එංගලන්තයේ ගලිවරයෝ ක්‍රොඒෂියානු ලිලිපුට්ටන් හමුවේ දණ ගසති
වසර 52කට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ එංගලන්ත බලාපොරොත්තුව සුණු විසුණු කළ ක්‍රොඒෂියාව අවසන් පූර්ව තරගයෙන් ගෝල 2-1ක විශිෂ්ට ජයක් ලබා ගනිමින් ඉතිහාසයේ පළමු වතාවට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත්විය.
මේ විස්මිත පරාජය අදහාගත නොහැකිවූ එංගලන්ත පිලේ ක්‍රීඩකයෝ තරගයෙන් පසුව සෑහෙන වේලාවක් යනතුරු ක්‍රීඩාංගණයේ බිම වැතිරී කඳුළු සලන්නට වූහ.
යුගෝස්ලෝවියාවේ යටත් විජිතයක්ව තිබූ ලක්ෂ 40ක් පමණ ජනගහණයක් ඇති මේ කුඩා රට 1991 දී ස්වාධීන රාජ්ය්යක් බවට පත්වීමේ ඓතිහාසික සිදුවීමට පසුව විශාලතම පෙරළිය මෙය විය. මීට පෙර 1998 තරගාවලියේදී අවසන් පුර්ව වටයට පිවිස ප්‍රංශය හමුවේ පරාජයට පත්වී පසුව නෙදර්ලන්තය පරදවමින් තරගාවලියේ තුන්වැනි ස්ථානය ලැබූ ක්‍රොඒෂියාව ලබන 15 වැනිදා පැවැත්වෙන මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදී යළි ප්‍රංශයට එරෙහිව ක්‍රීඩා කරනු ඇත.
ක්‍රොඒෂියාව වාර්තාපොතට එක්වන්නේ වසර 1950 දී පැවැති තරගාවලියේ අවසන් මහා තරගයට උරුගුවේ පිල සුදුසුකම් ලැබීමෙන් පසුව ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ කුඩාම රාජ්‍යය ලෙසටය.
ක්‍රොඒෂියාව තරගයේ ජය හිමිකරගත්තේ නියමිත කාලය නිමාවෙද්දී එංගලන්තය දරුණු පීඩනයකට ඇද දමා ගෝල 1-1කින් සම තත්ත්වයේ පසුවීම නිසා ලබා දුන් අතිරේක කාලයේදීය. ප්‍රහාරාත්මක ක්‍රීඩක මාරියෝ මැන්ඩ්සුකික් 109 වැනි මිනිත්තුවේදී ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ ඉවාන් පෙරිසික් පිරිනැමූ පන්දුවට එල්ල කළ වේගවත් පහරකිනි. එය එංගලන්තයේ ගෝල කණුව අතරින් දැළ තුලට ඇදී ගියේ ගෝල රකින ජෝර්ඩ්න් පික්ෆෝර්ඩ් හැරෙන්නටත් පෙරය. අනතුරුව අසරණ තත්ත්වයට ඇද වැටුණු එංගලන්තය විනිසුරුගේ අවසන් නලා නාදයට පෙර ගෝලයක් වාර්තා කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගත්තත් ඊට ඉඩක් ලැබුණේම නැත.
එංගලන්ත පිලේ ක්‍රීඩකයන්ගේ මෙන්ම කළමනාකරු ගැරත් සවුත්ගේට්ගේද දෑස් කඳුළින් තෙමා දැමූ ක්‍රොඒෂියාව පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් එක් කළේ එසේය.
ක්‍රොඒෂියාව හමුවේ එංගලන්තයට විශිෂ්ට ජයක් හිමිවනු ඇතැයි තරගයට පෙර පළවූ අනාවැකිවලින් ලැබූ උත්තේජනයෙන් තරගයට එක්වූ හැරී කේන්ගේ එංගලන්ත පිල 5 වැනි මිනිත්තුවේදී කීරන් ට්‍රිපියර් යාර විස්සක දුරින් සිට එල්ල කළ නිදහස් පහරින් ගෝලයක් වාර්තා කරද්දී කවුරුත් සිතුවේ ඒ සියලු අනාවැකි සඵල වනු ඇතැයි කියාය. එහෙත් පරාජයට කිසිදු බියක් නොදැක්වූ ක්‍රොඒෂියානු ක්‍රීඩකයන් අධිෂ්ඨානශීලිත්වයෙන් ක්‍රීඩා කරමින් ගෝල 1-1කින් තරගය සමකරගැනීමට සමත්වූයේ 68 වැනි මිනිත්තුවේදී ඉවාන් පෙරිසික් වාර්තා කළ ගෝලයත් සමගිනි.
මෙවර තරගාවලියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස තරගාවලියේ රන් සපත්තුව හඹා යමින් සිටින එංගලන්ත පිලේ නායක හැරී කේන් මේ තරගයේදී පෙරළිකාර දස්කම් දක්වනු ඇතැයි විචාරකයන් කීවත් ඔහුට ඒ සඳහා කිසිදු ඉඩක් ලැබුණේ නැත. තරගයෙන් පරාජයට පත්වූ එංගලන්තය හෙට (14) සාන්ත පීටර්ස්බර්ග් නුවරදී බෙල්ජියමට එරෙහිව තරගාවලියේ තුන්වැනි ස්ථානය වෙනුවෙන් තරග වැදීමට නියමිතය.
දැඩි විශ්වාසනීයත්වයකින් ක්‍රොඒෂියානු පිල මෙහෙයවූ සුපිරි ක්‍රීඩක ලූකා මොඩ්රික් සිය ක්‍රීඩකයන්ට නිදහසේ ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා දුන් අතර මොස්කව් නුවර ලුෂ්නිකි ක්‍රීඩාංගණයට රැස් වූ 78,011ක අතිවිශාල ක්‍රීඩාලෝලීන් පිරිසට තම කණ්ඩායමේ විශිෂ්ටත්වය මැනවින් පෙන්නුම් කළේය.
අවසන් පූර්ව තරගය සමස්ත ක්රොඒෂියාවේම ජන ජීවිතය අඩාල කළ අතර එරට අවන්හල් සහ ප්‍රධාන නගරවල පිහිටා ඇති චතුරස්‍ර අසළ එල්ලා තිබූ දැවැන්ත තිර ඔස්සේ තරගය සජීවිව නැරැඹීඹට දහස් ගණනින් ප්‍රේක්ෂකයෝ එක්රොක් වූහ.
වැසි සහිත කාලගුණය මැද වූවත් ක්‍රොඒෂියාවේ අගනුවර වන සැග්‍රෙබ් හී මධ්‍යම චත්‍රරස්‍රය අසළ සවිකොට තිබූ දැවැන්ත රූපවාහිනි තිරයෙන් තරගය සජීවිව නැරැඹීමට එක්වූ පිරිස දසදහසකටත් වැඩි විය. තරගයෙන් පසුව එරට වීදි පුරා දහස් ගණනින් ක්‍රීඩාලෝලීන් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීමට පටන් ගත් අතර මුළු රටම එකම සැණකෙළි ස්වරූපයක් ගෙන තිබිණී.
0 Comments