ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සැලසුම් කුමක්ද යන්න දැන්ම ප්‍රකාශ කළ නොහැකි බවත්, ලෝක කුසලානයට පෙර බොහෝ දේ වෙනස් විය හැකි බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි. නිමාවට පත්වූ දකුණු අප්‍රිකානු සංචාරය පිළිබඳ අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවේදී හතුරුසිංහ මහතා මේ බව පැවැසීය.
දකුණු අප්‍රිකාව සමග ශ්‍රී ලංකාවේ පැවැති ක්‍රිකට් සංචාරයේදී ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය අත්කරගත් අතර එක්දින තරගාවලිය 3-2ක් ලෙස දකුණු අප්‍රිකාවට ජය හිමි විය. එකම විස්සයි 20 තරගයෙන් ශ්‍රී ලංකාවට ජය හිමි විය. සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව මෙම සංචාරයේදී උසස් ලෙස ක්‍රීඩා කළ බව ජාතික ක්‍රිකට් පුහුණුකරුගේ අදහස විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් හී ඊයේ පැවැති මෙම ප්රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්, ටෙස්ට් ක්‍රිකට් නායක සුරංග ලක්මාල්, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා හා කළමනාකරු චරිත් සේනානායක යන මහත්වරු එක්ව සිටියහ.
“ලෝක කුසලානයට පෙර එංගලන්තය, නවසීලන්තය හා දකුණු අප්‍රිකාව සමග එක්දින තරග කිහිපයක්ම ක්‍රීඩා කිරීමට අපට අවස්ථාව තිබෙනවා. එම තරගවලදී ක්‍රීඩකයන්ට උපරිම අවස්ථාව ලබාදිය යුතුයි. ඔවුන්ගේ දස්කම් අනුව ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්නේ කවුද? ඒ අනුව සැකසිය යුතු සැලසුම් මොනවාද යන්න තීරණය වන්නේ. ලෝක කුසලාන තරගාවලියට පෙර ඇති වැදගත්ම තරගාවලි තුන ඉදිරි සැලසුම්වලට වැඩි වශයෙන් බලපෑම් කරාවි. තව සති කිහිපයකින් ආසියා කුසලාන තරගාවලියත් තිබෙනවා. නමුත් ඒක ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන ස්ථානයට වඩා වෙනස්. ඒ නිසා ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන්නේ තරමක් වෙනස් සැලසුමකින්“ හතුරුසිංහ මහතා පැවැසීය.
දකුණු අප්‍රිකා සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් හී දී දැක්වූ දස්කම් අගය කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
“කිසිදු ක්‍රීඩකයෙක් එක් තරගාවලියකදී අසාර්ථක වූ පමණින් ඔහුගේ අවස්ථාව නැති වෙන්නේ නෑ. ඔහු අදක්ෂයෙක් කියා තීරණය කරන්නත් බෑ. ඔහුට අවස්ථාව ලබා දිය යුතුයි. කුසල් මෙන්ඩිස් මේ තරගාවලියේ ලකුණු අතරට පැමිණීම තරමක් අඩු වුණා. නමුත් ඔහු ලෝකයේ සිටින දක්ෂතම පිතිකරුවෙක්. ඔහුට තව තව අවස්ථා දී විශ්වාසය වැඩි කළ යුතුයි“ හතුරුසිංහ මහතා පැවැසීය.
ලසිත් මාලිංග විස්සයි 20 තරගයට යොදා නොගැනීම අසාධාරණ නොවන්නේද යැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දුන් හතුරුසිංහ මහතා පැවැසූවේ “ මාලිංග අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කොට නැවැත තේරීම් සඳහා අවස්ථාව සලසා ගත යුතුයි. මාලිංගට ඉදිරියේ පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේදී දස්කම් දැක්වීමේ අවස්ථා උදාකොට තිබෙනවා“ යනුවෙනි.
චරිත් සේනානායක කළමනාකරු ලෙස පත්කොට ඇත්තේ එළැඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා පමණක් බවත් ලෝක කුසලාන තරගාවලිය පිළිබද සැලසුම් සකස් කිරීමට තව කාලය ඇතැයි ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලී ද සිල්වා මහතා පැවැසීය. ඉදිරියේදී කනිෂ්ඨ ජාතික තේරීම් කමිටුවක් පත් කිරීමට බලාපොරොත්තුවන බවද සිල්වා මහතා පැවැසීය.
0 Comments