Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්'

අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති ස්ථානයක් පිළිබඳ සාක්ෂි හමුවී ඇති බව පර්යේෂකයෝ පවසති.

ඔවුන් විශ්වාස කරන ආකාරයට කිලෝමීටර 20ක් විහිදුණු විල පිහිටා තිබෙන්නේ රතු ග්‍රහයාගේ දක්ෂිණ ධ්‍රැවයේ අයිස් තට්ටුව අභ්‍යන්තරයේ ය.

අඟහරු ග්‍රහයාගේ මතුපිට ඉඳහිට ගලායන ද්‍රව ජලය යැයි සැලකිය හැකි සාක්ෂි මීට පෙර පර්යේෂණයේදී හඳුනාගැනුන ද වර්තමානයේ ග්‍රහලෝකය මත අඛණ්ඩව ජලය පැවතීම පිළිබඳ පළමු සාක්ෂිය මෙය වේ.

නාසා කියුරියෝසිටි රෝවරයෙන් ගවේෂණය කරන ලද වැව් තාවුලු වැනි ප්‍රදේශවලින් පෙන්වා දී තිබෙන්නේ අතීතයේදී අඟහරු මතුපිට ජලය තිබූ බවකි.

කෙසේවෙතත්, ඉතා තුනී අවකාශය හේතුවෙන් ග්‍රහලෝකයේ කාලගුණය සිසිල්වීමට පටන්ගත් තැන සිට එහි බහුතර ජලය අයිස් තුළ සිරවිණි.

නව සොයාගැනීම කර තිබෙන්නේ යුරෝපීය අභාවකාශ ඒජන්සිය (ESA) විසින් යවන ලද මාර්ස් එක්ස්ප්‍රස් ඕබිටර් (Mars Express orbiter)යානයේ සවිකර ඇති මාර්සිස් (Marsis) නම් වූ රේඩාර් උපකරණය ආශ්‍රයෙනි.

"මේක ගොඩක් ලොකු විලක් නොවෙන්න පුලුවන්" යැයි අධ්‍යයනයට නායකත්වය දුන් ඉතාලියේ ජාතික තාරකා භෞතික විද්‍යායතනයේ මහාචාර්ය රොබෙර්තෝ ඔරෝසෙයි පවසයි.

ජල ස්ථරයේ ගැඹුර කොතෙක්දැයි නිගමනය කිරීමට මාර්සිස් හට හැකියාව ලැබී නැතත් පර්යේෂණ කණ්ඩායම් ඇස්තමේන්තු කරන පරිදි එහි අවම ප්‍රමාණය මීටරයක් වේ.

"මේක ජලයමැයි කීමට පුලුවන් දෙයක්. පෘථිවියේ සමහර ග්ලැසියරවල වගේ පාෂාණ හා අයිස් අතර පිරෙන දියවුණු ජලය වගේ දෙයක් නෙවෙයි, විලක්" මහාචාර්ය ඔරෙසෙයි කියා සිටී.

මාර්සිස් වැනි රේඩාර් උපකරණ ග්‍රහලෝකයේ මතුපිට පෘෂ්ඨය හා ඊට යටින් ඇති ආසන්නම පෘෂ්ඨය පරීක්ෂා කරන්නේ ඒ වෙත යවන සංඥා පරාවර්තනයෙන් ලැබෙන දේ පරීක්ෂා කිරීමෙනි.

රේඩාර් තිර ප්‍රතිඵලයේ ඉහළ අඛණ්ඩව පෙනෙන සුදු පැහැ තීරයෙන්, දක්ෂිණ ධ්‍රැවයේ ස්ථරයක් ලෙස වූ තැන්පතුවේ; ෆිලෝ පෙස්ට්‍රියක් වැනි එක්රැස්වූ ජලය අයිස් හා දුහුවිලි, ආරම්භය පෙන්වයි.

ඊට යටින් පර්යේෂකයින්ට හමුවී තිබෙන්නේ අසාමාන්‍ය දෙයකි.

"ලා නිල් පාටින් ඇති දේ පතුලෙන් එන පරාවර්තනය පෘෂ්ඨයේ පරාවර්තනයට වඩා ප්‍රබල බව ඔබට පෙනෙනවා. මේක තමයි ජලය තිබෙන බවට අපට කියන්නට ඇති දේ " මහාචාර්ය ඔරොසෙයි සඳහන් කරයි.

ජීවයක් ගැන මෙයින් කියවෙන්නේ මොකක්ද?

තවමත් කිසිවක් ස්ථිරව නොමැත.

විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය මනිෂ් පටෙල් කියා සිටින්නේ "අඟහරු ග්‍රහයා ගැන කාලයක සිට අප දැනගෙන හිටියේ ඒ මත ජීවයක් පැවැත්මේ හැකියාවක් නැහැ කියලා, ඒ නිසා අඟහරු මත ජීවය හොයන එක එහි උප පෘෂ්ඨයට ගිහින් තිබෙන්නේ," යනුවෙනි.

"හානිකර විකිරණවලින් ප්‍රමාණවත් ආරක්ෂාවක් එහි තියෙනවා. පීඩනය වගේම උෂ්ණත්වයත් වඩා හිතකර මට්ටමකට නැගෙනවා. වඩා වැදගත්වෙන්නේ ජීවයට අත්‍යාවශ්‍යවන ද්‍රවීය ජලයට ඉඩ හසර ලැබීමයි."

ජලය හඹායාම පිළිබඳ මේ මූලධර්මය, පෘථිවියෙන් එහා තිබිය හැකි ජීවය පිළිබඳ අධ්‍යයනය එනම් තරකා ජීව විද්‍යාවේ මූලික කරුණකි.

ඒ අනුව මේ සොයාගැනීම්වලින් ජලය ඇති බවට යෝජනා කළත් ඉන් එහා දෙයක් ඔවුහු තහවුරු නොකරති.

"සැබවින්ම ජීවය හඳුනාගැනීමේ සමීපයට අප පැමිණ නැහැ," යැයි බීබීසී ප්‍රවෘත්ති සමග කී ආචාර්ය පටෙල්, "නමුත් මේ සොයාගැනීම් අපට පෙන්වා දෙන්නේ අඟහරු මත සොයා බැලිය යුතු ස්ථානයයි. මේක හරියට නිධානයක සිතියමක් වගේ. මේ හැරුණු විට බොහෝ 'X' සහිත තැන් තිබෙනවා," යනුවෙන් කියා සිටියේය.

තිබිය හැකි අඟහරු ජීවයක් හට ජලයේ උෂ්ණත්වය මෙන්ම එහි රසායන සංයුතිය ද ගැටලු මතු කළ හැකිය.

පවතින ආකාරයේ සිසිල් තත්ත්වයක ද්‍රවීය ලෙස තිබෙන්නට නම් (පර්යේෂණ කණ්ඩායම ඇස්තමේන්තු කරන්නේ සෙල්සියස් -10 සහ -30 අතර, ඊට වැඩි නම් අයිස් වේ), ජලය තුළ විශාල වශයෙන් දියවුණු ලවණ වර්ගවලින් පිරී තිබිය හැකිය.

"ජලය අතිශයින් ම ශීතල බව පැහැදිලියි, ලුණු සහිතයි එනම් ජීවයකට අභියෝගකරන සුලුයි." යනුවෙන් එක්සත් රාජධානියේ ශාන්ත විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යාඥ ආචාර්ය ක්ලෙයාර් කසින්ස් පැහැදිලි කළාය.

ඊළඟට කුමක් ද?

අඟහරු මත අතීත හෝ වර්තමාන ජීවයක් ගැන උනන්දුවක් දක්වන පාර්ශ්ව හට මේ සොයාගැනීමෙන් කුතුහලය දනවන අපේක්ෂාවක් ගෙන එද්දී එම විලේ ස්වභාවය තහවුරු කරගැනීමට තවදුරටත් පර්යේෂණ කළ යුතුව තිබේ.

"දැන් කරන්න තිබෙන්නේ" යැයි එය පැහැදිලි කරන විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය මැට් බෝල්මේ, "ලබාගෙන ඇති මිණුම් වෙනත් තැන්වලට නැවත යැවීමෙන් මේ සමාන සංඥා පිළිබඳ විමසීමයි. ඒ වගේම හැකිනම් අන් සියලු පැහැදිලි කිරීම් විමර්ශනය කිරීමයි."

"සමහර විට මෙය පෘථිවියේ ඇන්ටාක්ටිකාවේ අභ්‍යන්තර විල් සම්බන්ධයෙන් කළා වගේ යටවී ඇති ජලය සොයා පෘෂ්ඨය විදීමේ අලුත් අඟහරු මෙහෙයුමක ආරම්භය වෙන්නට පුළුවන්." ඔහු සඳහන් කළේය.

මීට පෙර ඇන්ටාක්ටිකා හි යටවී ඇති වොස්ටොක් විලේ බැක්ටීරියාමය ජීවය සොයාගත් බව විද්‍යාඥයින් පවසා තිබු අතර, අඟහරු මත විදීමක් සැබවින් ම අපේක්ෂා සහගත ව්‍යාපෘතියක් වනු ඇත.

"එහි යාම වගේම මෙය සැබවින් ම විලක් බවට අවසාන සාක්ෂියක් ලබා ගැනීම පහසු දෙයක් නෙවෙයි" යැයි පවසන මහාචාර්ය ඔරොසෙයි, "කිලෝමීටර 1.5ක් ගැඹුරු අයිස් ස්ථරයක් හරහා විදීමේ හැකියාව ඇති රොබෝවක් යවන්නට වෙනවා. මේ වෙනකොට නැති කිසියම් තාක්ෂණික නිර්මාණයක් අනිවාර්යයෙන් ම අවශ්‍ය කෙරෙනවා" යනුවෙන් පෙන්වා දුන්නේය.

(බීබීසීය ඇසුරිනි)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();