Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙක්සිකෝ ඔලිම්පික් ගිය මැරතන් විමලේට 73යි

ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනයෙන් පාරිශුද්ධත්වයට පත් කැලණිය පුද බිමට ආසන්නයේ වරාගොඩ උපත ලද රූපසිංහ ආරච්චිගේ විමලසේන පෙරේරා ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසය තුල ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලීය හා ආසියා යන ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල තුන මුලින්ම නියෝජනය කළ මැරතන් ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වූයේ ය. 60 දශකයේ බිහිවූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයකුවූ ඔහු ‘මැරතන් විමලේ’ නමින් විශාල ප්‍රසිද්ධියක් ලබා ඇත. ක්‍රීඩාවට කළ අමිල මෙහෙවර හේතුවෙන් දේශ බන්ධු ලංකා පුත්‍ර, සාමවිනිසුරු, ක්‍රීඩා රත්න හා යුද හමුදා උත්තම සේවා පදක්කම් ලාභී යන සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවේය. දැන් 73 හැවිරිදි වියේ පසුවන ‘මැරතන් විමලේ’ ගේ අතීතය හා වර්තමාන තතු පිළිබඳ සංවාද සටහනකි මේ...

ප්‍රශ්නය: ඔබ තමයි මුලින්ම මැරතන් තරගයකින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට ගිය ශ්‍රී ලාංකිකයා. කොහොමද ඒ මෙක්සිකෝ ගමන?

පිළිතුර: ඔලිම්පික් කියන එක මට ජීවිතයේ සිහිනයක් වෙලා තිබුණේ. මෙක්සිකෝ ඔලිම්පික් උළෙල මගේ සිහින සැබෑ කළා. එදා මා සමග ඔලිම්පික් ක්‍රීඩා උලෙලට ගියේ රැවල් ඔරු පැදීමෙන් රේ විජේවර්ධන අද ජීවතුන් අතර නෑ, බොක්සිං ක්‍රීඩක එච්. කේ. කරුණාරත්නත් පසුව මිය ගියා, මුස්තාපර් කළමනාකරු ලෙස ගියේ එයත් අද ජීවිතුන් අතර නෑ. මෙක්සිකෝ ඔලිම්පික් ගියේ අපි තුන් දෙනා විතරයි. දැන් වාගේ ඉස්සර නඩ ගෙනියන්න දෙන්නේ නෑ. සුදුසුකම් තිබුණොත් විතරයි ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලට යන්න පුලුවන්. අද වගේ අත්දැකීම් ගන්න ක්‍රීඩා සවාරි යන්න එදා බෑ. ඔලිම්පික් යන්න කලින් මම තේරීම් තරග 3කට සහභාගී වුණා. මෙක්සිකෝව මුහුදු මට්ටමෙන් ගොඩක් ඉහළින් පිහිටි තැනක්. හුස්ම ගැනීමත් තරමක් අපහසුයි. මම තරගය ඉවර කරනකොට පිට්ටනියට අවේ ක්‍රීඩයන් 81කින් 51වැනියා ලෙසයි.

ප්‍රශ්නය: ඒ කියන්නේ ඔලිම්පික් ඉලක්කය සම්පූර්ණ වුණේ නෑ කියන එකද?

පිළිතුර: මෙක්සිකෝ යන්න කලින් ටිකක් අසනීප තත්ත්වයෙන් හිටියේ. නමුත් තරගයට තිබුණ ආසාවට අසනීප සඟවාගෙන ගියා. දිගු ගුවන් ගමනක් නිසා පීනස ගතියත් වැඩි වුණා. තරගයට සහභාගී වෙන්න කලින් මට එන්නත් 36ක් විතර විද්දා. තරගය ආරම්භ වුණා. ලෝකයේ අංක එකේ ක්‍රීඩක අබීබේ බිකිලා ටිකක් දුර දුවනකොට තරගයෙන් ඉවත් වුණා. මෙක්සිකෝ දේශගුණය අමාරු නිසා දක්ෂ ක්‍රීඩකයෝ කිහිප දෙනකුම ඉවත් වුණා. මා තරගය අවසන් කරනවා විතරයි මතක සිහි නැතිව ඇදගෙන වැටුණා. මම අන්තිම විනාඩි පහ දිව්වේ කොහොමද කියලත් මට මතක තිබුනේ නැහැ. මම තරගය අවසන් කළේ කොහොමද කියලත් මට මතක නැහැ. මට සිහිය ආවේ ඉස්‌පිරිතාලේදී. ඒ තරගය දින්නේ ඉතියෝපියාවේ නෑමෝ හෝල්ඩින්, දෙවැනියා ජිම් බ්‍රයන්, තුන්වැනියා කෙනජි කිමිහාරා. ජපානයේ කෙනජි කිමිහාරා ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනාගනිද්දී මා 7වැනියා. නමුත් ඔලිම්පික්වලදී ඒ පරතරය ගොඩක් වෙනස් වුණා.

ප්‍රශ්නය: ඒ දවස්වල ප්‍රවාහන පහසුකම් මේ තරම් දියුණු නැති නිසා පිටරට යද්දී විඩාවක් ඇති නේද?

පිළිතුර: 1966දී පැවැති 5වැනි ආසියාතික ක්‍රීඩා උළෙලට ප්ලේන් එකේ බැංකොක් යන්න දවස් තුනක් ගත වුණා. අපි ගියේ හෙලන් ප්ලේන් කියලා එකක. පළමු දවසේ ඉන්දියාවට ගියා. දෙවැනි දවසේ සිංගප්පූරුවට. ඊළඟ දවසේ තමයි බැංකොක් ක්‍රීඩා උළෙලට ගියේ. හෙලන් ප්ලේන් එක ස්ටාර්ට් කරනකල් අපි බලන් ඉන්නවා. එකවරම නගින්න දෙන්නේ නෑ. මොකද එහෙම නැගලා ඇතුලේ ඉන්න බෑ. ඇතුළේ රස්නෙයි. ඒකේ වායූ සමීකරණ මුකුත් නෑ. ස්ටාර්ට් කළාට පස්සේ නියමුවාගෙන් අණ ලැබෙන්නේ ප්ලේන් එකට නගින්න. රෝසා, මම, තාබෘ ප්‍රනාන්දු එකට ගියේ. දැන් වගේ පහසුකම් නැතත් අපට හිතේ හයිය තිබුණා.

ප්‍රශ්නය: ඔබේ ජාත්‍යන්තර තරග හා ජයග්‍රහණ මතක් කළොත්?

පිළිතුර: 1966 ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර පොදු රාජ්‍ය මණ්ඩලෙයීය ක්‍රීඩා උළෙලට ගියා. 1966 බැංකොක් ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කළා. 1967 සිංගප්පූරු ජාතික ක්‍රීඩා උළෙලේ මීටර් 5000 හා 10000 රිදී පදක්කම් දෙකක් ගත්තා. 68 මෙක්සිකෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල හා 1969දී හොංකොං ජාත්‍යන්තර තරගයේදී මා සිවුවැනි ස්ථානය දිනා ගත්තා.

ප්‍රශ්නය: ඒ දවස්වල ආර්ථිකය හොදයි නේද?

පිළිතුර: එහෙම විශේෂ හොදක් නෑ. යුද හමුදාවේ සිටි නිසා මට යාන්තම් ගොඩ යන්න පුලුවන් වුණා. දැන් ක්‍රීඩකයන්ට මුදල් ගෙවල් දෙනවා දැන් බැනියම්ද, ට්‍රැක් ෂූට්ද, බෑග්ද හැම එකක්ම ලැබෙනවා නේ. ඔලිම්පික් තරගයේදී ආමි කැන්වස් දෙකක් දාගෙන තමයි මම දිව්වේ. ඒක දැකලා හොද ස්පයිස් දෙකක් මට පිටරට කෙනෙක් අරන් දුන්නා. ස්විස්ටර්ලන්තයේ යාලුවෙක් ඉන්නවා. එයා මට ගොඩක් උදව් කරනවා. යුද හමුදාවේ විනය නිසා වෙලාවට නැගිට්ටා. වේලාවට නිදාගත්තා. ඉන්නවාද කියලා එදිනෙදා පොත් මාර්ක් කරනවා.

ප්‍රශ්නය: ඔලිම්පික් යද්දී ආධාර, මුදල් ලැබුණාද?

පිළිතුර: අපෝ නෑ පිටරට සංචාරවලට යද්දී සල්ලි ලැබෙන්නේ නෑ. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට යද්දී මට ලැබුණේ පවුමු 3යි. පිට රට ගියාට ගෙදරට බඩු මුට්ටු ගේන්නේ නෑ. ෂොපිං යන්න සල්ලි නෑ. සංචාරය ගිහිල්ලා එන එක පමණයි. ට්‍රැක් ෂූට් එක රුපියල් 45කට ගත්තා බර්නාඩ්ස් එකෙන්. කලුපාට බැනියමක් ඇදලා දිව්වේ ඒකේ සිලෝන් කියලා ගහලා තිබුණා. විදෙස් සංචාරයක් යද්දී ගමේ අය වාහන අරන් ගුවන් තොටුපොලට ඇරළනවා. ඒක ලොකු ධෛර්යයක්. ලංකාවට එද්දීත් එහෙමයි. ගමේ අය පිළිගන්න එනවා.

ප්‍රශ්නය: ඔබ ක්‍රීඩකයකු හැටියටගත් විටමින් හා විශේෂ ආහාර වර්ග මොනවාද?

පිළිතුර: ඔලිම්පික් ගියාට විශේෂයි කියලා විටමින් හා ආහාර කිසිම දෙයක් ගත්තේ නෑ. එකම විශේෂත්වය දිනපතාම අම්මා දෙන කොළ කැඳ එක පමණයි. මා මස් මාලු කන්නේ නෑ. එළවලු, බිත්තර හා බත් ආහාර වුණේ. එදා චීස් අවුන්සයක් සත 25යි. බටර් කාලක් සත 45යි. කැළණියේ ඉදලා තොරණ හංදියට බස් එකේ යන්න සත 5යි. හමුදාවෙන් මට මාසේ පඩිය ලැබුණේ රුපියල් 170යි. ඒකෙන් කෑමට රුපියල් 60ක් කපනවා. ඉතිරි 40න් රුපියල් 30ක් විතර පොතේ දාලා ඉතුරු කරන්නත් පුලුවන්. අපි අනාගතය ගැන හිතලා මහන්සියෙන් වැඩ කළ මිනිස්සු

ප්‍රශ්නය: ඔබේ පුහුණුකරු කවුද? එදා තාක්ෂණික තත්ත්වය කොහොමද?

පිළිතුර: මට පුහුණුකරුවෙක් හිටියේ නෑ. මගේ පුහුණුකරු මම මයි. හොඳට හිතලා සැලසුමක් ඇතිව වැඩ කළා. සතියකට උදේ හවස සැතපුම් 150ක් විතර දුවනවා පුහුණු වෙන්න. වරාගොඩින් පටන්ගෙන නුවර පාරෙන් ගිහින් මාවරමණ්ඩියට බහිනවා. උඩුපිල හරහා එතැනින් හතරේ කනුව ළගින් තොරණ හන්දියට යනවා සතියට දින දෙකක් විතර. සමහර දවස්වලට වරාගොඩින් කැළණියට දුවලා බියගම පාරෙන් හතරේ කණුව, බොරුල්ල, තුන්මුල්ල හංදිය, කිරුළපන, නුගේගොඩ, මහරගම, කොට්ටාව පසුකොට හෝමාගම යුද හමුදා කදවුරට දුවනවා. අපේ ගේ ළග යාලුවෙක් හිටියා යුද හමුදාවේ. එයා අතේ කලින් මගේ ඇදුම් ටික කදවුරට යවනවා, එහෙම තමයි අපි පුහුණු වුණේ.

ප්‍රශ්නය: මොකකද් අමතක නොවන සිද්ධිය?

පිළිතුර: ගොඩාක් සිද්ධි තියෙනවා. නමුත් මට අමතක නොවන සිද්ධියක් තමයි 1966 මැයි මාසයේ තිබුණ මැරතන් තරගය. කොළඹ විශ්ව විද්‍යාල පිට්ටනිය ලගින් ආරම්භ වෙලා හෝමාගම කැන්දලන්දට ගිහින් අයේ විශ්වවිද්‍යාල පිටියට තරගය තිබුණේ. ඒ පළමු මැරතන් තරගයේදී තමයි එතෙක් තිබුණ ශ්‍රී ලංකා වාර්තාව මම කැඩුවේ. ලීනස් ඩයස් 1960දී තිබුණ වාර්තාව මා බිඳ හෙලීම මටම පුදුමයක් වුණා. කලින් දවසේ වැහැලා එදා අදුරු තත්ත්වයක් තිබුණේ. ඒ නිසා මට දුවන්න පහසු වුණා. මැරතන් ක්‍රීඩකයකුට අව්ව බලපානවා. රස්නය වැඩි වුණොත් දුවන්න ටිකක් අමාරුයි. පැය 2: විනාඩි 33යි තිබුණ වාර්තාව පැය. 2: 27කින් මම බිඳ හෙලුවා. ඒ වාර්තාව වසර 25ක් බිඳ හෙලන්න කාටවත් බැරි වුණා. වර්තාව පිහිටවූ මොහොතේ මගේ අම්මා ඇවිත් මාව බදාගෙන සිප ගත්තා.

ප්‍රශ්නය: වාර්තාව පිහිටුවන්න උදව් කලේ කවුද?

පිළිතුර: ගමේ අය බයිසිකල් වලින් මාව වට කරගෙන එනවා උදව්වට. වතුර දෙනවා වතුර ගහනවා. දැන්නම් පාරේ එහෙම දුවන්න බෑ. බ්‍රිග්‍රේඩියර් රාමනායක මහතා මට පියෙක් වගේ සැලකුවා. ඔහු නිසා තමයි මා මේ තත්ත්වයේ ඉන්නේ. මව්පියන් යාලුවෝ හැම දෙනාම සහයෝගය දුන්නා.

ප්‍රශ්නය: ඔබ කලින් පාපන්දු ක්‍රීඩකයෙක් නේද?

පිළිතුර: ඔව්. මුලින්ම ගියේ වෙදමුල්ල මහා විදුහලට. පස්සේ කැලණිය ධර්මාලෝකයේ පාපන්දු ක්‍රීඩා කළා. පාපන්දු ක්‍රීඩකයකු සතුව හොඳ ජවයක් තියෙනවා. ඒ නිසා දවසක් පාසලේ ගුරුවරු මට කිව්වා මීටර් 1500 දුවන්න කියලා. ඒක සාර්ථක වුණා. 62දී බස්නාහිර පළාතේ රන් පදක්කම හා 63දී සමස්ත ලංකා වාර්තාවක් සමග රන් පදක්කම දින්නා. ඊට පස්සේ තමයි මැරතන්වලට යොමු වුණේ.

ප්‍රශ්නය: ක්‍රීඩකයකුට ලැබෙන අභියෝග මොනවාද?

පිළිතුර: තමන්ගේ දක්ෂතා වර්ධනය කරගන්න දැඩි කැපවීමක් ඕනෑ. අද නම් ක්‍රීඩකයන්ට අවශ්‍ය සියලු දේ ලැබෙනවා. පුහුණුකරුවන්ට ක්‍රීඩකයා දින්නාම සල්ලිත් ලැබෙනවා. ඒක හොදයි. අපේ කාලයේ මේ මොනවා නොලැබුණත් කැපවීම තිබුණා. අද ක්‍රීඩකයින් තුල විනය වර්ධනය කළ යුතුයි. කැපවීම අවශ්‍යයි. ඔලිම්පික් යන්න හැමොටම බෑ. එක අමාරුයි. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලත් ලේසි නෑ. ආසියාව දිනන්න පුලුවන් මහන්සි වුණොත්. දකුණු ආසියා ක්‍රීඩා උළෙල අපට මෙන්ටිසෝරියක්. මේ හැමදේම තමන්ට වගේම රටට දෙන කීර්තියක්. මේවා පසුකර කවුරුත් ආසා කරන හොඳ මිනිහෙක්වීම තමයි අභියෝගය.

ප්‍රශ්නය: ඔබේ කාලයේ රාජ්‍ය අනුග්‍රහය කොහොමද?

පිළිතුර: දින්නාම ඇවිත් මැති ඇමැතිවරු සුබ පතනවා. අද වගේ අනුග්‍රහයක් නෑ. අද දක්ෂ ක්‍රීඩකයන්ට නිවාස ලබාදෙන සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කිරීම ප්‍රසංශනීයයි. මගේ මතකයේ තියෙන හිතට වැදුණු ක්‍රීඩා ඇමැතිවරු තමයි වී. ඒ. සුගතදාස, කේ. බී. රත්නායක, එස්. බී. දිසානායක හා දයාසිරි ජයසේකර. එයින් දයාසිරි ජයසේකර ඇමැතිතුමා විශාල සහයෝගයක් දුන්නා. බ්‍රිගේඩියර් රාමනායක ඉංජිනේරු බලකායේ සියලු දෙනා, ජෙනරල් දයා රත්නායක, ආර්. ඒ. කුලරත්න, ප්‍රේමා පින්නවාල, ජෙනරල් පාලිත ප්‍රනාන්දු, විශ්ව විද්‍යාල ක්‍රීඩා කථිකාචාර්ය සමන් කුමාර ඇතුළු බොහෝ දෙනෙක් මතක් වෙනවා.

ප්‍රශ්නය: ඔබ දැන් ඉන්නවා ඔලිම්පියන්ස් සංගමයේ. ඒකෙන් මොනවද රටට කරන්න පුලුවන්?

පිළිතුර: ඔලිම්පියන්ස් සංවිධානය කියන්නේ ඔලිම්පික් ගිය සියලු දෙනාගේ එකතුවක්. ශ්‍රියානි කුලවංශ හා දමයන්ති දර්ශා ඒකට ගොඩක් මහන්සි වුණා. අපේ අසනීප වලට වෛද්‍ය පහසුකම් දෙමින් ඒ අය විශාල සහයක් දෙනවා. පැරණි ක්‍රීඩකයන් එකතුකොට ඔලිම්පියන්ස් සංගමය හරහා සම්බන්ධතා ගොඩ නැගුණා. ඒක ලොකු දෙයක්. නැගී එන දරුවන්ටත් අපි යමක් කළ යුතුයි. ඒක ඉදිරියේදී සැලසුම් වෙනවා.

ප්‍රශ්නය: ඔබ මලල ක්‍රීඩා ජාතික තේරීම් කමිටු සභාපති? හැබැයි මලල ක්‍රීඩාවේ ජයග්‍රහණ අඩුයි නේද?

පිළිතුර: මලල ක්‍රීඩාවේ නැගීම් බැසීම් තියෙනවා. හොඳ නැගී එන පරපුරක් අපට සිටිනවා. අපි බලන්නේ හොඳම අය ජාත්‍යන්තර තරගවලට යවන්නයි. හිතවත්කම්වලට වැඩ නෑ. බලපෑම්වලට යටවෙන්නේත් නෑ. ඉදිරි ආසායානු ක්‍රීඩා උළෙලේදී අපේ ළමයි හොඳ දස්කම් දක්වයි. විවේචනය කරන අයට මා කියන්නේ ටිකක් ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න කියලයි.

සංවාද සටහන
ප්‍රින්ස් ගුණසේකර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();