Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු සැප්තැම්බරයේ යාපනයෙන් ඇරැඹෙයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

මේ වසරේ පැවැත්වීමට නියමිත අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛතම පාපන්දු තරගාවලිය වන ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු සැප්තැම්බර් අගදී යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. චැම්පියන් ලීග් පාපන්දු තරගාවලිය මේ වසරේ මැදදී ආරම්භ කළ යුතු වුවද, විවිධ හේතු මත එය කල් දැමුණි. එබැවින් සැප්තැම්බර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන දකුණු ආසියා පාපන්දු තරගාවලියෙන් පසුව චැම්පියන් ලීග් පාපන්දු තරගාවලිය අනිවාර්යයෙන්ම පැවැත්වීමට කටයුතු යොදන බව පාපන්දු සම්මේලනයේ ලේකම් යූ. එල්. ජස්වර් මහතා පැවැසීය.

යාපනය ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩාව වේගයෙන් ව්‍යාපත වෙමින් පවතින හෙයින් වඩාත් ආකර්ශනීය ලෙස චැම්පියන් ලීග් පළමු තරගය දොරේ අප්පා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය කොට ඇතැයි ද පාපන්දු ලේකම්වරයා සඳහන් කළේය. මේ වසරේ සිට චැම්පියන් ලීග් පාපන්දු තරගාවලයට සහභාගීවන කණ්ඩායම් ප්‍රමාණය අඩුකොට නව සැලසුමකින් ක්‍රියාත්මක කරන බවට කලින් පැවැසුවද එය තවමත් සාකච්ඡා මට්ටමේ ඇතැයි හෙතෙම පැවැසීය. චැම්පියන් ලීග් පාපන්දු තරගාවලි රටාවේ වෙනසක් ඇති කිරීමට පාපන්දු ක්‍රීඩා සමාජ කිහිපයක් කැමැත්ත පළකොට ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

පසුගිය තරගාවලියේ ප්‍රතිඵල අනුව ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වූ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය ප්‍රීමියර් ලීග් පාපන්දු තරගාවලියේ පළමු කොටස දක්වා පහළ වැටුණු අතර ප්‍රීමියර් ලීග් පාපන්දු පළමු කොටසේ ශූරයන් හා අනු ශූරයන්වූ රෙඩ්ස්ටාර් ක්‍රීඩා සමාජය හා රත්නම් ක්‍රීඩා සමාජය චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියට උසස්වීම් ලැබූහ. පොලිස් ක්‍රීඩා සමාජය පළමු පෙළ චැම්පියන් ලීග් තරගාවලියෙන් ඉවතට ගියේ වසර ගණනාවකට පසුවීමද විශේෂත්වයකි.

ඒ අනුව මෙවර චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියට කොළඹ පාපන්දු සමාජය, රිනවුන් ක්‍රීඩා සමාජය, නිව් යංග්ස් ක්‍රීඩා සමාජය, සුපර් සන් ක්‍රීඩා සමාජය, පෙලිකන්ස් ක්‍රීඩා සමාජය, ගුවන් හමුදාව, මාතර ක්‍රීඩා සමාජය, යුද හමුදාව, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය, නාවික හමුදාව, අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය, බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය, නිගම්බූ යූත් ක්‍රීඩා සමාජය, ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය, රෙඩ්ස්ටාර් ක්‍රීඩා සමාජය හා රත්නම් ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා සිටී.

ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු ශූරතාව පසුගිය වසරේදී කොළඹ පාපන්දු සමාජය හිමිකරගත් අතර රිනවුන් ක්‍රීඩා සමාජය අනු ශූරතාව දිනා ගත්තේය. කොළඹ පාපන්දු සමාජය පිට පිට තෙවැනි වරට චැම්පියන් ලීග් පාපන්දු ශූරතාව දිනා සිටීම විශේෂත්වයකි. මෙයට පෙර සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය මෙවැනි දස්කම් පෙන්වා තිබේ.

Post a Comment

0 Comments