Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිසියට සම්මාන 09 ක් අරන් දුන් ස්ථානාධිපති

(සුගත් රොෂාන් සංජීව ස්ථානාධිපති)

හොරොව්පතාන වසර 29ක සේවා කාලයක් පොලිසිය වෙනුවෙන් කැපකළ දක්ෂ නිලධාරියකු වූ සංජීව මේ වන විට පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස වසර 8ක්ම රාජකාරී කර තිබේ. සෙට්ටිකුලම, බියගම ,සපුගස්කන්ද ආදී ප්‍රදේශවල ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරීයේ නිරතව සිටි ඔහු වත්මන් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා ය. මේ වසර 29 තුළ ඔහු මහජනයා වෙනුවෙන් ඉටු කළ සේවය සුළු පටු නොවේ. එමෙන්ම ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට සම්මාන පිට සම්මාන ලබාදුන් නිලධාරියෙකි. ශ්‍රී ලංකා පොලිසියට මෙවන් කීර්තියක් ලබාදුන් එකම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ඔහු පොලිස් ඉතිහාසයට එක්වේ. අපි ඔහු සමඟ මේ පිළිබඳ කළ සාකච්ඡාවකි මේ, 

හොරොව්පතාන පොලිස් වසම ගැන සඳහනක් කළොත් ?

“මගේ පොලිස් වසමට ග්‍රාම සේවා වසම් 38ක් තියෙනවා එක පැත්තකින් ත්‍රිකුණාමලය. අනිත් පැත්තෙන් අනුරාධපුරය, තවත් පැත්තකින් වව්නියාවට මායිම් වෙනවා. ද්‍රවිඩ ජනතාව හැරෙන්නට සිංහල මුස්ලිම් ප්‍රජාව මෙහෙ ජීවත් වෙනවා. කෘෂිකර්මාන්තයෙන් තමයි මේ පිරිස් ජීවත් වෙන්නේ. මොවුන් කළහකාරී නැහැ. ආගන්තුක සත්කාර හොඳට දන්නවා. ඔවුන් ඔවුන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. හොඳ දේවල් වගේම නරක දේවලුත් ඉක්මනට ලබා ගන්නා පිරිසකුත් මේ අතර ඉන්නවා.”

කාලයක් මේ පළාත්වල ගොවිතැන් කෙරුණේ නැහැ නේද ?

“ත්‍රස්තවාදින්ගේ ක්‍රියාකාරකම් තිබුණු කාලේ මිනිස්සු කුඹුරු කරන්න බයවුණා. ඔවුන් ඒ පැත්ත පළාතකවත් ගියේ නැහැ. ඊට හේතුව වුණේ කොටි ත්‍රස්තවාදීන් මේ ගම්මානවල අහිංසක වැසියන් මැරුවා. බස්වලට ගැහැව්වා. කුඹුරුවල වැඩ කරන ගොවියෝ මැරුවා. ඒ නිසා ඔවුන් තමන්ගේ කුඹුරු කරන එක අත් හැරියා. ත්‍රස්තාවාදී කලබල ඉවර වුණාට පස්සේ ඒ කුඹුරු නැවත කරන්න පටන් අරන්. දැන් ඒ අතහැරිය ප්‍රදේශවල යළි පදිංචි වෙලා තමන්ගේ එදි නෙදා කටයුතු බයක් සැකක් නැතිව කරගෙන යනවා”

කලක් මේ පළාත්වල සිවිල් ආරක්ෂක භටයන් විශාල පිරිසක් ගම්මාන ආරක්ෂාවේ යෙදුණා. දැන් කොටි කලබල නැති නිසා ඔවුන් කරන රාජකාරිය කුමක්ද ?

“ඔවුන් දැන් ආරක්ෂක රාජාකාරි කරනවා අඩුයි. ඔවුන් නොයෙකුත් ව්‍යාපෘතිවලට සම්බන්ධ කරගෙනයි ඉන්නේ. ගඩොල් කැපීමේ ව්‍යාපෘති, බඩ ඉරිඟු වැවීම්, වගේ නොයෙකුත් දේවලට සම්බන්ධ වෙලා ඔවුන් රජයට විශාල ආදායමක් ලබා දෙනවා.”

අපරාධ වාර්තාවීම කොහොමද ?

“අපරාධ විසඳීම අතින් අපි 98% ක ප්‍රතිශතයක ඉන්නේ . මේ මාස හයට දේපළ පිළිබඳ පැමිණිලි 18කුත් ශරීර පිළිබඳ පැමිණිලි 4කුත් තිබුණා. ඔක්කොම විසි දෙකක්.” ත මහ පරිමාණයේ අපරාධ වාර්තා වීමක් නැහැ නේද? “ඇත්තෙන්ම නැහැ. මෙහෙ වැඩිපුරම තියෙන්නේ පවුල් ආරවුල් ඉඩම් ආරවුල් වගේ දේවල්. ඒවා හරියට සාධාරණව විසඳන්න ඕන. නැත්තම් ගහමරා ගැනීම් දක්වා දුර දිග යන්න පුළුවන්.”

අපරාධ වාර්තාවීම අවම කිරීමට ඔබ ගන්නා ක්‍රියාමාර්ගය ගැන කිව්වොත් ?

“අපරාධයක් සිදුවීම වළකාගන්නට තමයි මම ක්‍රියාකරන්නේ. දිනපතාම මම ඊට අදාල නිලධාරීන් ඒ සඳහා යොමු කරනවා. වරෙන්තු කරුවන් ඉන්නවානම් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කණ්ඩායමක් යවනවා.

එදිනෙදා වෙන සුළු පැමිණිලි කීයද ?

ඒවා හොයලා බලලා ඒවාට නිලධාරීන් පිටත් කරලා යවනවා. හවසට ඒ නිලධාරීන් කොපමණ පැමිණිලි විසඳා අවසන් කළා ද කියලා මට කියන්න ඕන. ඒ ගැන මම පස්සෙන් ඉන්නවා. ඔවුන් අධික්ෂණය කිරීම තුළින් රාජකාරිවල ඵලදායිතාවය වැඩිවෙනවා.”

ළමා අපචාරත් වාර්තා වෙනවා නේද ?

“ළමා අපචාර ටිකක් වැඩියි. ඒ නිසා සිවිල් ආරක්ෂක කමිටු මගින් දෙමාපියන් හා දරුවන් ගම්මානවලදීම දැනුවත් කිරීම් කරනවා. ඒ සඳහා නොයෙකුත් වැඩ සටහන් කරනවා.”

‘ගමට පොලිසිය’ වැඩසහන සාර්ථක ක්‍රමයක්ද ?

“ඇත්තෙන්ම ඔව්. පොලිස්පතිතුමාගේ සංකල්පයක් යටතේ තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ගමටම ගිහින් පැමිණිලි විසඳීමේ ක්‍රමයක්. ඒ නිසා ගමේ අය පොලිසියට එන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ගමට ගිහින් ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා. ඔවුන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය, ක්‍රීඩා වගේ ක්‍රියාකාරකම් නංවාලන්න වැඩ සටහන් කරනවා. ඒ වැඩසටහන් තුළින් වසමේ දුප්පත්ම පවුල් දෙකකට නිවාස දෙකක් හදලා දෙනවා. එකක් මැදවච්චිය හංදියේ. අනෙක තිරප්පන්කඩවල කියන ප්‍රදේශයේ්. එකක් එක පවුලකට ලබලා දුන්නා. අනෙක පොලිස්පතිතුමා අතින් ලබා දෙන්න සුදානම් කරලා තියෙනවා.”

මෙවන් සේවයක් කිරීම නිසාද හොරොව්පතාන පොලිසියට ඵලදායිතා සම්මානයක් ලැබුණේ ?

“ඇත්තෙන්ම ඔව්. 2016 ජනවාරියේ මම හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස වැඩ බාරගත්තට පස්සේ ඵලාදයිතා ලේකම් කාර්යාලය මගින් පවත්වනු ලැබු අන්තර් දෙපාර්තමේන්තු අතර තරගයෙන් ලංකාවේ ප්‍රථම ස්ථානය අපිට ලැබුණා. ඒක තවම කිසිම පොලිසියක් අරන් නැහැ.” අනෙක 2016 ජපන් ඉ5 තරගාවලියේදී විශේෂ ඇගයීම් සම්මානයකුත් ලැබුණා. මේ අවුරුද්දෙත් අපි තවත් සම්මාන දෙකකට මුහුණ දෙනවා. ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් පවත්වන ස්වර්ණ සංඛ සම්මානයට අපි තරග වදිනවා. 2016 වසරේ තේරුණු දහ දෙනා අතරින් ප්‍රථම ස්ථානය තෝරාගන්නවා.”

මෙවන් සම්මානයක් ලබාගන්න ඔබ කළ කාර්යභාරය කුමක්ද ?

“මේ පළාත්වල මිනිස්සු හරිම අහිංසකයි. ඔවුන් පොලිසියට එන්නේ කිසියම් සාධාරණයක් ඉෂ්ට කරගන්න. ඒක ඉක්මනින් ඉෂ්ට කරදීම තමයි අපේ කාර්යභාරය. ඒවා තමයි මේ සම්මානය ලබාගන්න හේතු වුණේ.”

තවත් හේතු තියෙනවද ඕකට ?

“ඒ වගේ තවත් හේතු තියෙනවා. මේ පළාත්වල දරුවන්ට නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. ළමා අපචාර ඇතිවෙන්න ඒවත් හේතු වෙනවා. දරිද්‍රතාවය, නුගත්කම, මාපියන්ගෙන් ඈත්වීම වගේ දේවල් වලින් මොවුන් පීඩා විඳිනවා. ඒ ප්‍රශ්න කියාගන්න බැරි ඉන්න දරුවන් කොටසකුත් මේ අතර ඉන්නවා. අපි ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කළා. අපි මේ හැම ළමයකුටම ලියුම් කවර දෙක දෙක දුන්නා. අපේ ගාව ඒ ලියුම් කවර වල ඉන්ඩෙක්ස් අංකයක් තිබුණා. අපි ඒ ළමයින් දැනුවත් කරලා කිව්වා ඔයාලට යම්කිසි විසඳගන්න නොහැකි ප්‍රශ්නයක් හෝ පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා නම් කොලයක ලියලා මේ ලියුම් කවරවලට දාලා ඉස්කෝලේ තියෙන පෙට්ටියට දාන්න කියලා. පන්තියේ, අම්මා තාත්තගෙ, සහෝදරයන්ගෙන්, අසල් වාසින්ගෙන් ,වෙන කරදරයක් ,හිරිහැරයක් , පීඩාවක් වුණත් කමක් නැහැ ඔයාලගේ නම් ගම් ලියන්න ඕන නැහැ. කවුරුත් දැනගන්න විදියක් නැහැ. ඔයාලගේ ප්‍රශ්න ලියලා මේ පෙට්ටියට දාන්න කියලා.” ” ඒ ළමයි කියාගන්න බැරිව තිබුණු ප්‍රශ්න ලියලා අපි දුන්න ලියුම් කවර වල දාලා ඒ පෙට්ටයට දාලා තිබුණා. අපි සතියකට සැරයක් ගිහින් ඒ පෙට්ටිවල තියෙන ලියුම් අරන් ළමයාගේ අනන්‍යතාවයට ගැටලුවක් නොවන විදියට ඒ ප්‍රශ්න විසඳලා දුන්නා. ඒක සාර්ථක ක්‍රමයක් වුණා. ” ” කොටින්ම කියනවා නම් සමහර ළමයි ලියලා තිබුණා අනුරාධපුරය ශ්‍රී මහා බෝධියවත් දැකලා නැහැ කියලා. තව ළමයෙක් ලියලා තිබුණා. “අනේ පොලිසියේ මාමේ මම හුඟාක් දුර ඉඳලා ඉස්කෝලෙට එන්නේ. මට බයිසිකලයක් අරන් දෙන්න කියලා. “අපි ඒ ළමයට ඒක අරන් දුන්නා.”

හොරොව්පතානට එන්න කලිනුත් ඔබ සම්මාන ලබාගත්තා නේද ?

“මම දැනට පොලිස් දෙපාර්තමේන්තුවට සම්මාන 9ක් ලබලා දීලා තියෙනවා.”

ඒ මතකය අවදි කළොත් ?

“2013 දී මම සෙට්ටිකුලම් පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කරනකොට ලංකාවේ හොඳම දොපාර්තමේන්තුවට හිමි ජපන් ජස්ටිකා ඉ5 අපි ලබාගත්තා. “2013 අන්තර් දෙපාර්තමේන්තු ඵලදායි තරගාවලියෙන් තුන්වන ස්ථානය මම ලබාගත්තා. එතකොට මම සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා. ඒ වසරේම ඉ5 ජපන් ජස්ටිකා තරගාවලියෙන් දෙවන ස්ථානයට සපුගස්කන්ද පොලිසිය තේරුණා.” “2014 ඵලදායිතා සම්මානයේ දෙවන ස්ථානය ලැබුණා.. එතකොටත් මම සපුගස්කන්දේ ඕ.අයි.සී.” “2014 ජපන් ජස්ටිකා දෙවන ස්ථානයත් සපුගස්කන්ද පොලිසියට ලැබුණා.” “2016 දී හොරොව්පතාන පොලිසිය අන්තර් දෙපාර්තමේන්තු තරගයෙන් හොඳම සම්මානය ලබාගත්තා.” “2016 ජපන් ජස්ටිකා ඇගයීමේ සම්මානය ලබාගත්තා.” “පොලිස් දෙපාර්තමේන්තුවට 150 වසර පිරිම නිමිත්තෙන් පවත්වන ලද තරගයකින් ලංකාවේ හොඳම පොලිසියට හිමි සම්මානය හොරොව්පතාන පොලිසියට ලැබුණා”

මෙවන් ක්‍රියා වලින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද ?

“මහජනයාට අවංකව සාධාරණව සේවය කිරීමයි. මෙතෙක් කල් ඒ සේවය හරියට කළා කියලා මට සතුටු වෙන්න පුළුවන්. අනාගතයේ බලාපොරොත්තු වෙන්නේ මහජන සේවය අවංකව ඉටු කිරීමයි.

(කීර්ති මෙන්ඩිස්)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();