Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝකෙටම එකයි අකුරක්වත් නොලියා උපාධියක් ගත් තිළිණි

Image may contain: 1 person, smiling, standing

Image may contain: 3 people, people standing and outdoor

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මෙවර උපාධි ප්‍රදානෝත්සවයේදී තිළිණි නිමේෂා ජයතිලක ශිෂ්‍යාවද උපාධිය හිමිකර ගත්තාය.අනෙකුත් සිසු සිසුවියන් සියල්ලක්ම පිළිතුරු ලියා විභාග සමත්ව උපාධිය ලබාගන්නා විට ඇය උපාධිධාරිනියක වන්නේ විභාගවලට වාචිකව පමණක් පිළිතුරු සැපයීමෙනි.
මෙම සුවිශේෂී දැරිය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයටද පිළිතුරු සැපයූවේ වාචිකවය.ඇයගේ ආබාධිත තත්වය සලකා බලා විභාග කොමසාරිස් ජනරාල් විසින් ඇයට ලංකාවේ පළමුවරට එලෙස විභාගයට පිළිතුරු සැපයීමට අවස්ථාව ලබාදී තිබිණි.ඒ 2009 වර්ෂයේදීය.2012 වසරේදී ඇය උසස් පෙළ විභාගයටද වාචිකව පිළිතුරු සැපයුවාය.විභාගයට නොලියා උසස් පෙළ සමත්වූ ප්‍රථම දැරිය ලෙස ඇය එම කඩඉමද ජයගත්තාය.සිංහල,දේශපාලන විද්‍යාව සහ බෞද්ධ සංස්කෘතිය විෂයයන් හැදෑරූ ඇයට B,C හා S සාමාර්ථ හිමව තිබිණි.
2015 වර්ෂයේදී පේරාදෙනිය විශ්වවිද්‍යාලයට ඇතුලත්වූ ඇයට එහිදිද සියලු විභාගයන්ට පිළිතුරු සැපයීමට සිදුවූවේ වාචිකවය.එලෙස වාචික ක්‍රමයට පිළිතුරු සැපයීමට ලංකාවේ පළමුවරට අවස්ථාව හිමිවූවේද ඇයටය.ඒ අවස්ථාවෙන් උපරිම පල නෙලාගත් ඇය අද වන විට එලෙස බිහිවූ ලංකාවේ පළමු උපාධිධාරිනියව සිටින්නීය.
කෑගල්ල ,වල්දෙනිය,පිස්කල්වත්ත අංක J 140 හි පදිංචි ඇය සොයා අප ගියෙමු.දෑත,දෙපා සම්පූර්ණයෙන්ම ආබාධිත වුවද සිතින් සවිමත් ඇය අපට එහිදී හමු විය.මේ වන විට අලුත්වැඩියා කරමින් පවතින නිවසේ සාලයට ඇයගේ රෝද පුටුව ඔසවාගෙන ආවේ මව විසිනි.ඒ පසුපසින්ම සුපුරුදු පරිදි ඇය දෑතින් ඔසවාගෙන විත් අප ඉදිරිපස තබා තිබූ රෝද පුටුවේ ඇය වාඩිකරවූවේ පියා විසිනි.සුපුරුදු අසුනේ හරිබරි ගැසී කතාව අරඹන තැනැත්තකු මෙන් ඇයද රෝද පුටුවේ වඩා හිඳුවීමෙන් පසුව අප හා කතාබහට එක්වූවාය.
" මම මුලින්ම පාසල් ගියේ රඹුක්කන හේවාදිවෙල උදන්විට මහා විද්‍යාලයට.මගේ අසනීප තත්වය නිසා මට ශිෂ්‍යත්ව විභාගයට ලියන්න බැරි වුණා.මට ප්‍රතිකාර ගන්න අවශ්‍ය නිසා කොළඹ කාලයක් නැවතිලා සිටියා.ඒ දවස්වල ගංගොඩවිල ජයසිංහ විද්‍යාලයටත් ගියා.පසුව කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකාවට ගියා.කෑගල්ල අඹන්පිටිය විශේෂ කණිෂ්ඨ විද්‍යාලයට ඇතුලත් වූවේ ඉන්පසුවයි."
අඹන්පිටිය විශේෂ කණිෂ්ඨ විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ සමත්වීමෙන් අනතුරුව ඇය ඒ ආසන්නයේ පිහිටි රංවල මහානාග මහා විද්‍යාලයට ඇතුලත් කෙරිණි.එහි උසස් පෙළ පංති තිබුණේ මහල් ගොඩනැඟිල්ලක ඉහළ මාලයේය.උඩ තට්ටුවේ පංතිවලට යාම තිළිණිට දුෂ්කර විය.
මේ අතර අඔන්පිටිය විශේෂ විද්‍යාලයේ උත්සවයකට පැමිණි ප්‍රධාන අමාත්‍යවරයාට ඇය තම අපහසුතාවය එහිදී ඉදිරිපත් කළාය.ඇයගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අඹන්පිටිය විශේෂ විද්‍යාලයට උසස් පෙළ පංති ලබාදෙමින් එය මහා විද්‍යාලයක් බවට උසස් කෙරිණි.
"මට 2012 දී ලංකාවේ ප්‍රථම වතාවට වාචිකව උසස් පෙළ වැනි රජයේ විභාගයකට මුහුණ දෙන්න අවස්ථාව ලැබුණේ ඒ අනුවයි.පේරාදෙනිය විශ්වවිද්‍යාලය වැනි කීර්තිමත් විශ්වවිද්‍යාලයකට ඇතුලත්වීමට ලැබුණේත් ඒ නිසයි.දැන් තවත් සිසුන් කීපදෙනෙක් අප පාසලෙන් විශ්වවිද්‍යාලවලට සමත්ව තිබෙනවා.මම ගමන්ගත් අඩිපාරේ තවත් කීපදෙනකු හෝ යන නිසා මම ඒ ගැන නිහතමානීවම සතුටු වෙනවා."
විභාගයකට වාචිකව පිළිතුරුදීම සම්බන්ධයෙන් අප දැනුවත් කිරීමටද මේ අතර ඇය උනන්දු වූවාය.
"විභාගවලදී මම ප්‍රශ්නවලට වාචිකව උත්තර දුන්නා.උසස් පෙළ විභාගයේදී නිරීක්ෂකයන් දෙදෙනකු සිටියා.ඔවුන් මම දෙන පිළිතුර පටිගත කරනවා.තවත් කෙනකු මගේ පිළිතුර ලිඛිතව සටහන් කරනවා.විශ්වවිද්‍යාලයේදී නම් නිරීක්ෂකයන් දෙදෙනකු සිටියේ නැහැ.මම වාචිකව දෙන පිළිතුරු ඒ අවස්ථාවේදීම තවත් කෙනෙක් පිටපත් කරනවා.ප්‍රශ්නවලට පිළිතුරු මට හිතලා කියන්න පුළුවන්.නමුත් ලිඛිත භාෂාවෙන් දෙන්න ඕනෑ.පිළිතුරක් ආරම්භ කළාම ඒක අතරමඟ නවත්වන්න බැහැ.එක හුස්මට කියන්න ඕනෑ."
ඇයගේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳවද ඇය අප හා මෙසේ පැවසුවාය.
මගේ දැන් බලාපොරොත්තුව ගුරුවරියකවී රටට සේවය කිරීමටයි.මම ඉගෙන ගත් දේට සාධාරණයක් ඉටුකරමින් ලෝකයට කුමන හෝ සේවයක් ඉටුකිරීමට ජනාධිපතිතුමාගේ සහ අධ්‍යාපන ඇමැතිතුමාගේ අවධානය යොමුවී අවස්ථාව සැලසෙනවා නම් මම එය සතුටින් භාර ගන්නවා.දැන් මගේ එකම බලාපොරොත්තුව එයයි.මේ සමඟම පශ්චාත් උපාධියට සූදානම්වීමට බලාපොරොත්තුවක් නැහැ.එවැන්නකට වාචිකව පිළිතුරු සැපයීම විශාල අභියෝගයක්."
ඇය පාසල් යන සමයේදී ඇයගේ අරමුණ වී ඇත්තේ මහාචාර්යවරියක වීමටය.නමුත් විශ්වවිද්‍යාලයට ගිය පසු එය ඉතා අසීරු කටයුත්තක් බව ඇයට වැටහී ඇත.ඒ හැරත් ගුරුවරියක ලෙස දරුවන්ගේ දෙනෙත් පෑදීමට ඇයට ඇත්තේ මහත් රුචියකි.
"අපේ සීයාත්,කිරි අම්මාත් ගුරුවරු.මගේ දෙමාපියෝත් ගුරුවරු.ඒ නිසා ගුරුවෘත්තියට මම වඩාත් කැමැතියි.ගුරුවරු මගේ ඇස් පෑදූ නිසයි අද මම උපාධිධාරිනියක වූවේ.විශ්වවිද්‍යාලයක ඉගැන්වීම පහසුයි.විෂය පිළිබඳව හැඳින්වීමක් කළාම ඔවුන් කරුණු සොයා බලා ඉගෙන ගන්නවා.නමුත් පාසලක එහෙම නැහැ.නැවත නැවත තේරුම් කළොත් පමණයි දරුවන් වටහා ගන්නේ.ඒ තත්වයට දරුවන් ගෙන එන එක ඉතා දුෂ්කර කාර්යයක්."
තිළිණිගේ සාර්ථකත්වය පසුපස සිටින්නේ ඇයගේ මව හා පියාය.ගුරුවරුන් ලෙස තවත් දරු පිරිසකගේ දෙනෙත් පෑදූ ඔවුන් තම දියණිය ගතින් දුබල වුවත් සිතින් ප්‍රබල බව මනාව හඳුනාගත්හ.
"අනූ දෙකේ අවුරුද්දේ ජූනි 25 වැනිදා දුව සාමාන්‍ය දරුවකු වගේ කෑගල්ල මහ රෝහලේදී ඉපදුනා.එයාට මාස හයක් විතර වයස වනවිට සාමාන්‍ය ළදරුවකුගේ හැසිරීම් දක්නට ලැබුණේ නැහැ.පෙරළෙන්න අපහසු බවක්,ක්‍රියාකාරකම්වලට දුර්වල බවක් අපි දුටුවා.ඒ කාලයේ සිටම වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නත් ඒවා එකක්වත් සාර්ථක වූවේ නැහැ."තිළිණි ගේ මව ධම්මිකා කුමාරි සෙනෙවිරත්න ගුරු මහත්මිය අප හා කතාබහට එක්වෙමින් පැවසුවාය.
" අපි දුව සාමාන්‍ය වයසේදී පාසලට ඇතුලත් කළා.වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ මාස තුනක් පමණ නවත්වාගෙනත් සිටියා.ඊට පසුවයි කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකාවේ විශේෂ අධ්‍යාපන ඒකකයට ඇතුලත් කළේ.නමුත් දරුවාට බුද්ධිමය දුර්වලතා නොතිබූ නිසා අපි දුවව අඹන්පිටිය විශේෂිත විද්‍යාලයට ඇතුලත් කළා.දුව වෙනුවෙන්ම මමත් ඒ පාසලට මාරුවක් අරගෙන ගියා.අපි එයා වෙනුවෙන් උපරිමයෙන් කැපවුණා.අපට දැන් හරිම සතුටුයි.
දුව පේරාදෙනිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වූවාට පසුව මමත් ඒඳඩුවාව ජනාධිපති ආදර්ශ විද්‍යාලයට ස්ථාන මාරුවක් අරගෙන ගියා.මෙයා විශ්වවිද්‍යාලයට ඇතුලත් වූවේ 2015 දී.වාචික ක්‍රමය විශ්වවිද්‍යාලයක පළමුවෙන්ම පටන්ගත්තේ දුවගෙන්.විශ්වවිද්‍යාලයේ විශේෂ ඒකකයක් තිබුණා.එයින් දුවට පහසුකම් සැලසුණා.දුවගේ යාලුවොත් එයාට උදවු කළා.අපි දුවට එදා සිට අද දක්වාම උදවු කළ හැමෝටම ස්තුතිවන්ත වෙනවා.
ගුරුවරයකුද වන තිළිණිගේ පියා වූ පුෂ්පකුමාර ජයතිලක මහතාද අප හා අදහස් පැවසීමට එක්වූවේ ඉන් අනතුරුවය.
"ඇවිදින්න බැරි නිසා අපි දුවව පාසලට මුල් කාලවල අරගෙන ගියේ වඩාගෙන.වයසින් වැඩිවන විට දරුවා වෙනුවෙන්ම ත්‍රිරෝද රථයක් මිලදී ගත්තා.කෑගල්ල අඹන්පිටිය විද්‍යාලයට දුව ඇතුළත් කළාට පසුව මමත් රඹුක්කන ශ්‍රී සුමංගල විද්‍යාලයේ ඉඳලා යට්ටෝගොඩ යඨාලතිස්ස විද්‍යාලයට ස්ථාන මාරුවක් ගත්තා.රඹුක්කන අපේ ගෙදර ඉඳලා එන්න අපහසු නිසා කෑගල්ලේ කුලී නිවසක පදිංචි වුණා.
දුව විශ්වවිද්‍යාලයට තේරුණු මුල්ම දවස්වල ත්‍රීරෝද රථයෙන් දිනපතා එයාව විශ්වවිද්‍යාලයට ගෙන ගියා.පසුව මමත් පේරාදෙනිය විමලධර්මසූරිය මහා විද්‍යාලයට මාරුවක් ගත්තා.දුව විශ්වවිද්‍යාලයට ඇතුලත් කිරීමට තිබුණේ 2014 අවුරුද්දේ.අපිට ස්ථානමාරු ලබාගැනීමට ප්‍රමාද වූ නිසා දුව විශ්වවිද්‍යාලයට ඇතුල් කිරීමටත් ප්‍රමාද වූවා.නැතිනම් දුවට ගිය අවුරුද්දේ උපාධිය සම්පූර්ණ කරන්න තිබුණා."
තිළිණි ගේ ජයග්‍රාහී මාවත සනිටුහන් වන්නේ අඹන්පිටිය විශේෂ මහා විද්‍යාලය ඔස්සේය.කණිෂ්ඨ විද්‍යාලයක් ලෙස ආරම්භ වූ එම විදුහල මහා විද්‍යාලයක් බවට පත්වන්නේ තිළිණිගේ දක්ෂතා හේතුවෙනි.අඹන්පිටිය විශේෂ මහා විද්‍යාලයේ විදුහල්පති බුද්ධික වික්‍රමනායක මහතාද අප හමුවුනෙමු.තිළිණි සම්බන්ධයෙන් ඔහු පවසන්නේ මෙබන්දකි.
"මම මේ පාසලට පත්ව ආවේ 2009 වසරේදී.විශේෂිත දරුවන් සදහා වූ ලංකාවේ තිබෙන එකම පාසල මෙයයි.කණිෂ්ඨ විද්‍යාලයක් ලෙස පී.බී.ජී.කලුගල්ල දිවංගත හිටපු ඇමැතිතුමා ආරම්භ කළ මෙම පාසල මහා විද්‍යාලයක් බවට පත්කිරීමට මහීපාල හේරත් හිටපු මහ ඇමැතිතුමාට මේ දරුවා හේතුවක් වුණා.අපේ පාසලෙන් බිහිවූ ප්‍රථම උපාධිධාරිනිය ඇයයි.
ලෝකයේ කොහේවත් වාචිකව පිළිතුරු දී උපාධියක් ලබාගත් අයකු පිළිබදව අන්තර්ජාලයෙන් සොයා බැලුවත් මට තොරතුරු සොයාගන්න ලැබුණේ නැහැ.මෙය මුළු ලෝකයේම ප්‍රථම අවස්ථාව විය හැකියි.මේ දරුවා සියල්ල කරන්නේ මතකයෙන්.මේ දරුවාගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම කළේ දෙමාපියන්ගේ ශක්තියෙන්.ඉදිරි අධ්‍යාපනයටවත් ඇයට පහසුකම් ලබාදෙන්න කවුරුන් හෝ ඉදිරිපත් වන්නේ නම් ඇය පශ්චාත් උපාධිධාරිනියක ලෙස තවත් පියවරක් ඉදිරියට තබාවි".

සටහන හා ඡායාරූප රඹුක්කන විශේෂ ඔස්වල්ඩ් ගොඩකුඹුර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();