Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දොළොස් වසරක අතීතය අලුත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ

දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් පිටියේ වසර දොළහක අතීතය අලුත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පෙරේදා දකුණු අප්‍රිකාව සමගින් නිමාවූ තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0කින් ජය ගැනීමට සමත් විය.

මින් පෙර ශ්‍රී ලංකාව එවන් ජයක් අත්කර ගැනීමට සමත්වුයේ වසර් 2006දීය. එහිදී ද තරග දෙකකින් සමන්විත තරගාවලිය 2-0කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.

මේ ජය සමගින් ශ්‍රී ලංකා පිල ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 6ක් අත්කර ගත්තේය. කොදෙව්වන්ට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පරාජය වීමෙන් ප්‍රසාද ලකුණු 3ක් අඩු නොවුවානම් ශ්‍රේණිගත කිරීම්වල 5වැනි තැන අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබිණි.

ශ්‍රී ලංකාව සමගින් එංගලන්තය ද ප්‍රසාද ලකුණු 97ක් බැගින් ලබා සිටිය ද එංගලන්තය මේ වනවිට 5 වැනි ස්ථානයේ පසුවෙයි.

දකුණු අප්‍රිකාවට තෙවැනි පරාජය

වසර1993 දී ශ්‍රී ලංකාවේ පැවැති ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා මංගල ටෙස්ට් තරගමාලාවට කෙප්ලර් වෙසල්ස්ගේ නායකත්වයෙන් තරග කළ දකුණු අප්‍රිකානු පිල තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 1-0කින් ජයගත්තේය. එතෙක් මෙතෙක් දෙපිල අතර පැවති ටෙස්ට් තරගමාලා ඉතිහාසයේ පසුගියදා නිමාවට පත්වූයේ 11 වැන්නය. එය දකුණු අප්‍රිකානු පිලේ 6 වැනි ශ්‍රී ලංකා සංචාරය වූ අතර ශ්‍රී ලංකාවේදී පරාජයට පත්වූ 3වැනි තරගාවලිය ද විය. ඉතිරි තරගමාලා 3න් දෙකක් දකුණ අප්‍රිකාව ජයගත් අතර එක් තරගමාලාවක් නිමාවට පත්වූයේ ජයපරාජයෙන් තොරවය. මේ ඉතිහාසය පුරා ශ්‍රී ලංකා පිල අවස්ථා 5කදී දකුණු අප්‍රිකාවේ සංචාරය කළ අතර ඒ තරගමාලා 5ම ජයගත්තේ දකුණු අප්‍රිකානු පිලය.

දිමුත්ගෙන් විශිෂ්ට දස්කම්

මේ තරගාවලියේදී කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූයේ දිමුත් කරුණාරත්නය. ඔහු තරග දෙකේම වීරයා ලෙස සම්මාන දිනාගත් අතර තරගාවලියේ වීරයා සම්මානයද හිමිකර ගත්තේය.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පිතිකරණ අංශයෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට දිමුත් ඉනිම 4කදී ලකුණු 356ක් රුස් කළේ 118.66ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

ගාල්ලේ පැවැති පළමු තරගයේ පළමු ඉනිමේදී නොදැවී ලකුණු 158ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 60ක් රුස් කළ ඔහු ශ්‍රේණිගත කිරීම්වල 33 වැනි තැනට සිට 10 ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය.

දෙවැනි තරගයේ ඉනිම දෙකේදී ඔහු ලකුණු 53ක් සහ 85ක් රුස් කළ අතර ඒ හේතුවෙන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට ඒමට තවත් අවස්ථාවක් උදාකර ගත්තේය.

මැතිව්ස් 5000යි

මේ තරගාවලිය දෙවැනි තරගයේ පළමු ඉනිමේ ටෙස්ට් ලකුණු 5000 පසු කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වූයේ එම සීමාව පසුකළ 9 වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසිනි.

2009 වසරේ ජාත්‍යන්තර ටෙස්ට් වරම් ලබාගත් 31 හැවිරිදි මැතිව්ස් තරග 75කදී ඉනිම 134කට සහභාගි වෙමින් ශතක 8ක් සහ අර්ධ ශතක 29ක් මේ ලකුණු සංඛ්‍යාවට එක්කර ගත්තේය.

මැතිව්ස්ට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, අර්ජුන රණතුංග, මාවන් අතපත්තු, තිලාන් සමරවීර, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 5000 සීමාවට පිවිස තිබිණි.

අම්ලා 9000යි

ශ්‍රී ලංකා සංචාරයේදී අසාර්ථක වූවත් හසීම් අම්ලා මේ තරගාවලියේදී ලකුණු 9000 සීමාවට පිවිසීමට සමත්විය. කෙසේවුවත් ඔහුට ඉනිම 4 තුළදීම රැස්කළ හැකිවුයේ ලකුණු 40ක් පමණි.

ඔහු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් අතර වැඩිම ටෙස්ට් ලකුණුලාභීන් අතර තෙවැනි ස්ථානයේ පසුවෙයි. තිස්පස්වැනි වියේ පසුවන අම්ලා 2004 වසරේ ටෙස්ට් පිටියට පිවිසි අතර මේ වනවිට තරග 119කට සහභාගි වී තිබේ. ඉනිම 205කදී ඔහු රැස්කරගෙන ඇති ශතක සංඛ්‍යාව 28ක් වන අතර අර්ධ ශතක 39ක්ද මේ ලකුණු සංඛ්‍යාවට එක්ව තිබේ.

අම්ලාට ඉදිරියෙන් දකුණු අප්‍රිකානු ටෙස්ට් ලකුණුලාභීන් අතර ජැක් කාලිස් (13289) සහ ග්‍රෙහැම් ස්මිත් (9265) සිටිති.

මහරාජ් වාර්තා පොතට

මේ තරගාවලිය දකුණු අප්‍රිකාවට හිමිවූ දැවැන්ත පරාජයක් ලෙස වාර්තා අතරට එක්වුවද දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ් පන්දුවෙන් දස්කම් දක්වමින් වාර්තා පොතට එක්වීමට සමත් විය.

ඔහු එස්.එස්.සී පිටියේ පැවැති දෙවැනි තරගයේ පළමු ඉනිමේදී ලකුණු 129කට කඩුලු 9ක් දවා ගැනීම දකුණු අප්‍රිකානු ක්‍රීඩකයකු ආසියානු රටකදී වාර්තා කළ හොඳම පන්දු යැවීම මෙන්ම ශ්‍රී ලංකාවේ දී සංචාරක කණ්ඩායමක ක්‍රීඩකයකු වාර්තා කළ ඉහළම පන්දු යැවීමේ දක්ෂතාවද විය.

එමෙන්ම දකුණු අප්‍රිකානු ක්‍රීඩකයකු දැක්වූ දෙවැනි ඉහළම දක්ෂතාව ලෙසද එය සටහන් විය. මින් පෙර 1956 වසරේ හෆ් ටේෆීල්ඩ් විසින් එංගලන්තයට එරෙහිව ලකුණු 113කට කඩුලු 9ක් දවා ගනිමින් ඉහළම දක්ෂතාව දක්වා තිබේ.

ලක්මාල්ගේ වාසනාව

මේ තරගාවලිය ජය ගැනීමත් සමග සුරංග ලක්මාල් වාසනාවන්ත ටෙස්ට් නායකයකු බවට පත්වී සිටී.

තරග 2-0කින් ටෙස්ට් තරගාවලිය ජයගත් ඔහු ඉන් පෙර බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පැවැති දෙවැනි තරගයේදීත් සිය කණ්ඩායම ජයග්‍රහණය දක්වා මෙහෙයවිය.

මේ සමගින් නායකත්වය ලබාදුන් මුල්ම තරග 3 ම ජය ගනිමින් වාර්තා පොතට එක්වීමටද ඔහුට හැකි විය. එවන් දස්කමක් දැක්වූ ලොව 16 වැනි ටෙස්ට් නායකයා මෙන්ම ආසියාවේ දෙවැනියා ලෙසද ඔහු වාර්තා වෙයි.

ඔහුට ඉදිරියෙන් සිටින්නේ ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිය.

මේ තරගවලදී ඔහු වැඩ බලන නායකයා ලෙස කටයුතු කිරීම සිදුවූයේ නිත්‍යා නායක දිනේෂ් චන්දිමාල්ට අයි.සී.සී. ය විසින් තරග තහනමක් පනවා තිබීම හේතුවෙනි.

පිතිකරුවෝ

මේ තරගාවලියේදී දිමුත් හැර සෙසු ශ්‍රී ලංකා පිතිකරුවන් වෙතින් අර්ධ ශතක 4ක් පමණක් වාර්තා විය. ඉන් දෙකක් ධනුෂ්ක ගුණතිලක (57-61) විසින් වාර්තා කළ අතර ඇන්ජලෝ මැතිව්ස් (71) සහ ධනංජය ද සිල්වා (60) එක් අර්ධ ශතකයක් බැගින් රැස් කළහ.

ශ්‍රී ලංකා පන්දු බළ ඇණිය හමුවේ දකුණු අප්‍රිකානු පිතිකරුවන් අතරින් යම් දුරට හෝ සාර්ථක වීමට හැකිවූයේ නායක ෆෆ් ඩු ප්ලෙසි (තරග 2කදී ලකුණු 105) ට සහ තෙවුනිස් ඩි බ්රුයින් පමණි. බ්රුයින් තම මංගල ටෙස්ට් ශතකය එස්.එස්.සී පිටියේදී වාර්තා කළේ මේ තරගාවලියේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් වාර්තා වූ එකම ශතකයට හිමිකම් කියමිනි. ටෙම්බා බවුමා (63) අර්ධ ශතකයක් රැස්කළ අතර ඩු ප්ලෙසිගේ වැඩිම ලකුණු 49ක් ලෙස සටහන් විය.

දඟ පන්දුවෙන් දස්කම්

නායක සුරංග ලක්මාල් පමණක් වේග පන්දු යවන්නකු ලෙස එක්වූ මේ තරගාවලියේ දී දිල්රුවන් පෙරේරා, රංගන හේරත් සහ අකිල ධනංජය දඟ පන්දුවෙන් දකුණු අප්‍රිකානු පිතිකරුවන් දමනය කළහ.

තරග දෙකේදී කඩුලු 16ක් බිඳ දැමූ දිල්රුවන් සිය ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම පළමු තරගයේ දෙවැනි ඉනිමේදී වාර්තා කළේ ලකුණු 32කට කඩුලු 6ක් දවා ගනිමිනි.

දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ් ද කඩුලු 16ක් දවා ගත්තේය.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක රංගන හේරත් කඩුලු 12ක් බිඳ දැමූ අතර අකිල ධනංජය දෙවැනි තරගයේ පළමු ඉනිමේ කඩුලු 5ක් සමගින් කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.


නිරෝෂාන් ප්‍රියංකර
ඡායාරූප- සමන් මෙන්ඩිස් සහ
සුසන්ත විජේගුණසේකර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();