Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ද. අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය අද ඇරැඹෙයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ලෝක ‍ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට එන්න ශ්‍රී ලංකා පිලෙන් උපායශීලී සැලසුමක්

ගාල්ලේදී නිමාව දුටු පළමු ටෙස්ට් තරගයේ වඩාත්ම ආක්‍රමණශීලී දඟපන්දු යවන්නා බවට පත්වූ දිල්රුවන් පෙරේරාගේ ජීවන ගමන් මගේ 36 වැනි උපන් දිනයට තවත් දින දෙකක් තිබියදී දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ගැටුම එස්. එස්. සී පිටියේදී අද ආරම්භ වෙයි.

මෙයට දින කිහිපයකට පෙර ගාල්ලේදී ලකුණු 278ක ජයක් වෙනුවෙන් වැඩ පෙන්වූ දිල්රුවන්, හේරත් හා සඳකැන් යන තිදෙනාගේ සහයෝගයෙන් දඟ පන්දු යවන්නන්ට පාරාදීසයක් වූ එස්. එස්. සී තණතිල්ලේදී ශ්‍රී ලංකාව ජය ලැබුවහොත් තරගාවලිය 2-0ක් ලෙස නිමාකර ගත හැක. නායකයා ලෙස පත්වී සහභාගීවූ ටෙස්ට් තරග දෙකම පිට පිට ජයගෙන සිටින සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පිල තවත් ජයග්‍රහණයක් සොයන්නේ කලකට පසු ටෙස්ට් ශ්‍රේණිගත කිරිමේ ඉදිරියට යෑමේ අරමුණ ඇතිවය. ඒ සඳහා උපායශීලී සැලසුමක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එස්. එස්. සී පිටියේදී ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාවෙන් සිටී.

ගාලු ටෙස්ට් තරගයෙන් අනතුරුව ලක්මාල් පැවැසූවේ 2-0කින් මේ තරගාවලිය ජයගතහොත් ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් ‍ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට යෑමේ අවස්ථා පහසුවෙන් උදාවන බවය. දකුණු අප්‍රිකාව ලෝක ටෙස්ට් ‍ශ්‍රේණිගත කිරීම අනුව දෙවැනි ස්ථානයේ සිටින අවස්ථාවක පහළින් සිටින ශ්‍රී ලංකාව වෙතින් තරගාවලි පරාජයක් ලැබුවහොත් ශ්‍රී ලංකාවට ලකුණු කිහිපයක් එක්කර ගත හැක. එවැනි තත්ත්වයකදී ලෝක ටෙස්ට් ‍ශ්‍රේණිගත කිරීම අනුව 6වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව 5වැනි ස්ථානයේ සිටින එංගලන්තය හා සමතැන් ගනු ඇත.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායකයා ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට හොදටම බියවී ඇති වේලාවක මේ තරගය පැවැත්වීම ශ්‍රී ලංකා පිලේ මානසිකත්වය ඉහළ දැමීමට ප්‍රධාන හේතුවකි. “ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ තත්ත්වය ඉතා ඉහළයි. තණතීරුව මොකක් වුණත් ඔවුන් කඩුලු ලබාගන්නවාමයි. ඒ නිසා මේ තරගාවලියේදී සටනක් දෙන්න නම් අපි මීට වඩා හොඳින් ක්‍රීඩා කළ යුතුයි . එහෙම නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායම අපට ඉහළින් යයි” දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක ෆෆ් ඩු ප්ලෙසි පැවැසීය.

එස්. එස්. සී පිටියේ පැවැති ටෙස්ට් තරගවලදී ශ්‍රී ලංකාව වැඩි වාසි අත්කරගෙන ඇති අතර ක්‍රීඩා කළ ටෙස්ට් තරග 41කින් ජයග්‍රහණ 19ක් වාර්තා කර තිබේ. තරග 8ක් පරාජයවී තරග 14ක් ජය පරාජයෙන් තොරව නිමාකොට ඇති ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන්නන් වැඩි කඩුලු ගණනක් බිඳහෙලා ඇත. ලෝක පූජිත දඟ පන්දු යවන්නාවූ මුරලිදරන්ට පසුව අද තරගයට ක්‍රීඩා කරන රංගන හේරත් එස්. එස්. සී තණතිල්ලේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර ඉදිරියෙන් සිටී. රංගන හේරත් පාකිස්තානයට එරෙහිව එක් ඉනිමකදී ලකුණු 127කට කඩුලු 9ක් දවා ගත්තේද මේ එස්. එස්. සී තණතිල්ලේදීය.

ගාලු ටෙස්ට් තරගයේදී දිමුත් කරුණාරත්න පළමු හා දෙවැනි ඉනිම්වලදී කැපී පෙනෙන ලෙස පිත්තෙන් දස්කම් දැක්වීම ශ්‍රී ලංකා පිලට පිතිකරණයේ සැනසිල්ල බවට පත්ව ඇත. දිමුත් ක්‍රීඩා කරන සිංහල ක්‍රීඩා සමාජයට අයත් එස්. එස්. සී පිටිය තමන්ගේම සුපුරුදු පිටිය බැවින් මේ තරගයේදී ඔහුගෙන් ලැබෙන වාසිය පිළිබද වැඩි විශ්වාසයක් තැබිය හැක. පුහුණු තරගයේදී ලකුණු 92ක් ලැබූ මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගයේදී වැඩි ලකුණු ගණනක් ලබා ගැනීමට නොහැකි වුවද දෙවැනි ටෙස්ට් තරගයේදී දක්ෂතා දක්වනු ඇතැයි විශ්වාස කෙරේ. ආබාධයකට ලක්ව සිටින කුසල් ජනිත් පෙරේරාට අවස්ථාවක් ලබාදෙන්නේද යන්න අද උදෑසන තීරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය බලාපොරොත්තුවෙන් සිටී.

වසර 2006දී දකුණු අප්‍රිකාවට එරෙහිව එස්. එස්. සී පිටියේදී ශ්‍රී ලංකාව කඩුලු 5කට ලකුණු 756ක් වැනි දැවැන්ත ලකුණු ගණනක් රැස්කළ අතර, එදා මහේල ජයවර්ධන (374) සහ කුමාර් සංගක්කාර (287) එක්ව තුන්වැනි කඩුල්ල සඳහා ලෝක වාර්තාවක් පිහිටවද්දී දකුණු අප්‍රිකා පන්දු යවන්නෝ අසරණ වූහ. එම තරගයට ක්‍රීඩා කළ ඩේල් ස්ටේන් අද තරගයට ක්‍රීඩා කරන ප්‍රබලතම වේග පන්දු යවන්නා වේ. ස්ටේන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 421ක් දවාගෙන ෂෝන් පොලොක් හා සමානව සිටින හෙයින් ස්ටේන්ට ද මෙම තරගය වැදගත් එකකි.

එස්. එස්. සී පිටියේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී රංගන හේරත් පැවැසූවේ ටෙස්ට් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී ජය ගැනීම මෙම තරගයේ සැලසුම බවයි. “ ගාල්ල තරගයේ ජයග්‍රහණයට සියලුම ක්‍රීඩකයන්ගේ දායකත්වය ලැබුණා. ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් සිටින කණ්ඩායමක් අපේ රටේදී පරාජය කරන්න හැකි වුවහොත් ඒක විශාල දෙයක්. අපේ එකම බලාපොරොත්තුවත් එයයි” හේරත් පැවැසීය.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය: සුරංග ලක්මාල් (නායක), ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, අකිල ධනංජය, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, කසුන් රාජිත, රොෂේන් සිල්වා, ලක්ෂාන් සඳකැන්.

දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය: ෆෆ් ඩු ප්ලෙසි (නායක), හෂිම් අම්ලා, ටෙම්බා බවුමා, තෙවුනිස් ඩි බ්රුයින්, කුයින්ටන් ඩි කොක්, ඩීන් එල්ගා, හයින්රිච් ක්ලාසන්, කේෂව් මහරාජ්, ඒඩ්න් මාක්‍රම්, ලුන්ගි න්ගිඩි, වර්නන් ෆිලැන්ඩර්, කගිසො රබාඩා, ටබ්රයිස් ෂම්සි, ඩේල් ස්ටේන්, ෂෝන් වොන් බර්ග්.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();