පවන් ෂා වාර්තා කළ විශිෂ්ට ද්විත්ව ශතකය හේතුවෙන් ඉන්දීය අවුරුදු 19න් පහළ පිල පළමු ඉනිමට රැස්කළ ලකුණු 613 හඹායන ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඊයේ දෙවැනි දිනයට තරගය නතර කරනවිට කඩුලු 4ක් දැවී ලකුණු 140ක් රැස්කරගෙන සිටිති.
ඒ අනුව කඩුලු 6ක් අතැතිව සිටින ශ්‍රී ලංකා යොවුන් පිල ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 473ක් පසුපසින් සිටී.
පසිඳු සූරියබණ්ඩාර ලකුණු 51ක් සහ සොනාල් දිනූෂ ලකුණු 24ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
පන්දු 130කට මුහුණදුන් සූරියබණ්ඩාර හතරේ පහර 6ක් ඉනිමට එක්කරගෙන තිබූ අතර සොනල් හතරේ 4ක් සමගින් පන්දු 52කට මුහුණදී තිබිණි.
කමිල් මිෂාර සමගින් ශ්‍රී ලංකා ඉනිම ඇරැඹු නිශාන් මධුසංකට මුහුණදීමට හැකිවූයේ පන්දු 8කට පමණි. ලකුණු 5ක් ලබාසිටි ඔහු, මෝහිත් ජන්ග්රාගේ පන්දුවකට අතර්වා ටයිඩ් උඩ පන්දුවක් රැක ගැනීමෙන් ඉනිමේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.
අනතුරුව පිටියට පිවිසි නායක නිපුන් ධනංජය මුහුණදුන් පළමුව පන්දුවෙන් ම දවා ගැනීමට යළි ක්‍රියාත්මක වූ ජන්ග්රාට හැකිවිය.
නුවනිදු ප්‍රනාන්දු ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 8කට දැවී ගියේද ජන්ග්රාට ගොදුරු වෙමිනි.
සිවුවැනි කඩුල්ලට කමිල් මිෂාර සමගින් එක්වු පසිඳු සූරියබණ්ඩාර ඉනිම ගොඩනැගීමේ උත්සහයක නිරතවූ අතර මුළු ලකුණු 94ක් වෙද්දී කමිල් දවා ගැනීමට සිද්ධාරත් දේශායිට හැකිවිය.
පන්දු 94කට මුහුණදුන් කමිල් හතරේ පහර 7ක් සමගින් ලකුණු 44ක් රැස් කළේය.
ලකුණු 177ක් රැස්කරමින් නොදැවි කඩුල්ලේ රැදී සිටි පවන් ෂා ඊයේ එම ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 105ක් එක්කර ගත්තේය.
ඔහු සමගින් නෙදැවී කඩුල්ලේ රැදී සිටි නෙහාල් වදේරා පස්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 567 දක්වා ඉදිරියට ගෙන ගියේ තවත් ලකුණු 139ක් එක් කරමිනි.
ලකුණු 160කින් ගොඩනැගුණු එම සබඳතාව බිඳ වැටුණේ කලණ පෙරේරාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් වදේරා දැවී යෑමෙනි. පන්දු 136කට මුහුණදුන් වදේරා හතරේ පහර 6ක් සමගින් ලකුණු 61ක් රැස් කළේය.
ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස පවන් ෂා දුවද්දි දැවී යෑමට හසුවීමත් සමග ඉනිම අත්හිටුවීමට ඉන්දීය යොවුන් පිල තීරණය කළේය. විශිෂ්ට පිතිහරඹයක් දියත් කළ පවන් පන්දු 332කට මුහුණදුන් අතර හතරේ පහර 33ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 282ක් රැස් කළේය.
0 Comments