Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලියට’ සියල්ල සූදානම්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ලෝක ශූර 96 ක්‍රිකට් විරුවන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවීමට නියමිත ‘ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලියට’ සියලු කටයුතු සූදානම් බව එහි ප්‍රධාන සංවිධායක කොළඹ ආනන්ද විදුහලේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස හා දක්ෂ ක්‍රිකට් පරිපාලකයෙකු ලෙස ප්‍රකට ෂශී ධනතුංග මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේ විධායක අධ්‍යක්ෂ ලෙස හා ප්‍රධාන තරගාවලි සංවිධායක ලෙස 1998 සිට 2002 දක්වා විශාල මෙහෙවරක් කළ ධනතුංග මහතා විදෙස්ගතව සිට නැවැත ශ්‍රී ලංකාවට පැමිණ අලුත් අත්දැකීමක් සහිත ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටී. මෙය ක්‍රිකට් තරගාවලියක් සේම සාරධර්ම වලින් පිරි සමාජයක් බිහි කිරීමේ උදාර අරමුණ ඇති ව්‍යාපෘතියක් බව ධනතුංග මහතාගේ අදහස වේ.

“ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ ක්‍රියාත්මක වෙනවා. අප බලාපොරොත්තු වන්නේ ඒ ආකෘතිය තව තවත් වැඩි දුයුණු කොට සමාජයට වඩාත් සමීප තරගාවලියක් සංවිධානය කරන්නයි. මේ තරගාවලිය අතරතුර සමාජයට විශාල පණිවිඩයක් අප ලබා දෙනවා. පාසල් දරුවන් විනය ගරුක පරපුරක් ලෙස සමාජගත කිරීමේ අවශ්‍යතාව දරුවන්ට මෙන්ම මව්පියන්ට සමීප කිරීම මෙහි ප්‍රධාන අරමුණක්. තරගාවලියේ සියලුම තරග නොමිලේ නැරැඹීමේ අවස්ථාව මව්පියන්ට හා දරුවන්ට උදා වෙනවා. ක්‍රිකට් වීරයින් මගින් අපට පුලුවන් ඒ අයට අවශ්‍ය පණිවිඩය ලබා දෙන්න. ක්‍රීඩාවෙන් සෑම විටම සිදුවන්නේ සමාජයට යහපතක් නිසා අපේ උත්සහය සාර්ථක වන බව විශ්වාසයි ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලියේ සංවිධායක ෂශී ධනතුංග මහතා පැවැසීය.

මෙම ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 18ක් සහභාගීවන අතර එයට ප්‍රධාන පාසල් නියෝජනය කරමින් කණ්ඩායම් 17ක් හා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියගේ නායකත්වයෙන් කණ්ඩායමක් සහභාගී වේ. සනත් ජයසූරියගේ ක්‍රිකට් පිලට පිට පළාත් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක්වූ ක්‍රීඩකයෝ ඇතුලත්ව සිටිති. සියලුම කණ්ඩායම්වලට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සියලු පළාත් නියෝජනයවන ලෙස තෝරා ගැනීමද විශේෂත්වයකි.

“උතුරු නැඟෙනහිර ඇතුළු සියලු පළාත් නියෝජනයවන ලෙස අප ක්‍රීඩකන් තොරා ගෙන තිබෙනවා. කන්ඩායම් නායකයෝ ගිවිසුම් අස්සන් කොට අවසන්. ලබන ඔක්තෝබරයේ මේ තරගාවලිය ආරම්භ කරනවා. සති අන්ත තුනකදී මූලික වටයේ තරග පැවැත්වීමට කටයුතු සංවිධානය වනවා. දුවෙක් හෝ පුතෙකු සිටින තාත්තලාට පමණයි කණ්ඩායමට එක්වන්න පුලුවන්. පුතෙක් සිටින පියෙකුට තමන් නියෝජනය කළ ආදී විදුහල් නාමය යටතේ හෝ පුතා ඉගෙනුම ලබන වෙනත් පාසලක් වෙතොත් එයින් එක් පාසලක් යටතේ ක්‍රීඩා කිරීමට අවස්ථාව තිබෙනවා. දුවෙක් සිටින තාත්තා නම් ඔහු අනිවාර්යයෙන්ම තමන් ඉගෙනගත් පාසල් නාමය යටතේ ක්‍රීඩා කළ යුතු වෙනවා” ධනතුංග මහතා පැවැසීය.

මෙම තරගාවලියේ අනුග්‍රාහකයින්ගෙන් ලැබෙන සියලු මුදල් කොළඹින් පිට පාසල්වලට අවශ්‍ය ක්‍රීඩා පහසුකම් වෙනුවෙන් ලබාදීමට ඩෑඩ් ක්‍රිකට් තරග සංවිධායකයෝ අපේක්ෂා කරති.

“මේ තරගාවලියට අනුශාසකත්වය ලබා දෙන්නේ හිටපු ලෝක ක්‍රිකට් නායක ඇමැති අර්ජුන රණතුංග මහතායී. ඔහු හැමවිටම පවසන්නේ පිට පළාත් ක්‍රීඩාව නැංවීම උදෙසා තාක්ෂණය දියුණු ක්‍රියාමාර්ගවලට එළැඹෙන ලෙසයි. ඒ නිසා අප බලාපොරොත්තු වන්නේ තාක්ෂණික දැනුමක් සහිත පුහුණු කටයුතුවලට හා ක්‍රීඩාව පවත්වාගෙන යෑමට අත්‍යාවශ්‍ය පුහුණු උපකරණ ලබා දෙන්නයි. මේ ව්‍යාපෘතියෙන් පිට පළාත් ක්‍රීඩාව දියුණු කිරීමට අත හිත දෙන්න පුලුවන්” ධනතුංග මහතා සඳහන් කළේය.

අනූහයේ ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග, අසංග ගුරුසිංහ, හෂාන් තිලකරත්න, සනත් ජයසූරිය, චමින්ද වාස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර, උපුල් චන්දන මෙන්ම හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් වන නුවන් සොයිසා, ලංකා ද සිල්වා, අවිශ්ක ගුණවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ ප්‍රවීණ ක්‍රීඩකයන් රැසක් ඩෑඩ් ක්‍රිකට් තරගාවලියේ පෙරමුණ ගෙන සිටිති.

“තාත්තට ආදරෙන්....” තේමාව යටතේ පැවැත්වෙන තරගාවලිය මෙරට ක්‍රිකට් වංශ කතාවේ නව අත්දැකීමක් සහිත අලුත් පරිච්ඡේදයක් වනු ඇතැයි විහ්වාස කළ හැක.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();