විවිධ හේතූන් නිසා වාහනයක ඉන්ධන කාර්යක්ෂමතාව අඩු විය හැකිය. එවිට නිතර නිතර ඉන්ධන මිලදී ගැනීමටත්, ඒ සඳහා විශාල මුදලක් අමතරව වියදම් කිරීමටත් සිදු වේ. පූර්ණ දහනයකට ලක් නොවූ ඉන්ධන නිසා කළු දුම ඇති වේ. එමෙන්ම ඉන්ධන දහනය හරි හැටි නොවීම පරිසරයටද බෙහෙවින් අහිතකර වේ. ඉන්ධන අකාර්යක්ෂමතාවට හේතු වන බොහෝ දේ අපට පහසුවෙන් නිවැරදි කරවා ගත හැකිය. ඉන්ධන කාර්යක්ෂමතාව අඩු වන ආකාරයත් එය ඉහළ නංවා ගත හැකි ආකාරයත් අපි අද රථවාහන සායනය තුළින් දැන ගනිමු.
වාහනය ධාවනය කිරීමේදී තිරිංග ක්‍රියාත්මක කරද්දි (බ්රේක් ගහද්දි) වාහන දෙකක් අතර නිසි පරතරයක් තබාගත යුතුය. ඉන්ධන අවම වශයෙන් භාවිතයට ගැනීමට නම් නිසි වේගයක් පවත්වා ගනිමින් ධාවනය කළ යුතුය. බොහෝදෙනෙක් කරනු ලබන වරදක් ලෙස වේගයෙන් රථය ධාවනය කර තිරිංග ක්‍රියාත්මක කර නැවතත් වේගයෙන් ධාවනය කිරීම ගත හැකිය.
ඉන්ධන අවම වශයෙන් වැය වීමට නම් පල්ස් ඇන්ඩ් ග්ලයිඩ් ක්‍රමය භාවිතා කළ හැකිය. වාහනය ස්ටාර්ට් කර යම් කිසි වේගයකට ක්‍රියාත්මක කර ඇක්සලේටර් පැඩල් එක නිදහස් කළ යුතුය. නිදසුනක් ලෙස ආර්.පී.එම් අගය අංශක හැටකට ක්‍රියාත්මක කර තිබුණි නම් එය බිංදුවක් දක්වා අඩු කර ධාවනය කළ යුතුය. ඉන්පසු ධාවනය කරන අතරතුර නැවතත් ඇක්සලේටර් පැඩල් එක පාගා ආර්.පී.එම් අගය අංශක තිහක පමණ ප්‍රමාණයක තබාගෙන ධාවනය කිරීමෙන් ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිකර ගත හැකිය.
ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිකර ගැනීමට නඩත්තුව නිසියාකාරව කිරීම සිදුකළ යුතුය. ඒ සඳහා ටැංකියේ ඉන්ධන ප්‍රමාණය ලීටර් දහයක මට්ටමේ පවත්වා ගත යුතුය. එයට හේතුව ඉන්ධන අවම වීමේදී ටැංකියේ වාෂ්ප පිරේ. වාෂ්ප ඉතිරිවෙන ප්‍රමාණය අඩුකර ගැනීමට නම් ටැංකියේ ඉන්ධන අඩු නොවී තිබිය යුතුයි.
ඒ/සී (A/C) භාවිතා කරනු ලබන සෑම වාහනයකම ඔටෝ ඒ/සී පද්ධතිය ක්‍රියාත්මක කර තිබිය යුතුය. එවිට අපට අවශ්‍ය උෂ්ණත්වය තෝරා ගැනීමක් කළ හැකි අතර එම උෂ්ණත්වය නිරතුරුව පවත්වා ගැනීමෙන් ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ නංවාගත හැකිය.
පෙට්‍රල් වාහනයක නම් සිලින්ඩර් තුළට සැපයෙන පෙට්‍රල් සහ වාතය දහනය වීමට පුළිඟුවක් (ස්පාර්ක්) අවශ්‍ය වේ. මෙම පුළිඟුව ලබාදෙනුයේ ස්පාර්ක් ප්ලග් (පුලිඟු පේනුව) එක මඟිනි. දෝෂ සහිත ස්පාර්ක් ප්ලග් නිසි වෙලාවට පුළිඟුව ලබා නොදෙයි නම් එන්ජිමේ ක්‍රියාකාරීත්වය සැලකිය යුතු ලෙස අඩාල වේ. එවිට අනිවාර්යෙන්ම ඉන්ධන කාර්යක්ෂමතාවත් අඩු වේ.
වාහනයේ එන්ජිම පණගන්වා එක තැන නතර කරගෙන සිටීම ඉන්ධන කාර්යක්ෂමතාව අඩු වීමට තවත් හේතුවකි. උදෑසනට එන්ජිම රත් වීමට යයි කියා බොහෝ වෙලාවක් පණ ගන්වා තැබීම සමහරුන් කරන දෙයකි. වාහනයක් රත් වීමට තත්පර 30ක කාලයක් වුවද ප්රමාණවත්ය. ඔබ ඉන්ධන නාස්තිය ගැන සිතන්නෙකු නම් තවත් අයෙකු පැමිණෙන තුරු හෝ වායු සමීකරණය ක්‍රියාත්මක කරවීම සඳහා හෝ වාහනය පණ ගන්වාගෙන තැබීම කොහෙත්ම නොකළ යුතු දෙයකි. එවැනි අවස්ථාවක වාහනය අක්‍රීය කර නියුට්‍රල් කර තබන්න. එමගින් ඉන්ධන නාස්තිය මෙන්ම පරිසරයට අහිතකර වායුන් නිදහස් වීමද වළක්වාලනු ඇත.
ඉන්ධන කාර්යක්ෂමතාවට එන්ජින් ඔයිල් වර්ගයද වැදගත් වේ. අපි භාවිතා කරන එන්ජින් ඔයිල් වර්ගය වාහනයේ නිෂ්පාදකයා සඳහන් විස්කෝසිටි (දුස්ස්‍රාවිතාව) එකෙහි ප්‍රමිතිය තිබිය යුතුය. මිල අඩු එන්ජින් ඔයිල් භාවිතයෙන් සිදු වන්නේ ඉන්ධන කාර්යක්ෂමතාව අඩු වීමයි.
එමෙන්ම අපි භාවිතා කරනු ලබන එයාර් ෆිල්ටර් (Air Filter) මාරු කිරීම නිසි කාලයට කළ යුතුය. එමෙන්ම එම එයාර් ෆිල්ටර් වර්ගය නිසි ප්‍රමිතියෙන් යුතු (Genuine) විය යුතුය.
වාහනයක ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම සඳහා නිසි කාලයට එන්ජින් ටියුන්-අප් එකක් සිදු කිරීමත් නිසි කාලයේදී එන්ජින් කූලන්ට් (සිසිලන ජලය මාරු කිරීම) මාරු කිරීම කළ යුතුය.
0 Comments