Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියක අවසන් සටනට ශ්‍රී ලංකාවෙන් සහය දිවීමේ කණ්ඩායමක්

ප්‍රින්ස් ගුණසේකර

පින්ලන්තයේදී නිමාව දුටු ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් දිනාගත නොහැකි වුවද, මීටර් 400 පිරිමි සහය දිවීමේ කණ්ඩායමක් ලෝක මට්ටමේ අවසන් තරගයට පළමු වරට සුදුසුකම් ලබා ගැනීම හා පාරමී වසන්තී මීටර් 3000 කාන්තා බාධක දිවීමේ නව ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාවක් බිහි කිරීම ඉතිහාසයට වෙයි. සමස්ත ආසියාකරයෙන්ම ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 සහය දිවීමේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ එකම කණ්ඩායම ශ්‍රී ලංකාවවීමද විශේෂත්වයකි.

මීටර් 400 සහය දිවීමේ තරගයට කොළඹ නාලන්ද විදුහලේ පබසර නිකූ, කුරුණෑගල මලියදේව විදුහලේ පසිඳු කොඩිකාර, කොටහේන සාන්ත බෙනඩික් විදුහලේ රිවිෂ්ක ඉන්ද්‍රජිත් හා අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මධ්‍ය මහා විදුහලේ අරුණ දර්ශන එක්වූ අතර ඔවුන් අවසන් තරගයේදී ගතකළ කාලය විනාඩි 3: 09. 38කි. ශ්‍රී ලංකා සහය දිවීමේ ක්‍රීඩකයෝ මූලික වටයේදී විනාඩි 3: 08. 88ක කාලයක් වාර්තා කොට අවසන් සටනට පිවිසීමේ අවස්ථා උදාකර ගත්හ. අවසන් තරගයේදී රන් පදක්කම දිනාගත් ඉතාලිය විනාඩි 3: 04. 05ක කාලයක් වාර්තා කළේය.

කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ පාරමී වසන්තී මීටර් 3000 කාන්තා බාධක දිවීමේ තරගය විනාඩි 10: 20. 12කින් නිමකොට ඇය විසින්ම තබා තිබූ විනාඩි 10: 21. 54ක පැරණි කනිෂ්ඨ ජාතික වාර්තාව මකා දැමුවාය. ඇය ලබන ඔක්තෝබර් මාසයේ ආර්ජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා සිටින අතර වයස අවුරුදු 18න් පහළ ලොව අංක එක ක්‍රීඩිකාව බවට පත්ව සිටීම කැපී පෙනෙන දක්ෂතාවකි.

වලල රත්නායක විදුහලේ දිල්ෂි කුමාරසිංහ මීටර් 800 ඉසව්වේ මූලික වටයේදී විනාඩි 2: 21. 91කින් තරගය නිමකළ අතර අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මධ්‍ය මහා විදුහලේ අරුණ දර්ශන, මීටර් 400 ඉසව්වේ මූලික වටය තත්පර 46. 81කින් නිමකොට අවසන් පූර්ව වටයේදී තත්පර 46. 75කින් ඉවතට ගියේය. මහනුවර ස්වර්ණමාලී බාලිකා විදුහලේ අමාෂා ද සිල්වා මීටර් 100 තරගයේ අවසන් පූර්ව වටයට දක්වා පිවිසීමට සමත් වූවාය. ඇය මූලික වටයේදී තත්පර 11. 75ක් හා අවසන් පූර්ව වටයේදී තත්පර 11. 86ක කාලයක් වාර්තා කළාය.

කාන්තා මීටර් 400 සහය දිවීමේ කණ්ඩායම විනාඩි 3: 51. 02කින් තරගය නිමකළද අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථා අහිමිවී ගියේය. කෑගල්ල සාන්ත ජෝෂප් බාලිකාවේ සදුමිනි බණ්ඩාර, මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහලේ අමාෂා ද සිල්වා වලල ඒ. රත්නායක විදුහලේ දිල්ෂී කුමාරසිංහ හා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉෂාරා අත්තිඩිය කාන්තා සහය දිවීමේ කණ්ඩායමට එක්වූ අතර එහි රන් පදක්කම ඇමෙරිකා එක්සත් ජනපදය විසින් විනාඩි 3: 28. 74ක කාලයකින් දිනා ගන්නා ලදී.

ශ්‍රී ලංකාවෙන් ලෝක ශූරතාවලියට සහභාගීවූ මෙම යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මීලඟ ඉලක්කය ලබන වසරේ අප්‍රේල් මාසයේ කටාර් හී පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය වේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();