මේ වසරේ අන්තර් විශ්ව විද්‍යාල ක්‍රීඩා තරගාවලියේ නෙට්බෝල් ශූරතාව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ක්‍රීඩිකාවෝ පිට පිට පස්වැනි වරටත් දිනා ගත්හ. හිටපු ජාතික නෙට්බෝල් පුහුණුකාරිණී හයසින්ත් විජේසිංහ මහත්මිය යටතේ පුහුණුව ලබන ශ්‍රී ජයවර්ධනපුර ක්‍රීඩිකාවෝ අවසන් මහා තරගයේදී කොළඹ විශ්ව විද්‍යාල පිල ලකුණු 61- 40කින් පරාජයට පත් කළහ. මෙම
නෙට්බෝල් තරගාවලිය බදුල්ල ඌව විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙහි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙතින් ලකුණු 40- 25කින් කැලණිය විශ්ව විද්‍යාලය පරාජය වූ අතර කොළඹ විශ්ව විද්‍යාලය වෙතින් ලකුණු 34-23කින් යාපනය විශ්ව විද්‍යාලය පරාජය විය. තෙවැනි ස්ථානය වෙනුවෙන් කැලණිය විශ්ව විද්‍යාලය හා යාපනය විශ්ව විද්‍යාලය අතර තරගයෙන් කැලණිය විශ්ව විද්‍යාලයට ලකුණු 49- 35ක ජයක් හිමි විය.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාල නෙට්බෝල් පිල අංජලී බියන්විල විසින් මෙහෙයවූ අතර උප නායිකාව ලෙස මනීෂා රණසිංහ කටයුතු කළාය. ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකාවන් ලෙස සොනාලී නානායක්කාර, ජනත්රී ගුණවර්ධන, තුෂාරා ජයසේකර, දිලක්ෂා ලියනාරච්චි, සදුනී වැලිකල, සජීවා සමරකෝන්, ඉක්ෂුරී රත්නවීර, ෂාරා විජේරත්න, නෙලුමී හපුආරච්චි හා විනුරි අන්ද්‍රාදි ක්‍රීඩා කළහ.
0 Comments