දකුණු අප්‍රිකානු පිල ටෙස්ට් තරගමාලාවේදී බිමටම සමතලා කරදැමීමට ශ්‍රී ලංකා පිල සමත්වූ නිසා සෙනසුරාදා දඹුල්ලේදී ඇරැඹෙන එක්දින තරගාවලිය ගැන දෙගිඩියාවක් ඇතිකරගන්නට අවශ්‍ය නැත. එසේ වුවත් ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර එක්දින ක්‍රිකට් ඉතිහාසය සිහිපත් කරද්දී මීට වසර 6කට පෙර තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් දකුණු අප්‍රිකාවට ගිය ශ්‍රී ලංකා පිල පාර්ල් නුවර බෝලෑන්ඩ් පිටියේ පැවැති පළමු එක්දින තරගයෙන් ලැබූ අන්ත පරාජය මතකයට නැඟෙන්නේ නිරායාසයෙනි.
එදා එම තරගයේ මාධ්‍ය ආවරණ කටයුතුවල නිරතවූ මේ ලියුම්කරුට එය කිසිදිනෙක අමතක නොවන්නේ එම අත්දැකීම සජීවිව විඳ දරාගැනීමට සිදුවූ නිසාය. එම සංචාරයේ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා එක්වූ සෙසු ශ්‍රී ලාංකික මාධ්‍යවේදින් වූ ලංකාදීප පුවත්පතේ ක්‍රීඩා කර්තෘ දමින්ද විජේසූරියටත්, 'දි අයිලන්ඩ්' පුවත්පතේ ක්‍රීඩා කර්තෘ රෙක්ස් ක්ලෙමන්ටයින්ටත් එය එවැනිම වේදනාකාරී මතකයක් වූ බවට සහතිකය. අප තිදෙනාම මෙවර තරගාවලියේදී ද මාධ්‍ය ආවරණ කටයුතුවල නිරතවන බැවින් පාර්ල් නුවරදී ශ්‍රී ලංකා පිල ලැබූ වේදනාකාරී පරාජයේ මතකය යළි යළිත් අවදි වනු ඇත.
අප තිදෙනා හැරුණු විට ඒ කටුක අත්දැකීමේ මතකය තුරුළු කරගෙන මෙවර තරගාවලියට එක්වන අනිත් පුද්ගලයා අන් කිසිවකු හෝ නොව වත්මන් එක්දින පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්ය. එදා තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දැනට ඉතිරිවී සිටින්නේ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් පමණී. තරග තහනම නිසා මුල් තරග කිහිපයට චන්දිමාල් ක්‍රීඩා කරන්නේ නැත.
එම අතුරු කතාවත් සමග මේ සටහන් වන්නේ පාර්ල් නුවර බෝලෑන්ඩ් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා එක්දින තරග ඉතිහාසයේ වාර්තා වූ අඩුම ලකුණු සංඛ්‍යාෙව් අමිහිරි කතාවය.
දිනය - 2012 ජනවාරි 11
ස්ථානය - දකුණු අප්‍රිකාවේ පාර්ල් නුවර බෝලෑන්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකානු පිලේ එවකට නායකයා ලෙස කටයුතු කළ ඒ.බී.ඩිවිලියර්ස් ඕවර 50 නිමාවෙද්දී බෝලෑන්ඩ් ලකුණු පුවරුව වර්ණවත් කළේ ලකුණු 301කිනි. ඒ සඳහා කඩුලු 8ක් වැය කිරීමටත් ඔවුන්ට සිදුවී තිබිණි.
ලසිත් මාලිංග යැවූ තුන්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවෙන් ආරම්භක පිතිකරු ග්‍රෙහැම් ස්මිත් කඩුලු රකින කුමාර් සංගක්කාරට උඩපන්දුවක් දී ආපසු ක්‍රීඩාගාරයට ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 9ක්ව තිබියදීය. ස්මිත් ලබාගත්තේ ලකුණු 6ක් පමණි. එහෙත් ඉන් පසුව හෂීම් අම්ලා සමග එක්වූ ජැක් කලීස් දෙවැනි කඩුල්ලට ලකුණු 144ක සම්බන්ධතාවක් ගොඩනගා දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 153කින් ඉහළට ඔසවා තැබුවේ ශ්‍රී ලංකා පිලට දැඩි අභියෝගයක් ද එල්ල කරමිනි.
ආරම්භක පිතිකරු අම්ලා අනගි ශතකයක් වාර්තා කිරිමට සමත්වූ අතර කලීස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 72කි. මේ සම්බන්ධතාව බිඳ වැටුණේ කලීස් දුවද්දී දැවීයාමෙනි. එහෙත් ඉන් පසුව පිටියට පැමිණි නායක ඩිවිලියර්ස් සිය ආරම්භක පිතිකරු සගයා හා එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 91ක සම්බන්ධතාවක් ගොඩනැගුවේ වේගවත් අර්ධ ශතකයක් ද රැස් කරමිනි.
නුවන් කුලසේකරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඩිවිලියර්ස් දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 244ක්ව තිබියදීය. ඊළඟට පැමිණි පිතිකරුවන්ට තැන්පත් වීමට ලසිත් මාලිංගගෙන් බුරුලක් ලැබුණේ නැත. ඒ වෙද්දී සිය ආකර්ශනීය හිසකේ විලාසිතාවත්, පන්දු යැවීමේ ඉරියව්වත් නිසා ලසිත් මාලිංගට දකුණු අප්‍රිකානු ක්‍රීඩාලෝලීන් අතර ලැබූ තිබුණේ අසීමිත ජනප්‍රියත්වයකි. මේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ වූයේ ඔහු සිය ප්‍රධානතම පන්දු යැවීමේ තුරුම්පුව වූ යෝකර් පන්දුවෙන් දකුණු අප්‍රිකානු පිලේ අගපෙළ පිතිකරුවන් අසරණ කරමින් කඩුලු 5ක්ම බිඳ දැමුවේය. දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 301කින් නතරවීම නායක ඩිල්ෂාන්ගේ අස්වැසිල්ලට හේතුවක් වූ අතරම මාධ්‍ය කුටියේ සිටි අපගේ සැනසිල්ලට ද හේතුවක් විය. ඒ වෙද්දී දකුණු අප්‍රිකාව හමුවේ පැවැති ටෙස්ට් තරගමාලාව 2-1කින් පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකා පිල සිටියේ එක්දින තරගාවලියේ දී සිය අභිමානය විදහා දැක්වීමේ බලාපොරොත්තුවෙනි.
එහෙත් සිදුවූයේ අනෙකකි. ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි පන්දුවේදී උපුල් තරංග ලකුණු නොලබා දැවීයාමත් සමග තරගය එහෙම පිටින්ම විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍යයක බඳු ශෝකාන්තයක ස්වරූපයක් ගත්තේය.
පිටියේ එක් අන්තයකින් මෝනි මෝකල් ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස උපුල් තරංග දවාගනිද්දී අනෙක් අන්තයෙන් ලොන්වාබෝ සොට්සොබේ නායක ඩිල්ෂාන් ද ලකුණු ලබාගැනීමට දවාලූයේ කඩුලු රකින ඩිවිලියර්ස්ගේ පිහිටෙනි. පළමු කඩුල්ල බිඳ වැටෙද්දී ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව ක්‍රියාත්මවීමට පටන්ගෙන නොතිබුණු අතර දෙවැනි කඩුල්ල බිඳ වැටෙද්දී එය දිස්වූයේ ලකුණු 4ක් ලෙසිනි. ඊළඟට අපට මාධ්‍ය කුටියේ අසුන්වලින් නැගී සිටින්නටවත් ඉඩක් නොතබා ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් එකපෙළට දැවීයන්නට පටන් ගත්හ.
පිතිකරුවන් ලෙස කණ්ඩායමට එක්වී සිටි ක්‍රීඩකයන්ගෙන් අවසානයට මහේල ජයවර්ධන දැවී යද්දී මුළු ලකුණු සංඛ්‍යාව දිස්වූයේ කඩුලු 6කට ලකුණු 13ක් ලෙසිනි. උපුල් තරංග (0), තිලකරත්න ඩිල්ෂාන් (0), කුමාර් සංගක්කාර (4), දිනේෂ් චන්දිමාල් (4), ඇන්ජෙලෝ මැතිව්ස් (0), මහේල ජයවර්ධන (2) ආපසු ක්‍රීඩාගාරයට හැරී ගියේ හිස බිමට නැඹුරු කරගනිමිනි.
ඒ වෙද්දී මාධ්‍ය කුටියේ සියලුදෙනා අන්තර්ජාලය පීරමින් සොයන්නට වූයේ ශ්‍රී ලංකාව එක්දින ඉනිමක ලැබූ අඩුම ලකුණු සංඛ්‍යාව නොව ඕනෑම කණ්ඩායමක් එක්දින ඉනිමක රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ගැනය.
ඒ අපකීර්තිමත් වාර්තාවේ අයිතිකරුවන් වූයේ සිම්බාබ්වේ පිලය. ඔවුන් 2004 වසරේ අප්‍රේල් මාසයේ හරාරේ නුවර පැවැති එක්දින තරගයේදී ලකුණු 35කට බිඳ දමා තිබුණේ ඒ ලජ්ජාසහගත වාර්තාවේ එළිපත්තේ බලා සිටි ශ්‍රී ලංකා පිලමය. විස්මයට කාරණාව නම් මේ වාර්තාවේ දෙවැනි තැන පසුවූ ලකුණු 36ක් ලැබූ කැනඩාවටත්, ලකුණු 38ක් ලබා තුන්වැනි තැනට නැවතත් පත්වූ සිම්බාබ්වේ පිලටත් මේ ඉරණම ගෙනදී තිබුණේ ශ්‍රී ලංකා පිලම වීමය. දැන් ශ්‍රී ලංකා පිල මුහුණදී ඇත්තේ ඉතිහාසය උඩුයටිකුරු වන මොහොතකටය.
ඒ මොහොතේ ක්‍රීඩාංගණයේ තිබුණේ එකම ජයඝෝෂාවකි. ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් එකපෙළට දැවීයද්දී මාධ්‍ය කුටියේ සිටි අපට දකුණු අප්‍රිකානු මාධ්‍යවේදින්ගෙන් නැගුණු සරදම් සිනහව ඉවසාගත නොහැක්කක් විය.
ඒ වනතුරුම මේ ග්‍රාමීය කඳුකර පළාතේ පිහිටි බෝලෑන්ඩ් පිටියේ සුන්දරත්වයෙන් පුදුමාකාර විදිහේ අසිරියක් විඳිමින් සිටි අපට ඒ මොහොතේ පාර්ල් ක්‍රීඩාංගණය පෙනුණේ ලොව වඩාත්ම අප්‍රසන්න දසුනක් ලෙසටය.
ඒ අතරතුර ශ්‍රී ලංකා ඉනිමේ 7 වැනි කඩුල්ලත් බිඳ වැටිණි. නුවන් කුලසේකර ලකුණු 6ක් ලබා දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 24ක්ව තිබියදීය. දැන් අවශ්‍ය වී ඇත්තේ තරගයේ ජයග්‍රහණය නොව අඩුම ලකුණු ප්‍රමාණයකට දැවී ගිය එක්දින කණ්ඩායම බවට පත්වීමේ අපකීර්තියෙන් ගැලවීමටය. ඊට තවත් ලකුණු 11ක්ම අවශ්‍යවී තිබේ. ඉතිරිව ඇත්තේ කඩුලු 3කි. ඒ සියලුදෙනාම පිත්තට නුහුරු පන්දු යවන්නෝ වෙති. මෝනි මෝකල් ඇතුළු දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සිටියේ පුදුමාකාර උත්තේජනයක් ලබමිනි. අප මාධ්‍ය කුටියට වී බලා සිටියේ ඉවසිල්ලක් නැතිවය.
ලසිත් මාලිංග දැවී ගියේ කෝසල කුලසේකර සමග එක්ව 8 වැනි කඩුල්ලට ලකුණු 9ක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 33 දක්වා ඉහළ දැමීමෙන් පසුවය. ඉන් පසුව අජන්ත මෙන්ඩිස් පැමිණ කෝසල කුලසේකර සමග එක්ව 9 වැනි කඩුල්ලට තවත් ලකුණු 10ක් එක්කොට ශ්‍රී ලංකා පිල අපකීර්තිමත් වාර්තාවෙන් මුදවා ගත්තේය. ඕවර 20කුත් එක් පන්දුවකදී ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත්වූයේ ලකුණු 43ක් ලැබීමෙන් පසුවය. ලෝක වාර්තාවෙන් බේරීමට සමත්වූවත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවෙන් බේරීමට නම් ඩිල්ෂාන්ගේ කණ්ඩායම සමත්වූයේ නැත. ඊට පෙර ශ්‍රී ලංකා පිලේ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 1986 වසරේ එක්සත් අරාබී එමීර් රාජ්‍ය යේ සාජා නුවරදී බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ ලකුණු 55කට දැවී යාමය.
මේ තරගයෙන් ශ්‍රී ලංකා පිල පරාජයට පත්වූයේ ලකුණු 258කිනි. එය ශ්‍රී ලංකා පිල එක්දින තරගයකදී ලැබූ විශාලතම පරාජය ද විය.
'මේක මගේ ක්‍රිකට් ජීවිතයේ සවුත්තුම තරගයයි.' පාර්ල් නුවර ක්‍රීඩකයන්ගේ රැස්වීම් ශාලාවේදී ඩිල්ෂාන් මාධ්‍යවේදීන්ට එසේ කීවේය.
0 Comments