Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අකිලගේ ‘ගුග්ලියට’ අප්‍රිකානුවෝ ඇඳ වැටෙති

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

දකුණු අප්‍රිකානු සංචාරයේ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 178ක විශිෂ්ට ජයක් වාර්තා කළද තරග 5කින් සමන්විත තරගාවලියේ ජය 3-2ක් ලෙස දකුණු අප්‍රිකාව හිමිකර ගනියි. ඊයේ ආර්. ප්‍රේමදාස පිටියේ කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 299ක් ලබාගත් අතර අප්‍රිකානුවෝ සියලු දෙනා ඕවර 24.4කදී ලකුණු 121කට දැවීගියහ. මෙය ශ්‍රී ලංකාව ඉදිරියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු ගණන ලෙස වාර්තා වූ අතර මෙයට පෙර ආර්. ප්‍රේමදාස පිටියේදී 2013දී දකුණු අප්‍රිකාව ඕවර 31. 5කදී ලකුණු 140කට දැවී ගොස් තිබුණි.

පිට දඟ පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමේ නම් දරා සිටියද, ගුග්ලී හා පා දඟ පන්දු යන සම්මිශ්‍රණය ප්‍රදර්ශනය කළ අකිල ධනංජය ලකුණු 29කට කඩුලු 6ක් බිඳ හෙලීමෙන් අමාරුවේ වැටුණ අප්‍රිකානුවන්ට කිසි දිනෙක මේ පරාජය අමතක නොවනු ඇත. තරගයේ වීරයා වූ ධනංජය තම එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ඊයේ සටහන් කළ අතර මෙයට හරියටම වසරකට පෙර පල්ලේකැලේදී ලකුණු 54කට කඩුලු 6ක් බිඳ හෙළීම අකිලගේ හොඳම පන්දු යැවීම ලෙස තිබුණි.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති 125වැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මෙය වූ අතර ප්‍රේමදාස පිටියේ පැවැති 100 වැනි දිවා - රාත්‍රී තරගය ලෙස ක්‍රිකට් වාර්තා පොතට එක් විය. මුලින් පන්දුවට පහරදීමට ගත් තීරණය වඩාත් නිවැරදි බව තහවුරු කළ ඇන්ජලෝ මැතිව්ස් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් නිවැරදිව වටහාගෙන 37වැනි ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 97කදී හයේ පහරක් හා හතරේ පහර 11ක් සමග නොදැවී ලකුණු 97ක් ලබා ගත්තේය.

මැතිව්ස් මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරගවලදී ශතක දෙකක් රැස්කොට ඇති අතර එම ශතක දෙකම ඉන්දියාවේදී වාර්තා විය. එහෙයින් ශ්‍රී ලංකාවේදී මැතිව්ස් ලබා ගැනීමට ඔන්න මෙන්න තිබූ පළමු ජාත්‍යන්තර එක්දින ශතකය අහිමිවී යෑම ප්‍රේමදාස පිටියේ සිටි 35000ක පමණ ප්‍රේක්ෂක පිරිසකට සිත් වේදනා ගෙන දෙන්නක් විය. මැතිව්ස් තම ශතකය පිළිබඳ නොව රට ගැන සිතා දුර්වල පන්දුවලට පමණක් පහරදුන් අයුරු දිස්විය.

මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වූ 201 වැනි ජගත් එක්දින තරගය මෙයවූ අතර මෙවර දකුණු අප්‍රිකානු සංචාරයේ එක්දින තරග 5කදී අර්ධ ශතක 2ක් සමග ලකුණු 235ක් ලබා ගැනීම කැපී පෙනුණි. අවසන් ඕවර කිහිපයේදී දර්ශනීය පිතිකරණයක නිරත වූ දසුන් ශානක පන්දු 15කදී හතරේ පහර 2ක් හා හයේ පහරක් සමග ලකුණු 21ක් ලබා ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් ලබාදුනි.

ලකුණු 300ක ඉලක්කයක් කරා ගමන් ඇරැඹූ දකුණු අප්‍රිකානු පිලේ පළමු කඩුල්ල සුරංග ලක්මාල්ගේ හා ඉනිමේ පළමු පළමු ඕවරයෙන්ම අවසන්වීම ශ්‍රී ලංකාවට ප්‍රබල ශක්තියක් විය. අම්ලා ලකුණු බිංදුවකට දැවී ගිය අතර දඟ පන්දු යැවූ අකිල ධනංජය 6වැනි ඕවරයේ පිට පිට සිවුවැනි හා පසුවැනි පන්දුවලදී මාක්රම් හා හෙන්ඩ්රිකස් දවාගෙන අප්‍රිකානු බලාපොරොත්තු සුන් කළේය. අනතුරුව හොඳින් පන්දුවට පහරදෙමින් සිටි නායක කොක් ලකුණු 54ක් ලබා සිටියදී අකිලගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීමෙන් අප්‍රිකානුවන්ට හිස එසැවීමට නොහැකි තරම් සිද්ධියක් විය. දකුණු අප්‍රිකානු පිතිකරුවන් 6ක්ම ලකුණු 5කට අඩුවෙන් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වූ නිරෝෂන් දික්වැල්ල හා උපුල් තරංග පළමු කඩුල්ලට ලකුණු 50 සම්බන්ධතාවක් එක් කළ අතර මුලින්ම උපුල් තරංග ලකුණු 19කට දැවී ගියේය. කෙතරම් පරිනත ක්‍රීඩකයකු වුවද තරංග නවක වේග පන්දු යවන්නකු ඩාලාගේ පන්දුවකට වූ අනවශ්‍ය ලෙස පහරක් එල්ල කිරීමට ගොස් කඩුලු රකින ක්‍රීඩක කොක් වෙත උඩ පන්දුවක්දී දැවී ගියේය.

දෙවැනි කඩුල්ලට දික්වැල්ල හා කුසල් පෙරේරා ලකුණු 16ක සම්බන්ධතාවක් ගොඩනගා තිබියදී කුසල් ලකුණු 8කට දැවීගිය අතර දික්වැල්ල සමග එකුවූ කුසල් මෙන්ඩිස් තෙවැනි කඩුල්ලට ලකුණු 50 සාර්ථක සම්බන්ධතාවක් ගොඩ නැංවූහ. කුසල් මෙන්ඩිස් පන්දු 43කදී හතරේ පහර 5ක් සමග ලකුණු 38ක් ලබා ගත් අතර ධනංජය ද සිල්වා හයේ පහරක් හා හතරේ පහරක් සමග ලකුණු 30ක් වාර්තා කළේය.

සිවුවැනි තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල මෙම තරගයේදී එලෙසම එක්වූ අතර ලුන්ගි න්ගිඩි සහ ඩේවිඩ් මිලර් වෙනුවට කගීසෝ රබාඩා සහ ඒඩ්න් මාක්රම් මේ තරගයට දකුණු අප්‍රිකාව වෙනුවෙන් කැඳවා තිබුණි.

තරගාවලියේ වීරයා සම්මානය ජේ.පී.ඩුමිනිට පිරිනැමුණි.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එකම විස්සයි 20 ක්‍රිකට් තරගය හෙට (14) ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();