Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොවක් වසඟ කළ ප්‍රංශ විජයග්‍රහණය

ලෝක ජනගහණයෙන් හරි අඩක් මාසයක් පුරා උන්මාදයට පත්කළ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නිමාවට පත්විය. දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් ප්‍රංශයේ ‘චෑම්ප්ස් එලිසීස්‘ චතුරස්‍රයට එක්රොක් වෙමින් තම මවුබිමේ පාපන්දු විජයග්‍රහණය සමරන්නට වූහ. ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි වතාවට ප්‍රංශය හියුගෝ ලෝරිස්ගේ නායකත්වයෙන් රුසියාවේ මොස්කව් නුවරදී ක්‍රොඒෂියාව ගෝල 4-2කින් පරාජය කරමින් මේ විශිෂ්ට ජයග්‍රහණයට හිමිකම් කියද්දී එහි අසිරිය මුළු ප්‍රංශයම ප්‍රීතියෙන් උද්දාමයට පත් කිරීමට සමත්විය. දහස් ගණනින් ක්‍රීඩාලෝලීන් එරට ජාතික ධජය ඔසවමින් සිය ප්‍රීතිය සමරන්නට වූ අතර එදින මුළු රාත්‍රියම ප්‍රංශයට ගෙන දුන්නේ පුදුමාකාර සතුටකි. ඇතැමුන් සිය මෝටර් රථයේ නලාව නොනවත්වා නාද කරන්නට වූ අතර තවත් පිරිසක් ජාතික ගීය ගයන්නට පටන් ගත්තේය. පැරිස් නුවර වීදි පුරා දහස් ගණනින් ක්‍රීඩාලෝලින්ගෙන් පිරී යද්දී ඊට සැතපුම් ගණනාවක් ඈතින් මොස්කව් නුවර එවැනිම අසිරියක් ගත්තේය.

ප්‍රංශයේ ජනාධිපති එමැනුවෙල් මැක්රෝන් මොස්කව් නුවර ලුෂ්නිකි ක්‍රීඩාංගණයට එක්රොක්වී සිටි අසුදහසකට ආසන්න ක්‍රීඩාලෝලීන් පිරිසක් මැද තම කණ්ඩායම ප්‍රංශයේ ආධිපත්‍ය පතුරුවාලද්දී හුනස්නෙන් නැගිට ඔල්වරසන් දෙන්නට පටන් ගත්තේ රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ පරාජිත ක්‍රොඒෂියාවේ ජනාධිපතිනිය කොලින්ඩා ග්‍රාබර් බලා සිටියදීය.

පේලේගේ සෙවැණැල්ල

අවසන් මහා තරගයේදී ප්‍රංශයට සිවුවැනි ගෝලය ලබා දුන් 19 හැවිරිදි කයිලාන් බපේ එදා මෙදා තුර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරගයේ ගෝලයක් රැස් කළ දෙවැනි ලාබාලතම ක්‍රීඩකයා බවට පත්විය. ඊට පෙර මේ දස්කම පෑවේ 1958 වසරේ ස්වීඩනයට එරෙහිව පැවැති අවසන් මහා තරගයේදී ගෝල දෙකක්ම එල්ල කළ බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩක පේලේය. ඔහු මේ දස්කම පෙන්වූයේ 18 හැවිරිදි වියෙහි පසුවෙද්දීය. අවසන් මහා තරගයෙන් පසුව ප්‍රංශයේ වීරයා බවට පත්වූ බපේ එරට ‘පෝස්ටර් බෝයි‘ ලෙසින් ජනතාව අතර අමතක නොවන චරිතයක් වී ඇත.

පසුව තරගාවලියේ හොඳම යොවුන් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍රවූ බපේ කණ්ඩායමේ සෙසු සගයන් අතර ජනප්‍රියතම ක්‍රීඩකයාය.

‘මට ලෝකයට කතාවක් කියන්න තියෙනවා. මේක ආරම්භය පමණයි.‘ තරගයෙන් පසුව බපේ එසේ ප්‍රකාශ කිරීම සමස්ත පාපන්දු ලෝකයටම අනතුරු ඇඟවීමක් විය. ඔහුගේ මේ විස්මිත දස්කම් පේලේගේ ද ඉමහත් ප්‍රසාදයට කරුණක් විය.

‘කයිලාන් බපේට තාම 19යි. මං හිතන්නේ ඔහුගේ දස්කම් ඉදිරියේදී මීටත් වඩා මුවහත් වේවි.‘ එසේ කියන්නේ ප්‍රංශ කණ්ඩායමේ කළමනාකරු ඩිඩියර් ඩෙස්චැම්ප්ස්ය.

කළමනාකරු ඩිඩියර්ගේ අසමසම වාර්තාව

ප්‍රංශය 21 වැනි ලෝක කුසලානය දිනාගනිද්දී වඩාත්ම සතුටට පත්වූ පුද්ගලයා කළමනාකරු හා පුහුණුකරු වන ඩිඩියර්මය. හෙතෙම 1998 වසරේදී ප්‍රංශය පළමුවතාවට ලෝක ශුරයන් වෙද්දී කණ්ඩායමේ නායකයා ඔහු විය. මෙය අපූරු වාර්තාවකි. ප්‍රංශය මොස්කව් නුවරදී පාපන්දු ඉතිහාසය අලුතින් ලියා තබද්දී ඩිඩියර්ට ද වෙනම පරිච්ඡේදයක් එහි වෙන්වී තිබේ. බ්‍රසීලයේ මරියෝ සගාලෝ සහ ජර්මනියේ ෆ්‍රාන්ස් බෙකන්බෝර්ගෙන් පසුව ක්‍රීඩකයකු හැටියටත්, පුහුනුකරුවකු හැටියටත් පාපන්දු ලෝක කුසලානය දිනූ ලොව තුන්වැනි පුද්ගලයා ඔහුය.

‘මේක මහා පුදුම දෙයක්. බාගෙ විට මම ක්‍රීඩකයකු විදිහටවත් මේ වගේ සතුටක් හෝ ගෞරවයක් නොලබන්න ඇති. ඒත් වැඩේ කියන්නේ මම තාම කුසලාන දිනනවා.‘ ඩිඩියර් ප්‍රංශයේ විජයග්‍රහණයෙන් පසුව එසේ කීවේ සතුටින් උඩ පනිමිනි.

ප්‍රංශ ක්‍රීඩකයන් සිය පුහුණුකරු උඩ දමමින් ප්‍රීතිය සමරන ආකාරය ඊයේ රාත්‍රිය පුරාවටම වෙබ් අඩවිවල අසීමිත ජනප්‍රියත්වයක් ලැබූ ඡායාරූපයක් බවට පත්විය.

පැරදුණත් ‘රන් පන්දුව‘ ක්‍රොඒෂියාවේ නායකයාට

මෙවර තරගාවලියේ ‘රන් පන්දුව‘ (Golden Ball) සම්මානය ලැබුණේ ක්‍රොඒෂියානු පිලේ නායක ලූකා මොඩ්රික්ටය. එය ‘තිත්ත රසයක්‘ බව ඔහු පසුව කීවේය.

‘පැහැදිලිවම මාව මේ විදිහට ගෞරවයට පාත්‍රවීම සතුටක් තමයි. ඒත් ඉතින් අපි පැරදුණානේ. ලෝක කුසලානය අතට ගන්න හැකිවුණානම් මීටත් වඩා සතුටු වෙන්න තිබුණා.‘ මොඩ්රික් එසේ කීවේ කනගාටුවෙනි.

‘ඒත් මං දන්නවා මේක අපේ පුංචි රටට ලොකු දෙයක්. අනුශූරයන් වීමත් ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. ලෝක කුසලාන ඉතිහාසයේ අපි මෙවැනි ගෞරවයක් දිනාගත්තේ පළමු වතාවටයි. අපේ රටේ හැමෝම දැන් බලාගෙන ඉන්නේ අපි එනතුරු.‘ ඔහු එසේ කීවේය.

ප්‍රංශයේ ජයග්‍රහණය සහ ක්‍රොඒෂියානු ජනපතිනිය

තම කණ්ඩායම පරාජය කරමින් ප්‍රංශය පාපන්දු ලෝක කුසලානය දිනාගත් මොහොතේ ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන් ජයග්‍රහණය තනිව භුක්ති විඳිද්දී මුලින්ම ඔහු අසළට පැමිණ සිප වැළඳගත්තේ ක්‍රොඒෂියාවේ ජනාධිපතිනිය කොලින්ඩාය. 50 හැවිරිදි මේ සුරූපි කාන්තාව එරට ලාබාලතම ජනපති මෙන්ම එම තනතුරට පත්වූ මුල්ම කාන්තාව ද වූවාය.

ඇය ප්‍රංශ ජනපතිගේ කම්මුල් දෙකම හාදු වැස්සකින් උණුසුම් කළේ දෙරටේහිම ක්‍රීඩකයන් බලා සිටියදීය. එය ලෝක දේශපාලන ක්ෂේත්‍රය තුළ රාජ තාන්ත්‍රික සම්බන්ධතාවයෙන් ඔබ්බට ගිය අසිරිමත් මානුෂික මුහුණුවරක් පෙන්නුම් කළ සිදුවීමකි. ක්‍රීඩාව දෙරටක දේශපාලන නායකයන්ගේ මිත්‍රත්වය ශක්තිමත් කරන බවට කදිම නිදසුනකි. එපමණක් නොව ක්‍රීඩාවට ජයග්‍රහණ මෙන්ම පරාජයන් ද එක සේ උරුම බවත්, ඒවා සතුටින් විඳ දරා ගනිමින් ජයග්‍රාහකයාගේ සතුට බෙදා හදා ගැනීමට එක්වීම ගැන ලෝකයාට දුන් කදිම ආදර්ශයකි.

මේ නිරහංකාර රාජ්‍ය නායිකාව ඉන් නොනැවතී ජයග්‍රාහී කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් සිපවැළඳ සුබ පැතූ අතර තම කණ්ඩායමේ නායක ලූකා මොඩ්රික් සිප වැළඳ ඔහු සනසන අයුරුත් දකින්නට ලැබිණි.

ප්‍රංශ ජනාධිපතිවරයා ද ත්‍යාග ප්‍රදානෝත්සවයේදී සිය කණ්ඩායමේ ලාබාල ක්‍රීඩක බපේ සිපගත් අතර සුපිරි ක්‍රීඩක ඇන්ටෝනි ග්‍රීස්මාන්ගේ නළල්තලයට උණුසුම් හාද්දක් දුන්නේය. ලෝක කුසලානය අතට ගෙන ඊට හාද්දක් දීමටත් ඔහු අමතක කළේ නැත.

සටහන - ෆවුස් මොහොමඩ්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();