Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අංගම්පොර ක්‍රීඩා සම්මේලනයේ ගුරු කුල අතර මත ගැටුමෙන් විෂය මාලා නිර්මාණය ඇණහිටී

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

දේශීය අංගම්පොර සටන් කලාව ඇසුරෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා අංගම්පොර ක්‍රීඩා සම්මේලනයේ ගුරුකුල කිහිපයක් අතර මත ගැටුමක් හේතුවෙන් අංගම්පොර විෂය මාලාව නිර්මාණය කිරීමේ කටයුතු ඇණහිටියි. අංගම්පොර ක්‍රීඩා සම්මේලනයේ ව්‍යවස්ථාව හා නීති - රීති සකසා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබාදී තිබුණද තවමත් අංගම්පොර ක්‍රීඩාවට විෂය මාලාවක් නිර්මාණය කර ගැනීමට ජාතික සම්මේලනය අපොහොසත්ව සිටී. මේ හේතුවෙන් ශ්‍රී ලංකා අංගම්පොර ක්‍රීඩා සම්මේලනය යටතේ ක්‍රීඩාව දියුණු මට්ටමකට ගෙන ඒමට විශාල බාධා මතුව ඇතැයි වාර්තා වේ.

අංගම්පොර සම්මේලනයට අනුබද්ධ ක්‍රීඩා සංගම්වල අදහස් විමසා විෂය මාලාවක් නිර්මාණය කරගැනීමට අවස්ථා කිහිපයකදී උත්සහා ගත්තද එම සියල්ල අසාර්ථකවී ඇත. අංගම්පොර ක්‍රීඩාවට සම්බන්ධ ගුරු කුල නියෝජනය කරන්නන් තමන්ගේ ගුරු කුලය පමණක් නිවැරදි බවට දැඩි ස්ථාවරයක සිටින හෙයින් මේ ගැටලුකාරී තත්ත්වය නිර්මාණයවී තිබේ.

මෙරට ඉතිහාසයේ විවිධ යුගවලදී බිහිවූ අංගම්පොර සටන් කලා ශිල්පීය ක්‍රම ඇසුරෙන් අනාගත පරපුරට ක්‍රීඩාව හඳුන්වාදීමේ විෂය මාලාවක් සෑදීම අංගම්පොර ක්‍රීඩා සම්මේලනයේ බලාපොරොත්තුව වුවද ඒ සඳහා අනුබද්ධ ක්‍රීඩා සමාජවල සහයෝගය ලබා ගැනීම අත්‍යාවශ්‍යවී තිබේ. කරාටේ හා වූෂූ ක්‍රීඩා මෙන් අංගම්පොර ක්‍රීඩාවේ ප්‍රමිතියක් ඇති කිරීම සම්මේලනයේ අපේක්ෂාවවී තිබේ. අංගම්පොර ජාතික සංගමයට අනුබද්ධ ක්‍රීඩා සමාජ 6ක් ඇති අතර අංගම්පොර සටන් කලා පුහුණු කිරීමේ පෞද්ගලික ආයතන 200ක් පමණ මෙරට ක්‍රියාත්මක බව වාර්තා වේ.

ආයුධ හරඹ ආශ්‍රිත අංගම්පොර ක්‍රීඩාවේ ඉදිරියෙන්ම සිටින කෝට්ටේ යුගයට හා දඹදෙනිය යුගයට සම්බන්ධ ගුරුකුලද, නුවර යුගය, සීතාවක යුගය, රිටිගල යුගය ඇතුළු අනෙකුත් යුග ගණනාවක ගුරුකුලවලට අයත් සියලු දෙනා එක්ව මේ විෂය මාලාව සකස් කළ යුතු යැයි අංගම්පොර ක්‍රීඩාවට සම්බන්ධ පිරිසකගේ මතයවී තිබේ. අද වන විට නිවැරදි අංගම් ශාස්ත්‍රය කුමක්දැයි හඳුනාගැනීම ඉතාමත් අපහසුවී ඇති හෙයින් මේ සියලු ගුරුකුල එක්ව සංවාදයක් ගොඩ නැගිය යුතු යැයි ඔවුහූ පෙන්වා දෙති.

ශ්‍රී ලංකා අංගම්පොර ක්‍රීඩා සම්මේලනය 2016 දෙසැම්බර් මාසයේදී ආරම්භ වූ අතර දැන් ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ක්‍රීඩා සමාජයක් ලෙස පිළිගැනීමට ලක්ව තිබේ. අංගම්පොර සටන් කලා ශිල්පීන්ගේ දක්ෂතා කැලණිය බරනැස් කන්ද විහාරයේදී නෙත ගැටුණු කතානායක කරු ජයසූරිය මහතා විසින් එම සටන් කලා ශිල්පීන් පාර්ලිමේන්තුවට කැඳවා පැවැති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා අංගම්පොර ක්‍රීඩා සම්මේලනය බිහිවිය.

මේ පාරම්පරික සටන් කලාව විධිමත්ව ඉදිරියට ගෙන යෑම උදෙසා කතානායක කරු ජයසූරිය මහතා විශේෂ උනන්දුවකින් ක්‍රියා කර එවක ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ අවධානයට යොමු කර තිබිණි. ශ්‍රී ලංකා අංගම්පොර ක්‍රීඩා සම්මේලනයේ පළමු සභාපති ලෙස සදුන් ප්‍රනාන්දු හා ලේකම් ලෙස පියුමාල් එදිරිසිංහ යන මහත්වරු පත්වූ අතර මේ වසර අගභාගයේදී ඔවුන්ගේ නිල කාලය අවසන් වීමට නියමිතය. මේ පිළිබඳ අප කළ විමසීමකදී ශ්‍රී ලංකා අංගම්පොර ක්‍රීඩා සම්මේලනයේ ලේකම් පියුමාල් එදිරිසිංහ මහතා පැවැසූවේ අංගම්පොර විෂය මාලාව සෑදීම ප්‍රමාදවී තිබුණද එය නිර්මාණය කර ගැනීමේ අදහස අත්හැර නොමැති බවය.

“අපේ මැදිහත්වීමෙන් බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී ජාතික ක්‍රීඩා සැණකෙළියක් පැවැත්වූවා. අංගම්පොර ක්‍රීඩාව පාසල් මට්ටමින් සමාජගත කිරීම අපේ සැලසුමයි. ඒකට විෂය මාලාව වැදගත් වෙනවා. ඉන්දියාවේ කේරළයේ ‘කරළි’ පාරම්පරික සටන් කළාව අද ජාතික මට්ටමේ ක්‍රීඩාවක් බවට පත්ව තිබෙනවා. අපටත් එවැනි තත්ත්වයක් ඇති කරගත හැකියි. තායිලන්තයේ මෝතායී පාරම්පරික ක්‍රීඩාව ඉගෙන ගන්න විදේශිකයෝ මුදල් ගෙවා උනන්දු වෙනවා. අපේ ක්‍රීඩාව ව්‍යාප්ත කළොත් විදේශ විනිමය උපයන්න පුලුවන්” පියුමාල් එදිරිසිංහ මහතා පැවැසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();