උතුරේ පවතින ස්ත්‍රී දූෂණ ඇතුළු අපරාධ රැල්ල සහ මත් ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ අදහස් පළ වෙමින් ඇත.
ඇතැම් දේශපාලනඥයන් විසින් ඉහත කී ප්‍රකාශය විග්රහ කරනු ලබන්නේ ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා ඡන්දය ඉලක්ක කර ගනිමින් “දේශපාලන වාසි” ලබා ගැනීමේ අරමුණින් කළ ප්‍රකාශයක් ලෙසය.
නමුත් දකුණේ ජාතිවාදී මතයන් දරන සහ මහින්ද පාර්ශවයේ ඇතැමුන් ඒ සම්බන්ධයෙන් කෝපයෙන් යුතුව සමාජ ජාල ඔස්සේ අදහස් පළ කර තිබෙන ආකාරය දකින්නට ලැබේ.
උතුරේ හෝ දකුණේ වේවා ඒකාධිපති පාලනයකට කිසිදිනක ඉඩ නොතැබිය යුතු බව මහේෂ්වරන් ඇමතිවරියගේ ඉහත කී ප්‍රකාශය හෙළා දකින දකුණේ තවත් සමහරෙකුගේ අදහස වී තිබේ.
අමාත්‍යවරිය ඉහත කී ප්‍රකාශය සිදු කරන අවස්ථාවේ එහි සිටි අමාත්‍ය වජිර අබේවර්ධන සිය කතාව අතරතුර අදහස් දක්වමින් පවසා තිබුණේ “අපි හැමෝම එකම ශ්‍රී ලාංකිකයන් විදියට ජීවත් විය යුතුයි. එයට විරුද්ධව කිසිම කෙනෙක් කිසිම දෙයක් නොකළ යුතුයි,” යනුවෙනි.
තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පසුව අදහස් දක්වමින් මහේෂ්වරන් ඇමතිවරිය කියා සිටියේ එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවක් සිය කතාවෙන් අදහස් නොකළ බවය.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් පවත්වන ලද සජීවී ෆේස්බුක් සංවාදයකදී දුරකථනය ඔස්සේ අදහස් දැක්වූ ඇය තමන්ට එම මොහොතේ ඇති වූ “ආතතිය” හේතුවෙන් එවැන්නක් ප්‍රකාශ වූ බව කියා සිටියාය.
යුද්ධයෙන් අනතුරුව උතුරු පළාතේ මත්පැන් භාවිතය සහ මත් ද්‍රව්‍ය ව්‍යාප්තිය විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත් උතුරු පළාතේ දේශපාලන නායකයන් අවස්ථා ගණනාවකදී පවසා තිබුණි. ස්ත්‍රී දුෂණ සහ අපචාර ඉහළ යාමට එම තත්ත්වය හේතු වී ඇති බවක් ද එහිදී කියවිණි. මහේෂ්වරන් ඇමතිවරිය සිය කතාව තුළ ආණ්ඩුවට චෝදනා කරමින් පවසන්නේ හමුදාව සතු ඉඩම් යළි ලබා දීම හැරුණු කොට වැන්දඹු පවුල්, උපාධිය නිම කළ තරුණ තරුණියන්, එල්ටීටීඊ සාමාජිකයන්ව සිට පුනුරුත්ථාපනය ලැබුවන් වෙනුවෙන් “කිසිවක් කර නොමැති” බවය. එසේ තිබියදී දේශපාලන නායකයන් සිය මෝටර් රථ මගින් යාපනයට මත් ද්‍රව්‍ය රැගෙන එන බවට ද ඇය චෝදනා කරයි.
උතුරේ බහුතර මතය
ඉහත කී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බව උතුරේ දේශපාලනඥයන් බහුතරයකගේ මතය වී තිබේද?
උතුරු පළාතේ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමි දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිද්ධාර්ථන් ධර්මලිංගම් පවසන්නේ එල්ටීටීඊ සංවිධානය පමණක් නොව කුමන හෝ ආකාරයේ සන්නද්ධ අරගලයක් පිළිබඳ තමන් විශ්වාසය නොතබන බවය.ඔහු වැඩිදුරටත් මාධ්‍යවෙත ප්‍රකාශ කර ඇත්තේ හිටපු එල්ටීටීඊ සටන්කරුවන් හෝ වෙනත් සටන් සංවිධානවල හිටපු සාමාජිකයන් ඇතුළු අතිවිශාල බහුතර දෙමළ ජනයාට යළි සන්නද්ධ අරගලයක් අවශ්‍ය නැහැ, මට ඒ ගැන සියයට සීයක් විශ්වාසයි යනුවෙනි.එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මහේෂ්වරන් අමාත්‍යවරියගේ මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ සහ දකුණේ සෙසු දේශපාලනඥයන්ගේ ප්‍රතිචාරය කුමක් වනු ඇත්දැයි යන්න පිළිබඳ තමන් අවධානයෙන් සිටින බවත් ඔහු සඳහන් කර ඇත .
“මනාප ලබා ගැනීමේ අපේක්ෂාවෙන්” ඇමතිවරිය කළ ප්‍රකාශය කිසිවෙකුත් විශ්වාස නොකරනු ඇති බවත් සදහන් කරන අතර, “උතුරේ, දකුණේ , නැගෙනහිර, බටහිර කවුරුන්ට හෝ හිට්ලර් කෙනෙකු පිළිගත නොහැකියි. එය සිදුවිය නොහැක්කක්,” පාර්ලිමේන්තු මන්ත්‍රී සිද්ධාර්ථන් ධර්මලිංගම් වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක එස් තවරාජා විසින් අදාළ ප්‍රකාශය හඳුන්වනු ලැබුවේ “පිස්සු ප්‍රකාශයක්” ලෙසය.
දෙමළ ජනතාවගේ මතය එය නොවන බව කී ඔහු ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිතුරු ලබාදිය යුතු බව පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය
එල්ටීටීඊ සංවිධානය සම්බන්ධයෙන් වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය කිසි ලෙසකින් අනුමත නොකරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් තමන් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිනියගෙන් කරුණු විමසන බවය.
“එතුමිය ප්‍රකාශ කරලා තියෙනවා අදහස් කරේ විනයක් ඇතිකරන්න ඕනේ කියන එක කියලා. නමුත් මේ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ මතයක් නෙවෙයි. ඒ ප්‍රකාශය අපි කිසිලෙසකින් අනුමත කරන්නේ නැහැ,” අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා පැවසීය.
“එක්සත් ජාතික පක්ෂයේ විතරක් නෙවෙයි, අනිත් පක්ෂවලත් මේ වගේ විවිධ මත කියන අය ඉන්නවා. ඒ ප්‍රකාශවල භයානකකම සැලකිල්ලට ගන්නවද කියල ප්‍රශ්නයක් තියෙනවා. ඒවා එච්චර හිතල කියන ඒවා නොවෙයි සමහර වෙලාවට. සමහර වෙලාවට ඒ තියෙන ප්‍රශ්නවලට විසඳුමක් ලෙස විනයක් ගෙන්න ඕන කියලා හිතල කියන කතා ඕවා. මේක එක්සත් ජාතික පක්ෂය සම්පුර්ණයෙන්ම බැහැර කරනවා.”
උතුරේ මත්ද්‍රව්‍ය ගැටලු, ස්ත්‍රී දුෂණ වැනි දේ වැළැක්වීමට පොලිසිය අසමත්වීම මන්ත්‍රීවරිය නැවත එල්ටීටීඊ පාලනයක් ගැන කතාකිරීමට හේතුවී ඇත්දැයි මාධ්‍ය ප්‍රශ්න කලවිට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ එම ගැටලුවලට විසඳුම එල්ටීටීඊ පාලනයක් නොවන බව සැවොම දන්නා දෙයක් බවය.
“මෙච්චර මිනීමරපු සමූල ඝාතනය කරපු සංවිධානයක් ගේන්න ඕනේ කියනවනම් අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ එහෙම කියන්න පුළුවන්ද කියලා. ආරක්ෂක අංශ උතුරේ ඒ ප්‍රශ්න විසඳන්න ක්‍රියාමාර්ග අරගෙනයි තියෙන්නේ.”
මේ අතර අඟහරුවාදා (ජූලි 03) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ අමාත්‍යවරිය විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ කණ්ඩායම් උණුසුම් අයුරින් අදහස් පළ කළ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කරන බව කථානායක කරු ජයසුරිය පැවසීය.
The post හිට්ලර් ඕනෑ, ප්රභාකරන් ඕනෑ යයි කරන පිස්සු ප්‍රකාශ – “හිට්ලර් වත්, ප්‍රභාකරන්වත් යළි රටට එපා’’ උතුරේ දකුණේ ජනතාව කියති. appeared first on Lanka News Column.
0 Comments