Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපායට හිරු පෑයූවාක් මෙන් ලබන 11 දා ගුරු වෘශ්චිකයට යයි


කලකට පසුව කලදසාව පිළිබඳව අපූරු තොරතුරු සමුදායක් ඔබ වෙත ගෙන ඒමට අවස්ථාව යෙදී තිබේ. ලබන ඔක්තෝබර් මස එකොළොස් වැනිදා රාත්‍රි 7.21 ට ගුරු ග්‍රහයා වෘශ්චික රාශියට පිවිසෙයි. මේ අවස්ථාව යෙදෙන්නේ ආසන්න වශයෙන් වසර 12 කට පසුවයි. එය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්කල සුවිශේෂී වැදගත්කමක් දරන්නේ රටේ ලග්නය වූ කුම්භ රාශියේ සිට දස වැන්න හෙවත් රාජ්‍ය බලය සහ පාලන තන්ත්‍රය නිවේදනය කරන දසවැන්න වෘශ්චික රාශියට අයත් ව තිබීම නිසාය. ගුරු ග්‍රහයා එකී මර්මස්ථානයට පැමිණීම අනුව රටේ ඉදිරි කලදසාව කෙසේ සකස් වන්නේ ද යන්න විමසා බැලීම සඳහා මේ උචිතම අවස්ථාවකි.

ගුරු ග්‍රහයා යනු ටොලමියානු ජ්‍යොතිෂය අනුව විශ්වයේ සුපිරි මාතෘ ශක්තිය වූ ආකාශ ශක්තිය නියෝජනය කරන එකම ග්‍රහයා වේ. පෘථිවියට හිරු වටා එක් ගමන් වටයක් සම්පූර්ණ කිරීමට ආසන්න වශයෙන් පෘථිවි දින 365 ක් ගතවෙයි. සෙනසුරුට වර්ෂ 29.5 ක් යුරේනස්ට වර්ෂ 84 ක් ගුරුට වර්ෂ 12 ක් රාහුට වර්ෂ 18 ක් ආදී වශයෙන් එකී කාලය වෙනස් වෙයි. එහෙත් මේ සෑම අවස්ථාවක් ම ගණනය කැර තිබෙන්නේ පෘථිවි වර්ෂයකට සාපේක්ෂව යි. පෘථිවියේ එක් දිනයක් යනු පැය 24 කි. ගුරු ග්‍රහයාගේ එක් දිනයකට පැය 10 ක් ද බුධ ග්‍රහයාට පැය 1408 ක් ද සිකුරුට පැය 5832 ක් ද කුජට පැය 25 ක් ද සෙනසුරුට පැය 11 ක් ද යුරේනස්ට පැය 17 ක් ද නෙප්චූන්ට පැය 16 ක් ද වෙයි. එකම පද්ධතියක කොටස්කරුවන් වූවත් එක් එක් ග්‍රහයා තමා වටා පරිභ්‍රමණය වීමට විවිධාකාර කාලයන් ගත කරයි.

එසේ වන්නේ එක් එක් ග්‍රහයාගේ පරිමාව හෝ විශාලත්වය අනුව නොවන බවත් පෙනෙයි. ග්‍රහ ලොව විශාලතම ග්‍රහයා වූ ගුරු පැය 10 න් තමා වටා පරිභ්‍රමණය වන අතර ග්‍රහලොව කුඩාම ග්‍රහයා වූ බුධ ඒ සඳහා පැය 1408 ක් වැය කරයි. ගුරුට වඩා බෙහෙවින්ම කුඩා සිකුරුගේ එක් දිනයක් යනු පැය 5832 කි. මෙසේ වන්නේ කවර හේතුවක් නිසා ද ? ඊට බලපාන එකම හේතුව නම් එකී ග්‍රහයන් නිර්මිත වී තිබෙන ශක්ති පදාර්ථ සංයුතිය මිස අන් දෙයක් නොවේ. විශ්වයේ වැඩියෙන් ම පැතිර පවතින්නේ ආකාශ ශක්තිය යි. සියලු ශක්තීන් අතර සියුම් සැහැල්ලු බව ද අධි වේගය ද උදාරත්වය ද අතින් අග්‍රගණ්‍ය වූ ස්වභාවය ගුරු ග්‍රහයා වෙතින් නිරූපණය වෙයි.

ලබන ඔක්තෝබර් 11 දා මෙකී ග්‍රහයා පිවිසෙන්නේ විසා නැකතේ හතරවැනි පාදයටයි. එතැන් සිට ගුරු ග්‍රහයා ඔක්තෝබර් 28 දා දක්වා විසා නැකතේ හතරවැනි පාදයේ සිට අනුර නැකතේ පළමු පාදයට පිවිසේ. අනුර නැකත යනු සෙනසුරුට අයත් ඉතා බලවත් ශක්ති කලාපයකි. එහි රජ කරන්නේ වායු ශක්තියයි. විශ්වයේ බලවත්ම ප්‍රඥා සංයෝගය ලෙස ගුරු ශනි සංයෝගය නම් කළ හැකිය. මෙහිදී ගුරු ග්‍රහයා සෙනසුරුගේ නැකතක ගමන් ගැනීමේදී එකී විශිෂ්ට ප්‍රඥා යෝගය නිර්මාණය වේ. ඉන් අනතුරුව දෙසැම්බර් මස 28 වැනිදා සිට ගුරු ග්‍රහයා ගමන් ගන්නේ බුධට අයත් දෙට නැකතේය. එය පඨවි ශක්තිය නියෝජනය කරයි. 2019 වසරේ මාර්තු 29දා වනවිට දෙට නැකතේ සහ වෘශ්චික රාශියේ අවසන් අංශකය පසුකරන ගුරු ග්‍රහයා මාර්තු 29 දා රාත්‍රී අට පසුවී මිනිත්තු දොළහට ධනු රාශියට පිවිසෙයි. මෙය තරමක අසාමාන්‍ය තත්ත්වයකි. ඊට හේතුව වන්නේ ගුරු ග්‍රහයා වෘශ්චික රාශියේ ආරම්භයේ සිට අවසානය දක්වා ම සෘජුව ගමන් කොට මාස හයක කාලයකදී වෘශ්චික රාශියේ ගමන අවසන් කිරීමයි. මෙකී අවස්ථාව ලෝකායන ජ්‍යොතිෂය අනුව වෙනම ම විග්‍රහ කළ යුතු අවස්ථාවකි.

දෙවනුව 2019 වසරේ අප්‍රේල් මස දොළොස්වැනිදා ගුරු ග්‍රහයා ධනු රාශියේ කලා 13 හෙවත් මූල නැකතේ පළමු පාදයේ වක්‍ර වෙයි. මෙකී වක්‍ර ගමන අගෝස්තු මස 10 දා තෙක් සිදුවන අතර අගෝස්තු මස 11 දා වෘශ්චික රාශියේ අංශක විස්සයි කලා 22 හෙවත් දෙට නැකතේ දෙවැනි පාදයේ සිට ගුරු ග්‍රහයා නිවෘත වීම හෙවත් සෘජු ගමන ආරම්භ කරයි. ඉන් අනතුරුව 2019 වසරේ නොවැම්බර් මස පස් වැනි දා ගුරු ග්‍රහයා දෘෂ්ටික වෘශ්චික රාශියේ සිට ධනු රාශිය බලා ගමන් ගනී. අපගේ විමසුමට ලක් වන්නේ ගුරු ග්‍රහයා 2018 වසරේ ඔක්තෝබර් 11 සිට 2019 නොවැම්බර් මස 5 දා දක්වා ගෝචර වන රාශිය සහ ශක්ති කලාපයන් ය. උක්ත විමර්ශනය අනු කොටස් කිහිපයකට බෙදේ.

අපි මුලින් ම ගුරු ග්‍රහ මාරුව ශ්‍රී ලංකාවට බලපාන ආකාරය පියවරින් පියවර විමසමු. ලංකා කේන්දරයේ 02 සහ 11 භාවස්ථාන ගුරු ග්‍රහයාට අයත් වෙයි. ඒ අනුව ධනස්ථානාධිපති සහ අයස්ථානාධිපති යන භූමිකා දෙකම ගුරු ග්‍රහයාට හිමිවන අතර මෙරට ජාතික ආර්ථිකය කෙරෙහි ගුරු ග්‍රහයා විසින් ඇති කරනු ලබන බලපෑම කෙතරම් ද යනු එයින් නිශ්චිත වෙයි. දැන් එකී ගුරු පිවිසෙන්නේ රටේ ලග්නයෙන් 10 වැන්නට යි. එය ඉතා බලවත් ස්ථානයක් වන හෙයින් රට රොකට් වේගයෙන් දියුණුවේ හිණි පෙත්තට පියවර තබනු ඇතැයි මතුපිටින් නිරීක්ෂණය වෙයි. එහෙත් එසේ වන්නේ නැත.

ටොලමියානු ජ්‍යොතිෂය අනුව කේන්දරයක ආලෝක මුදුන හෙවත් ප්‍රදීපස්ථම්භය වන්නේ 10 වැන්නයි. එහෙත් ලංකා කේන්දරයේ 10 වැන්න යනු වෘශ්චික රාශිය යි. අඳුරු පාතාල කුමන්ත්‍රණ පාවාදීම් පළිගැනීම් ද්‍රෝහීත්වය ද්වේශය බඩජාරීකම අහංකාරය සහ ප්‍රඥා විරහිත බව එහි මූලික ලක්ෂණ වේ. ගුරු වැනි ප්‍රඥා සම්පන්න ආකාශ ශක්තියෙන් පොහොසත් ග්‍රහයකු එවැනි ස්ථානයකට පැමිණි විට සිදුවන්නේ අපායට හිරු පෑයුවා වැනි විපර්‍යාසයකි. අපාය යනු විශ්වීය ප්‍රඥාව නම් සූර්‍යාලෝකය රහිත අඳුරු පාතාලයකි. එවැනි තැනකට හිරු පෑයූ විට අනුවණ පව්කාර අඳුරු බලවේග නැසී වැනසී යයි. ඒ අනුව එක්කෝ පාලකයන්ට ප්‍රඥා සම්පන්න යුක්තිගරුක සත්පුරුෂයන් වීමට බල කෙරෙයි. නො එසේ නම් ප්‍රඥාවන්තයන් සිංහාසනාරූඨ කෙරෙයි.

රටේ ස්ථාවර මූල්‍ය හා සම්පත් නිවේදනය කෙරෙන 02 වැන්නේ සිට 10 වැන්න යනු 09 වැන්න වේ. රටේ සියලු අයමාර්ග නිවේදනය කෙරෙන 11 වැන්නේ සිට 10 වැන්න යනු 12 වැන්න වේ. මෙහි ඍජු සරල තේරුම වන්නේ ආර්ථික අහේනිය සහ අයමාර්ග දුබලවීම එහි උච්ච අංශකයට ළඟාවීම සහ එහි සමාප්තිය සනිටුහන් වීමයි. ආර්ථිකමය හේතුව අනෙක් සියලු සාධක අභිබවා පෙරට පැමිණෙන අතර අති දුෂ්කර සිදුවීම් සමුදායක මැදින් රාජ්‍ය තන්ත්‍රයේ විශාල ප්‍රතිසංස්කරණයක් සිදුවීම නියත වෙයි. මුහුණු සහ තනතුරු පුටු මාරුවීම උක්ත ප්‍රතිසංස්කරණයේ එක් සංඥාවක් පමණි. ඒ අනුව ඉදිරි කාලයේදී එකී පුටු මාරූවීම් දැක ගන්නට ලැබේ. එය කළු වළාවක මතු වූ රිදී රේඛාවක් මෙන් ශ්‍රී ලංකාවට දිගුකාලීනව වාසිදායක වෙයි. පසුගිය ජූලි මස 10 දා ' අද ' පුවත්පතින් මා විසින් පළ කරනු ලැබූ පුරෝකතනයක උධෘතයක් නැවත සිහි කරමු. එහි මෙසේ සඳහන් කෙරිණි.

''......පවතින ආණ්ඩුවේ ඉතා තදබල දුෂ්කර අවස්ථාවක් එයින් නිරූපණය කෙරේ. ආණ්ඩුව පමණක් නොව ආණ්ඩුවේ ඉහළම පෙළේ තනතුරු හොබවන අයට විශාල පීඩනයක් ගෙන දෙයි. එකී පීඩා කාලය චන්ද්‍රග්‍රහණයේ සිට මාස 4 1/2ක් දක්වා වූ කාලයක් ඉදිරියට පවතී. එනම් නොවැම්බර් මාසය දක්වාම විටින්විට ක්‍ෂණිකව සහ ක්‍රමයෙන් ආණ්ඩුවේ සහ එහි නියෝජිතයන්ගේ ඛේදජනක පිරිහීම බෙලහීන බව සහ පරාජය පිණිස කරුණු ඉස්මතු වේ. ලබන නොවැම්බර් මාසයෙන් පසුව වත්මන් ආණ්ඩුව පවත්වාගෙන යෑම අතිශය දුෂ්කර තත්ත්වයකට පත්වේ. දැනට රජයේ ඉහළ පෙළේ තනතුරු හොබවන සැලකිය යුතු පිරිසකට එකී තනතුරු අහිමි වී යෑම සිදු වන අතර, ඔවුන් සම්බන්ධයෙන් සමාජය කම්පනයට සහ තිගැස්මට ලක් කරවන ප්‍රවෘත්ති වාර්තා වනු ඇත. කාටත් තේරෙන බසින් පැවසුවොත් නැවත පියවිය නොහැකි බරපතළ පරාජයන් හා පසුබෑම් ආණ්ඩු පක්‍ෂයට අත්විඳින්න සිදුවේ.

පූර්ණ චන්ද්‍රග්‍රහණයට ආසන්න දින කිහිපය, චන්ද්‍රග්‍රහණය සිදුවන දින කිහිපය සහ චන්ද්‍රග්‍රහණයෙන් පසුව මාස හතරහමාරක කාලය තුළ දැවැන්ත භූචලන හා ජල විපත් ලෝකයේ බොහෝ ප්‍රදේශවල වාර්තා වනු ඇත.
ඊට අමතරව කාලගුණ තත්ත්වය කෙරෙහි මේ පූර්ණ චන්ද්‍රගහණය විසින් ඇති කරනු ලබන්නේ හිතකර තත්ත්වයක් නොවේ. ඉදිරි මාස හතරක කාලය ඇතුළත ක්‍ෂණික සහ කෙටිකාලීන කාලගුණික විපර්යාස මාලාවක් හටගනු ඇත.

. රටේ ආර්ථික තත්ත්වය තවදුරටත් අනතුරුදායක තත්ත්වයට පත්වන අතර, අනපේක්‍ෂිත හානි සහ හදිසි ආපදා තත්ත්වයන් හේතුවෙන් විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව පෙනේ. විදේශ වෙළෙඳාම, විදේශ රටවල් සමග කරනු ලබන ගනුදෙනු කිරීම් යනාදිය හේතුකර ගෙන තවදුරටත් අවාසිදායක තත්ත්වයන් උද්ගත වේ..... ":

එදා කී ලෙසටම මේ වනවිට කරුණු සිදුවෙමින් පවතින බව අමුතුවෙන් කිවයුතු නොවේ. කෙසේ වෙතත් ගුරු ග්‍රහයා වෘශ්චික රාශියේ ගමන් ගන්නා කාලය මෙරට පාලන තන්ත්‍රය තුළ දැවැන්ත සුළි කුනාටු වර්ධනය කෙරෙන සහ පවතින බොහෝ දේ විනාශ කැර අලුත් අලුත් දේ නිර්මාණය කෙරෙන තීරණාත්මක අවස්ථාවක් වනු ඇත.සැඟවී තිබුණු සිදුවීම් සහ සැඟවී තිබුණු මුහුණු හොඳින් හෝ නරකින් හෝ කරළියට පිවිසෙයි. ඔක්තෝබර් 28 සිට දෙසැම්බර් 28 දක්වා වූ කාලය මෙරට රාජ්‍ය තන්ත්‍රයේ කැපී පෙනෙන ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවක ආරම්භය වෙයි. ඉන් අනතුරුව 2019 මාර්තු 29 දක්වා වූ කාලය රටේ පාලන තන්ත්‍රයේ දැවැන්ත ප්‍රතිසංසකරණයන් හට ගනී

[ඉතිරි කොටස ලබන සතියේ ]
කේ.සී.ජේ .රත්නායක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();