් දැඩිකළ යුතුව තිබෙනවා.
බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව
මහබැංකු බැඳුම්කර ගණුදෙනුවට පාර්ශ්ව දෙකක් සම්බන්ධයි. එකක් පෞද්ගලික සමාගම අයුතු ලාභ ලබාගැනීම. ඒ සම්බන්ධයෙන් අර්ජුන ඇලෝසියස් සහ එම සමාගමේ තවත් නිලධාරියෙක් මේවනවිට අත්අඩංගුවේ ඉන්නවා. දෙවැනි කාරණය වන්නේ එම ගනුදෙනුවට ආණ්ඩු පාර්ශ්වයේ දායකත්වයයි. ජනතාවටත් රටටත් වඩා වැදගත් වන්නේ ආණ්ඩුවේ දායකත්වයයි. එනම් රනිල් වික‍්‍රමසංහත් මහ බැංකු අධිපතිවරයාත් මහ බැංකුවේ මුදල් මණ්ඩලයත් මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් දක්වන දායත්වය පිළිබඳ විමර්ශනය තමයි රටට වැදගත් වන්නේ. එම නිසාම මා පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාට ප‍්‍රශ්නයක් යොමු කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා විශේෂ අධිකරණවල විමර්ශනය සඳහා මහබැංකු බැඳුම්කර වංචාව බාර නොදීමට හේතු මොනවද කියලා. මේ වනවිට රට තුළත් මාධ්‍යවලත් සාකච්ඡුාවට ලක්වී තිබෙන්නේ පුද්ගලික සමාගමේ දායකත්වය පිළිබඳවයි. නමුත් ආණ්ඩුවේ පාර්ශ්වය මැදිහත්වීම වැඩි වැඩියෙන් සාකච්ඡුාවට ලක්කළ යුතුව තිබෙනවා.
ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය
රනිල් වික‍්‍රමසිංහලාගේ ආර්ථික ප‍්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ යටිතල පහසුකම් සංවර්ධණය කිරීම සහ නීති සකස් කිරීම පමණයි. නමුත් එම ආර්ථික තර්කය වැරදි එකක්. අප වැනි කුඩා රටක ආර්ථිකයේ සංවේදී ක්‍ෂේත‍්‍ර රාජ්‍ය මැදිහත්වීමෙන් සිදුකළ යුතුව තිබෙනවා. එසේ නොමැති වුවහොත් අපේ රටේ ආර්ථිකය පෞද්ගලික ආයතනවලින් ගිල ගැනීමට ඇති හැකියාව වැඩියි. එම නිසා අත්හළ නොහැකි මැදිහත්වීමක් රජය විසින් කළ යුතුව තිබෙනවා. උදාහරණයක් හැටියට අපේ රටේ වී නිෂ්පාදනය මෙ.ටො. ලක්‍ෂ 35ක් වැනි ප‍්‍රමාණයක්. මේ වනවිට හාල් වෙළඳපොළේ ඒකාධිකාරයක් ගොඩනැගෙමින් තිබෙනවා ආණ්ඩුවේ දායකත්වයක් නැති නිසා. එම නිසා රටේ සහල් වෙළඳපොළ පාලනය කිරීම සඳහා ආණ්ඩුවේ අත්‍යාවශ්‍ය මැදිහත්වීමක් ඕනෑ. නමුත් රනිල් වික‍්‍රමසිංහලාගේ ආර්ථික ප‍්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ රජය සතු පාලනය මුළුමනින්ම අත්හැරීමයි.

The post ආණ්ඩුව රු. බිලියන 2,000ක සුදුවක . appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();