Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාව හෙට දඹුල්ලේදී එක්දින තරගාවලිය අරඹයි

Author(s): 
ෆවුස් මොහොමඩ්

දඟ පන්දු යවන්නන්ගේ වික්‍රමාන්විතය නිසා සංචාරක දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගමාලාවෙන් විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකා පිල හෙට (29) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි ඇරැඹෙන දෙපිල අතර එක්දින තරගාවලියේ ජයග්‍රහණයත් අත්පත් කරගැනීමට කුරුමානම් අල්ලමින් සිටී. පළමු තරගය හෙට පැවැත්වෙන්නේ දිවා තරගයක් ලෙසටය.

ටෙස්ට් තරගමාලාවෙන් 2-0කින් දකුණු අප්‍රිකානුවන් පරාජය කිරිමට ප්‍රබලතම සාධකය බවට පත්වු ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු තුරුම්පු හෙට ඇරැඹෙන එක්දින තරගාවලියේදිත් ඉදිරියට දමා දකුණු අප්‍රිකානුවන් උගුලට හසුකර ගැනීම ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ එකම අරමුණය. ටෙස්ට් තරගමාලාවට ක්‍රීඩා කළ දඟපන්දු යවන්නන්ගෙන් පිට දඟපන්දු යවන අකිල ධනංජය සහ වමතින් දඟපන්දු යවන ලක්ෂාන් සඳකැන් සමග දකුණු අප්‍රිකානු පිලේ ක්‍රීඩකයන් මෙතෙක් නොදුටු 26 හැවිරිදි නවක වමත් දඟපන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරියත්, පිටදඟපන්දු යවන තුන්ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරියත් එක්දින සංචිතයට කැඳවීමෙන් එක්දින සංචිතයේ දඟපන්දු යවන්නන්ට වැඩි ඉඩක් ලැබී තිබේ.

දකුණු අප්‍රිකානු පිල පමණක් නොව ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය වැනි රටවල් ද ආසියානු උපමහාද්වීපයේ තණතීරුවල දඟපන්දු යවන්නන් හමුවේ දණ නවන බව ටෙස්ට් තරගමාලාවේ පරාජයෙන් පසුව දකුණු අප්‍රිකානු පිලේ නායක ෆෆ් ඩු ප්ලෙසි කීවේය.

දඟ පන්දු යවන්නන් සිවුදෙනෙක් සහ වේගපන්දු යවන්නන් තිදෙනක් ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීමේ බලඈණියට එක්වී සිටිති. දිනේෂ් චන්දිමාල් තරග තහනමට ලක්වී සිටින නිසා ටෙස්ට් තරගමාලාවේදී කණ්ඩායම මෙහෙයවූ වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් සමග ළහිරු කුමාර සහ කසුන් රාජිත වේගපන්දු අංශය ශක්තිමත් කරති. මීට පෙර ටෙස්ට් සහ විස්සයි20 තරග බිමේදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති කසුන් රාජිත එක්දින සංචිතයට එක්වූයේ පළමු වතාවටය.

තරග තහනම නිසා ටෙස්ට් පිලේ නායක චන්දිමාල්ට සහ විනය විරෝධී හැසිරීම නිසා තහනමට ලක්වී සිටින ආරම්භ පිතිකරු ධනුෂ්ක ගුණතිලකට එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී ඇති බැවින් තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස එක්වී සිටින තිසර පෙරේරාට සහ දසුන් ශානකට වැඩි වගකීමක් පැවැරෙනු ඇත. තිසර පෙරේරා තරග 133කදී කඩුලු 149ක් ලබා සිටින අතර හෙට ඇරැඹෙන එක්දින තරගාවලියේදි සිය ක්‍රීඩා දිවියේ තවත් කඩඉමක් සම්පූර්ණ කරනු ඇත. මීට අමතරව එක්දින තරග 75කදී කඩුලු 98ක් ලබා සිටින සුරංග ලක්මාල්ටද මේ තරගාවලියේ වැදගත් කඩඉමක් පසුකිරීමේ අවස්ථාව උදාවනු ඇත.

දකුණු අප්‍රිකානු පිලත‍් හෙට එක්දින තරගාවලියට එක්වන්නේ ටෙස්ට් තරගමාලාවේදි ගිලිහී ගිය අභිමානය යළි අත්කරගැනීමේ අභිලාෂයෙනි. ටෙස්ට් තරගමාලාවේදී දස්කම් අතර සිටි කේෂව් මහරාජ් සහ ටබ්රේස් ෂම්සි දඟ පන්දු යවන්නන් දෙදෙනාටත් එක්දින තරගාවලියේදිත් වැඩි වගකීමක් පැවැරී තිබේ. ඒ හැරුණු විට නවක ක්‍රීඩකයන් වන පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් සහ වේගපන්දු යවන ජූනියර් ඩලා කණ්ඩායමට එක්වී සිටිති. තුන්ඉරියව් ක්‍රීඩක වියාන් මුල්ඩර් නැවත කණ්ඩායමට කැඳවා තිබේ.

2014 ජූලි 9 පල්ලෙකැලේදී මැතිව්ස්ගේ නායකත්වයෙන් ලකුණු 87කින් දකුණු අප්‍රිකාව පරාජය කිරීමෙන් පසුව මේ දක්වා දෙපිල අතර පැවැති එක්දින තරග අටම ජයගත්තේ දකුණු අප්‍රිකාවය. දෙපිල අතර අවසන් වරට පසුගිය වසරේ එංගලන්තයේ පැවැති චැම්පියන්ස් කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගය ශ්‍රී ලංකාව පරාජය වූයේ ලකුණු 96කිනි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මෙතෙක් පැවැති එක්දින තරග 66න් ශ්‍රී ලංකාව 29ක් ජයගත් අතර දකුණු අප්‍රිකාව දිනූ තරග සංඛ්‍යාව 35කි. එක් තරගයක් ලකුණු සමවීමෙන් ද, තවත් තරගයක් විසඳුමකින් තොරව ද නිමාවට පත්විය. අවසන් වතාවට පසුගිය වසරේදි ඉන්දියාව සමග පැවැති තරගයෙන් කඩුලු 9ක පරාජයක් උරුම කරගත්තත්, දඹුල්ල ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට වාසිදායක එකකි. මීට පෙර එහි පැවැති තරග 41කින් 25ක්ම ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

ශ්‍රී ලංකා එක්දින සංචිතය - ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, කසුන් රාජිත, අකිල ධනංජය, ප්‍රභාත් ජයසූරිය, ලක්ෂාන් සඳකැන්, ශෙහාන් ජයසූරිය.

දකුණු අප්‍රිකා එක්දින සංචිතය - ෆෆ් ඩු ප්ලෙසි (නායක), හෂීම් අම්ලා, ජූනියර් ඩලා, ක්වින්ටන් ඩි කොක්, ජේ.පී.ඩුමිනි, රීසා හෙන්ඩ්‍රික්ස්, හෙන්රිච් ක්ලාසෙන්, කේෂව් මහරාජ්, ඒඩ්න් මාක්‍රම්, ඩේවිඩ් මිලර්, වියාන් මුල්ඩර්, ලුන්ගිසානි එන්ගිඩි, ඇන්ඩිලි පෙලුකවායෝ, කගීසෝ රබාඩා, ටබ්රේස් ෂම්සි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();