Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විවාහ වෙනවද විනාශ වෙනවද..... ?



විවාහය පිළිබදව අවසන් තීරණයක් ගැනීමේහිදී ජ්‍යොතිෂයේ පිහිට පැතීම බොහෝ දෙනෙකුගේ සිරිතකි. ඒ ආකාරයෙන් දෙදෙනාගේ කේන්දර පරික්ෂා කිරීමත් ඔවුනොවුන්ගේ ගැලපීම් නොගැලපීම් විභාග කිරීමත් විවාහයට සුදුසු කාලය තීරණය කිරීමත් යනාදිය සදහා කේන්දර පරික්ෂාව සිදුකිරීම බෙහෙවින්ම ප්‍රයෝජනවත් වන බවට විවාදයක් නැත. එහෙත් නිසි ශාස්ත්‍රීය ක්‍රමවේදයකින් නිසි උපදෙස් නොලැබී ගියහොත් විවාහයට කේන්දර බැලීම පවා විනාශයක් විය හැකි බව ද රහසක් නොවේ.

දෙදෙනකු අතර ගැලපීම් නොගැලපීම් පිරික්සීම සදහා විසි පොරොන්දම නම් ප්‍රායෝගික නොවූ ද අශාස්ත්‍රීයවූ ද විහිළුකාරවූ ද එමෙන්ම භයානක වූ ද ඇබ්බැහිය මේ වන විට තරුණ පරම්පරාව අතරින් කෙමෙන් කෙමෙන් අභාවයට යනු දක්නට ලැබීම සතුටකි. එහෙත් අන්ධ විශ්වාසයන්ගෙන් යුතු වු උභය පාර්ශ්වයේ දෙමාපියන් හා වැඩිහිටියන් තවමත් එකී පොරොන්දම් බොරුව පසුපස දුවන අයුරු දකින්නට ලැබේ. තනි වැකියකින් කිවහොත් මෙරට භාවිත කරන විසි පොරොන්දම යනු අමුම අමු විහිළුවකි.

දෙදෙනකු අතර, පවතින ගැලපීම් හා නොගැලපීම් පරීක්ෂා කිරීම සදහා සියලුම ජ්‍යොතිෂ ක්‍රමයන් තුළ පිළිගත් ප්‍රායෝගික ශාස්ත්‍රීය ක්‍රමවේදයන් පවතී. මෙවර ලිපියෙන් අප අපේක්ෂා කරන්නේ එවැනි එක් ක්‍රමවේදයක් හදුන්වා දීමටයි. අපි මුලින්ම ටොලමියානු ජොතිශයට අනුව විවාහය යනු කුමක්දැයි නිර්වචනය කරමු. ඒ අනුව කිසියම් දෙදෙනකු අතර යටත් පිරිසෙයින් සූර්ය මාස 12ක් එකිනෙකා අත නොහැර තුන්වැන්නකුගේ මැදිහත් වීමකින් තොරව කායික හා මානසික ඇසුරක් පවතින්නේද එවැනි අවස්ථාවක් විවාහය ලෙස හඳුනාගත හැකිය. ඕනෑම පුද්ලගයෙකුගේ කෙන්දරය තුළ විවාහය සදහා උපස්ථම්භක වන භාවස්ථාන තුනක් පවති. ඒවා නම් කෙන්දරයේ 5 වැන්න 7 වැන්න සහ 12 වැන්න වේ.

ඕනෑම පුද්ගලයෙකුගේ කෙන්දරයේ 5 වැන්නෙන් ප්‍රේමය, අනුරාගය, විරුද්ධ ලිංගිකයා කෙරෙහි ඇති ආකර්ශනය, සංවේදී බව, ශෘංගාරාත්මක බව, යනාදිය නියෝජනය වේ. එසේ ප්‍රේමයෙන් බැඳුණා වූ දෙදෙනකු අතර හට ගන්නා වු ගිවිසුම -විශ්වාසය- පොරොන්දුව- සහ කලත්‍රයාගේ ස්වභාවය යනාදිය 7 වැන්නෙන් නිවේදනය වේ. 7 වැන්නෙන් පොරොන්දු පරිදි විවාහ ගිවිස ගත්තා වු එකී සහකරු හා සහකාරිය අතර හට ගන්නා අඹු සැමි කායික සම්බන්ධයේ ස්වාභාවය හෙවත් මංගල යහන 12 වැන්නෙන් නිවේදනය වේ. තව ලෙසකට කිවහොත් යුවතිපතීන්ගේ ලිංගික ජිවිතය 12 වැන්න තුළින් නිරූපණය වේ.

අංග සම්පුර්ණ ප්‍රීතිමත් සහ සාර්ථක විවාහයක් නම් ඉහත කී භාවස්ථාන තුනෙන් නිවේදිත කරුණු සියල්ලම නිසි ලෙස පැවැතිය යුතුය. එහෙත් විවාහ වන දෙදෙනකු අතර එකී සාධක තුනම එක විට නිසි ලෙස පවතින්නේ බහුතර ප්‍රතිශතයකින් නොවේ. ඇතැම් විවාහ ජිවිතවල එක්කෝ එකී විවාහය පවතින්නේ ඉහත කී සාධක එකක් හෝ දෙකක් මතය. කේන්දරයේ 5 වැන්නෙන් නිවේදනය වන පරිදි ප්‍රේමය අනුරාගය විවාහයට ප්‍රථම උතුරා පිටාර ගලා යන්නා නමුත් විවාහ වී කාලයක් ගතවන විට එකී ස්වභාවය හීන වී ගොස් 7 වැන්නෙන් හා 12 වැන්නෙන් නිවේදිත කාරණා අනුව විවාහය පවති. නො එසේනම් 12 සහ 5 හා යන භාවස්ථානවලින් නිවේදිත කරුණු සියල්ලම හීන වී ගොසින් ඇති අවස්ථාවක 7 වැන්නෙන් නිවේදිත කරුණ මත පමණක් විවාහය පවතින අවස්ථාවන්ද දක්නට ලැබේ. තව ලෙසකට කිවහොත් එවැනි විවාහයක් තුළ ප්‍රේමය සහ ලිංගික ජිවිතය යන දෙකම අහිමි වී ඇති නමුත් ලෝක සම්මතයට පවතින කසාද සහතිකය නම් නීතිමය බැඳීම නිසා පමණක් පවති. එසේත් නැතිනම් 7 වැන්නෙන් තොරව 5 සහ 12 මුල්කොට ගත්තා වු විවාහයන්ද දක්නට ලැබේ.

ඉහත කරන ලද විස්තර කිරීමට අනුව අපේ සමාජයේ පවතින්නා වු විවාහ සම්බන්ධතාවල ස්වභාවය ඔබටම අත්දකින්නට පුළුවන. සමාන්‍යයෙන් විවාහය සදහා සහකරුවෙකු හෝ සහාකාරියක තෝරා ගැනීමේදී අනුගමනය කළ හැකි සරල ක්‍රමවේදයක් හදුන්වාදීමට කැමැත්තෙමු. ඔබ උපන්නේ යම් ලග්නයකින්ද එකී ලග්නයෙන්ම උපන් කලත්‍රයා සුදුස්සකු ලෙස තෝරා ගැනීමට ඉඩ තිබේ. ඔබේ ලග්නයෙන් 3 7 සහ 11 යන ස්ථානයකට වැටෙන රාශියක් ලග්නය කොට උපන් අය ද සලකා බැලිය යුතු කලත්‍රයෙක් වෙයි. එසේම ඔබ උපන් ලග්නයේ සිට 5 සහ 9 යන රාශියකට වැටෙන ලග්නයකින් උපන් අයද සහකරුවා හෝ සහකාරිය ලෙස සදහා තෝරා ගැනීම උචිතය. එහෙත් ඔබ උපන් ලග්නයේ සිට 6 8 සහ 12 යන රාශියක් ලග්නය කොට උපන් අයෙකු ඔබේ කලත්‍රයා ලෙස තෝරා ගැනීමේදී ඉතා සැලකිලිමත් විය යුතුව තිබේ. ඉහත කී අවස්ථා දෙකේ දීම තුටු මතින් කෙනෙකු විවාහය සදහා උචිත හෝ අනුචිත වන බවක් අදහස් නො කෙරෙන අතර, ඉහත දක්වා ඇත්තේ සරල මාර්ගෝපදේශයක් පමණක් බව සැලකිය යුතුයි.

විවාහයක් සඳහා දෙදෙනකු ගැලපෙන්නේද නො ගැල පෙන්නේද යන්න තීරණය කළ යුත්තේ එම දෙදෙනාගේම කේන්දර දෙක ගැඹුරින් සංසන්ධනාත්මකව පිරික්සීමෙනි. එහෙත් පොරොන්දම් බැලිම නම් විහිළුකාර ක්‍රමය තුළ එවැනි ශාස්ත්‍රීය ගැඹුරු පිරික්සීමක් සිදුවන්නේ නැත. නොගැළපෙන දෙදෙනකු ගැලපෙන බව කීම සහ හොදින් ගැලපෙන දෙදෙනකු නොගැලපෙන බව ප්‍රකාශ කිරීම බොහෝ විට පොරොන්දම් බැලීම තුළ සිදුවේ. විවාහ වු සැණින් ඔවුන් දික්කසාද වීම සදහා මාර්ග සොයන්නේ එහෙයිනි. විවාහය සදහා දෙදෙනකුගේ උචිත අනුචිත බව තීරණය කිරීමේදී අත්‍යවශ්‍යෙයන්ම සලකා බැලිය යුතු කරුණු කිහිපයක් වේ. එයින් පළමුවැන්න වන්නේ එම දෙදෙනාගේ මනස සහ චිත්ත වේගයන් කෙසේ දැයි පරීක්ෂා කර බැලීමය. දෙවැන්න වන්නේ එම දෙදෙනාගේ ලිංගිකමය ස්වභාවය පරික්ෂා කිරීමයි. තුන්වැනි අත්‍යවශ්‍ය කරුණ වන්නේ එම දෙදෙනාගේ එක්වීම කොතෙක් කල් පවතීද යන්න සොයා බැලීමයි.

ඉහත කී කරුණුවලට ආනුශංගිකව එම දෙදෙනා පිළිබඳව අනිවාර්යෙන්ම පිරික්සා බැලිය යුතු තවත් සාධක ගණනාවක් තිබේ. නිදසුනක් වශයෙන් ගත්කළ ඇතැම් විවාහ ජිවිත අසාර්ථක වී තිබෙන්නේ එම දෙදෙනා තුළම පවතින නොගැළපීමක් නිසා නොව නැන්දා සහ මාමා ආදී බාහිර ප්‍රශ්න උද්ගත වීමෙනි. එවැනි අවස්ථා එම දෙදෙනාගේ කේන්දරයේ 6 වැනි භාවස්ථානයෙන් පරික්ෂා කළ යුතුය. තවත් විවාහ ජිවිත අසාර්ථ වී තිබෙන්නේ දරුඵල සම්බන්ධයෙන්ය. ඔවුනොවුන්ගේ සරු නිසරු භාවය පස්වැන්න සහ හයවැන්න තුළින් පරික්ෂා කළ යුතුය.

මේ ආදී වශයෙන් දෙදෙනකු අතර ගැළපිම් නොගැළපීම් පරික්ෂා කිරීමේදී මුලින්ම කළ යුතු වන්නේ එකී සම්බන්ධයේ ශක්තිමත් ස්ථාන සහ දුර්වලම ස්ථාන මොනවාදැයි හදුනාගැනීමයි. දෙවනුව එකී ශක්තිමත් හා දුර්වලම ස්ථානවල පවතින තීව්‍රතාව කොතෙක් දැයි පිරික්සා කිරීම වැදගත් වෙයි. උදාහරණයක් වශයෙන් දරුඵල ලැබීම පස්වැන්නෙන් කියන නමුත් ස්ත්‍රී කේන්දරයක ගර්භාෂය නිවේදනය වන්නේ 6 වැන්නෙන්ය. එකී හයවැන්න දුර්වලව පවතී නම් එය දරු සම්පත් ලැබීමට බාධාවක් වන නමුත් එකී බාධාව ඉවත් කළ හැකිද නොහැකිද යන්න සොයා බැලිය හැකිය. එම දෝෂය ඉවත් කළ හැකි මට්ටමක පවතී නම් ඒ සදහා වු චිකිත්සාවන් නිර්දේශ කරනු මිස ඔවුන් දෙදෙනා විවාහය සදහා නොගැළපෙන්නවුන් ලෙස තීන්දු කිරීම අමනෝඥ ක්‍රියාවකි.

මතුපිටින් විවාහ දෝෂ හෝ විවාහ නාශක ග්‍රහ පිහිටීම් ලෙස පෙනෙන අවස්ථාවන්ගෙන් 60% ට වැඩි ප්‍රමාණයක් ඉතා පහසුවෙන් ඉවත් කළ හැකි දෝෂයන් වේ. ඇතැම් අවස්ථාවක මතුපිටින් බරපතල විවාහ දෝෂයක් ලෙස පෙනීයන අවස්ථාවක් ගැඹුරින් සියුම් ලෙස පරික්ෂා කරන විට පෙනී යන්නේ ඇත්තෙන්ම එහි විවාහ දෝෂයක් නොමැති බවයි. බොහෝ ප්‍රේම සම්බන්ධතා හට ගන්නේ පුර්ව කේන්දර පරික්ෂාවකින් තොරවයි. එහෙත් ඔවුන් දෙදෙනා විවාහ වීමට යන අවස්ථාවේදී කේන්දරය බලන විට හෙණ ගහන්නාක් මෙන් ඒ දෙදෙනා නො ගැළපෙන බව ප්‍රකාශ කිරීම ඛේදවාදචකයෙකි. මෙවැනි අවස්ථා වෘත්තිය වශයෙන් අපි බහුලව අත්දකිමු. එහෙයින් විවාහයට කේන්දර බලන්නේ නම් එය හරියටම කළ යුතුය. නො එසේනම් තමාගේ අභිමතය අනුව ක්‍රියා කිරීම ඊට වඩා උචිත වේ.

කේ සී ජේ රත්නායක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();