බුදුරජාණන් වහන්සේ දේශණා කළ බෞද්ධ දර්ශණය තමන් පිළිගන්නා බවත් පසුකාලීනව එක එක්කෙනා කියන දර්ශණ පිළිගන්නේ නැති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර සිටියේ, 2014 වසරේ අළුත්ගම දර්ගා නගරයේ ඇති වූ ගැටුම්කාරී වාතාවරණයෙන් හානියට පත් වෙළෙදසැල් සහ නිවාස සදහා වන්දි ප්රදානය කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී හානියට පත් නිවාස සහ වෙළෙදසැල් 122 කට රුපියල් මිලියන 188 ක වන්දි මුදලක් පිරිනැමුන අතර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඒ සදහා ලැබී ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“දේශපාලන බලය සදහා දේශපාලනඥයින් විසින් කළ විනාශයක් හේතුවෙන් මෙම වන්දි ප්රදානය සිදු කිරීමට සිදු ව තිබෙනවා. ජාතිවාදය වපුරන ලද්දේ දේශපාලනඥයින් විසින්. ඒ බලය ලබාගන්න. පහත් තත්ත්වයකට වැටී ඡන්ද ගන්න ජාතිවාදය ගොඩනැගුවා. රට ආපස්සට ගියා. ජාතිය, ආගම, කුලය මත පිහිටා ඡන්ද ගැනීම වැළැක්විය යුතුයි. 2014 වසරේ අළුත්ගම සිදු වූයේ ඛේදවාචකයක්. මෙවැනි කාලකණ්නි සිතුවිලි වලට එරෙහිව අපි නැගී සිටිය යුතුයි. දරුවන් පවා ආරක්ෂා කර ගත යුතුයි. මම බුදුරජාණන් වහන්සේ දේශණා කළ බෞද්ධ දර්ශණය පිළිගන්නවා. පසුකාලීනව එක එක්කෙනා කියන දර්ශණ පිළිගන්නේ නැහැ. කාලාම සුත්‍රයේ තිබෙනවා “ජාතිය යනු කිම” කියා එවිට බුදුරජාණන් වහන්සේ කියනවා “මගේ ජාතිය මිනිස් ජාතිය”කියලා. අනෙක් ආගම්වලත් ජාතිය අනුව ධර්මය දේශනා කර නැහැ. නවීන ලෝකය තුලත් අපි පසූගාමී තත්ත්වයෙන් සිටින්නේ ජාතිවාදය නිසයි. අපි ජාතිවාදයෙන් ඉවත් විය යුතුයි. ජනවාරි 08 මැතිවරණයේ දී අපි ජාතිය, ආගම, කුලය විකුණා බලයට පැමිණියේ නැහැ. ජාතික සංහිදියාව ගොඩනැගීමට තමයි මැතිවරණයට ඉදිරිපත් වුනේ. 1977 න් පසු ශ්‍රී ලංකාවේ පැවැත්වූ එකම නිදහස් මැතිවරණය 2015 ජනාධිපතිවරණයයි. වෙනත් මැතිවරණ පැවැත්වූයේ විවිධ භීෂණ මැදයි. ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවම 2015 වසරේ ඡන්දය ප්‍රකාශ කර තිබුනා. එය විශිෂ්ට ලක්ෂණයක්. ඉදිරි මැතිවරණ වලදීත් සියලුම ජනතාව එලෙස ඡන්දය ප්‍රකාශ කරනවා. ඒ ජාතිවාදයට එරෙහිවයි. එහිදී සියලු ජාතීන්ගේ ඡන්ද ගන්න පුළුවන් අය පමණයි ජයග්‍රහණය කරන්නේ. ජාතිවාදය පරාජය කළ යුතුයි.”
“අළුත්ගම දර්ගා නගරයේ ඇති වූ ගැටුම් වලින් විපතට පත්වූවන්ට මීට පෙරත් වන්දි ලබාදුන්නා. ඒ රුපියල් මිලියන 250 ක්. එහිදී විනාශ වූ නිවාස, දේපල ඉදිකළා. විපතට පත් හැම තැනක්ම හමුදාව මගින් අළුතෙන් නිර්මාණය කළා. පසුගිය රජය සමයේ
ඊට වඩා වන්දි ලබාදීමට බැරි වුනත් වත්මන් යහපාලන රජය මගින් මෙම වන්දි මුදල් ලබාදෙනවා. 1983 සිට මම විවිධ ඛේදවාචක වලට මුහුණ දී තිබෙනවා. මෙවැනි දේවල් නැවැත සිදු නොවීමට වගබලා ගන්න ඕනි. ආවේග මත ජාතිවාදයට යටත් වෙන්න එපා. ජාතික සංහිදියාව ගොඩනගන්න. මෙම ප්‍රශ්ණය විසදෙන තුරු රට සංවර්ධනය වන්නේ නැහැ. අපේ රජයේ විවිධ අඩුපාඩු තිබුනත් කිසිදු නායකයෙක් ජාතිවාදයට යටත් වන්නේ නැහැ. අපි දේපල හදා දුන්නාට මදි. දේශපාලනඥයින් විසින් තමයි මෙම විපත ඇති කළේ. මෙහිදී පවුල් 2012 ක් පීඩාවට පත් වුනා. මිය ගිය පුද්ගලයින්ට සහ තුවාල ලැබූවන්ට වන්දි ලබාදුන්නා. ගිංතොට, අම්පාර සිදු වූ සිද්ධීන් වලට ද අපි වන්දි ලබාදෙනවා. වත්මන් රජය ඇති කළ වරදකට නොව පසුගිය රජයේ නායකයින්ගේ නියම අධ්‍යාපනයක් නොමැති පුද්ගලයින් මෙහෙය වූ ගැටළුවකට තමයි අපි වන්දි ලබාදෙන්නේ. වන්දි ලබාදීමේ දී අඩුපාඩුවක් වී තිබේ නම්. සියලුම සහන ලබාදීමට අපි සුදානම්. මම බේරුවල ආසනයේ සංවිධායකවරයා වූ පසු කිසිදු ජාතිවාදී ගැටුමක් ඇතිවුනේ නැහැ. සිදු වූ එකම සිද්ධිය මෙයයි. එවැනි ගැටුම් ඇතිවුනේ නම් නිතීය ක්‍රියාත්මක කරන ලෙස මම පොලීසියට උපදෙස් ලබාදී තිබුනා. ප්රචණ්ඩත්වය වපුරන අයට මම කිසිදු දේශපාලන සහායක් ලබාදෙන්නේ නැහැ. අළුත්ගම දර්ගා නගරයේ සිද්ධිය ඇති කළේ. අළුත්ගම මිනිස්සු නොවෙයි. වෙනත් ප්‍රදේශවලින් පැමිණි අයයි. බලහත්කාරයෙන් රැස්වීම් පවා පැවැත්වූවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා රාජිත හිටියා නම් මෙවැනි දේවල් වෙන්නේ නැහැ කියලා. විපතට පත් වූ මිනිසුන් හමුවීමට හිටපු ජනාධිපතිවරයා පැමිණියේ මා සමගයි. මුදලින් වන්දි ගෙවලා මදි ඔබලාගේ හිතේ ඇති වූ තුවාලය සනීප වෙන්නේ නැහැ. කාලකණ්නි දේශපාලනය පරාද කරලා ජාතිවාදය නැති කළ යුතුයි. මිනිසත් බව ආරක්ෂා කරන්න. ජාතිවාදයට එරෙහි වන්න. බේරුවල ආසනයේ ජනතාව එක මවකගේ දරුවන් මෙන් සිටින්න. අපේ ජාතික ගීයේ තිබෙනවා “එක මවකගේ දරු කැළ” කියලා. එහෙම ජාතික ගීය ගායනා කරමින් තමයි මෙවැනි ජාතිවාදී වැඩ කරන්නේ. හොද සිංහලයෙක්, ද්‍රවිඩ ජාතිකයෙක්. මුස්ලිම් ජාතිකයෙක් වීමට නම් හොද මනුස්සයෙක් වෙන්න. අභීයෝග ජයගෙන රට හදමු.” යැයි පැවසීය.
The post එක එක්කෙනා කියන දර්ශණ පිළිගන්නේ නැහැ – සුව ඇමැති. appeared first on Lanka News Column.
0 Comments