“මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විදියට පත් කළේ නඩු අහමින් හිටපු මොහාන් පීරිස්. ඒ විතරක් නෙවෙයි, ඔහු එම පත්වීමට කලින් සෙලාන් බැංකුවේ සභාපති. බැංකුවක සභාපති කෙනෙක් අගවිනිසුරු වෙනවා. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක නෙරපලා තමයි ඔහු පත් කළේ” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු මේ බව පැවැසුවේ පෙරේදා (13 වෙනිදා) කොළඹ මහජන පුස්තකාලයේ පැවැති ‘ශිෂ්ටත්වය වෙනුවෙන් සම්මත කළ යුතු "20"’ සම්මන්ත්‍රණයට එක්වෙමිනි.
අනුර දිසානායක මහතා එහිදී මෙසේද පැවසීය.
“විස්සේ ප්‍රධාන අරමුණ අපේ රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කර ගැනීමයි. සමහරු අහනවා මේ වෙලාවේ ප්‍රධාන ප්රශ්නය ඒකද කියලා. අපේ රටේ ජාතිවාදය වෙනුවට ජාතික සමඟිය වෙනුවෙන් අරගලයක් ඕනෑ. ආර්ථිකය කඩා වැටිලා, රුපියල කඩා වැටිලා, 2019 ඩොලර් බිලියන 4.5ක ණයක් ගෙවන්න සිදු වෙනවා. ඒවා ගෙවන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ ආණ්ඩුව ගෙනි යන විනාශකාරී ආර්ථිකයට එරෙහිව අරගලයක් කළ යුතුව තිබෙනවා. සමාජ අපරාධ වැඩි වෙලා, රිය අනතුරු වැඩි වෙලා. සියදිවි නසාගැනීම් වැඩි වෙලා. එම නිසා ක්ෂේත්‍ර ගණනාවකම අපිට අරගලයක් තියෙනවා. ඒ හා සමානව ප්රජාතන්ත්රවාදය දිනාගැනීම වෙනුවෙන් අරගලයක් තිබෙනවා. සමහරු අපෙන් අහනවා ප්රජාතන්ත්රවාදය කන්නද කියලා. ඇත්ත කතාව. ප්රජාතන්ත්රවාදය බිඳවැටීම මත අනෙක් සියල්ලත් රඳා පවතිනවා. අපේ රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට ප්‍රධාන බාධාව වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයයි. දැන් සමහරු කියන ආකාරයට විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීම දේශප්‍රේමී වෙලා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම දේශද්‍රෝහී වෙලා.
“අධිකරණ පද්ධතිය ස්වාධීන නැහැ. විධායක ජනාධිපති විසින් ඒ බලය යටපත් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වෙන්නේ ඒ මොහොතේ ක්ෂේත්රයේ ඉන්න ජ්‍යෙෂ්ඨයායි. නමුත් මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විදියට පත් කළේ නඩු අහමින් හිටපු මොහාන් පීරිස්. ඒ විතරක් නෙවෙයි, ඔහු එම පත්වීමට කලින් සෙලාන් බැංකුවේ සභාපති. බැංකුවක සභාපති කෙනෙක් අගවිනිසුරු වෙනවා. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක නෙරපලා ඔහු පත් කළේ. ආණ්ඩුවට ඕන නම් නීතිපතිගෙන් මතය ලබාගන්න පුළුවන්. ආණ්ඩුවේ නීති උපදේශකයා නීතිපතියි. ඔහුගෙන් ලැබෙන මතය අභියෝග කරන්න ජනතාවට අයිතියක් තිබෙන්න ඕනෑ. ඒ නිසා 20 වැනි සංශෝධනය මඟින් අපි යෝජනා කරනවා ජනාධිපති සමාව දිය යුත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුවයි කියල.
“මේ අධිකාරි බලය වෙනස් කළ යුතුයි. ඇත්තටම අද විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතුද නැද්ද කියලා විවාදයක් නැහැ. තිබෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න 20 කොයිතරම් සුදුසුද නැද්ද කියන එක විතරයි. ව්‍යවස්ථා සංශෝධන හදන්න ඒවාට වෙන්වූ විෂය ගැන දැනුමක් ඇති ආයතන තිබෙනවා. නමුත් 20 හැදුවේ ජවිපෙ සමඟ සම්බන්ධ වුණ පිරිසක්. ඒ නිසා 20හි සංශෝධන තියෙන්න පුළුවන්. 17, 18, 19 සංශෝධනවලටත් විශාල ලෙස අලුතින් සංශෝධන ඇතුළත් වුණා. 20ටත් එන්න පුළුවන්. නමුත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන විවාදයක් නැහැ. විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය වූ දිනයේ සිටම සියලුදෙනා එයට විරුද්ධ වුණා.
“අපිට චෝදනා කරනවා අපි කරන්නේ රනිල්ගේ කොන්ත්‍රාත්තුවක්ලු. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කාටවත් නටවන්න පුළුවන් පක්ෂයක් නෙවෙයි. කෑ ගහන අය තමයි අද ඔඩොක්කු කුක්කෝ බවට පත් වෙලා ඉන්නේ.
“කට්ටියක් කියනවා අපි විස්ස ගෙනාවේ ගෝඨාභයට බය නිසාලු. අපි එකක් කියන්න කැමැතියි. රජ්ජුරුවන්ට බය නැති ජවිපෙ දොරටුපාලකයන්ට කොහොමත් බය නැහැ. ඕනෑම සතුරෙක් අපි ඉදිරියේ තබාගෙන ඕනෑම තත්ත්වයක් යටතේ දේශපාලනය කරන්න ජවිපෙ අපි සූදානම්. විස්ස සම්මත වුණොත් ගෝඨාභයට ජනාධිපති වෙන්න බැරිලු. ඒක අපේ ප්‍රශ්නයක්වත් රටේ ප්‍රශ්නයක්වත් නෙවෙයි. ගෝඨාභයට ජනාධිපති වෙන්න බැරි නම් අගමැති වෙන්න අවස්ථාව දෙන්න මහින්දට පුළුවන්. ඒක පවුලේ අය බේරගන්න කියලා අපි කියනවා. අපි විස්ස ගෙනාවම ගෝඨාගේ පාර වැහෙන නිසා තමයි අද වීරවංශ, ගම්මන්පිල වගේ අය කෑගහන්නේ.
“අද විස්සට විරුද්ධ කිහිප දෙනෙක් ඉන්නවා. මේ සියලුදෙනාට තනියෙන් තරග කරලා මැතිවරණයක් දිනන්න බැහැ. හාමු කෙනෙක් ඕනෑ. ඒ තමයි විධායක ජනාධිපති ධුරය. ඒක අහෝසි වුණොත් 113ට වඳින්න ඕනෑ. ඊට වඩා පහසුයි එක හාමු කෙනෙකුට වඳින එක. ඒකට ජනාධිපතිවරණයක් ඕනෑ. ඒ ජනාධිපතිවරණයේදී තමයි තමන්ගේ නායකයාට තමන් හොඳම කුක්කා කියලා පක්ෂපාතීත්වය පෙන්වන්න පුළුවන් වෙන්නේ. හාමු දිනවමු කියලා ස්තෝත්ර කියන්න ඒ අයට එක් පුද්ගලයෙක් කෙනෙක් ඕනෑ.
“ඊට පස්සේ කියනවා ඇලෝසියස් වගේ අය ජනාධිපති පුටුවට එනවලු. ජනාධිපතිවරු සල්ලිවලට විකිණුණේ නැද්ද? චීන සමාගම්වලින් ශිරන්ති රාජපක්ෂගේ ගිණුම්වලට මුදල් ආවේ නැද්ද..? පුෂ්පා රාජපක්ෂගේ ගිණුම්වලට මුදල් ආවේ නැද්ද..? පුළුවන් නම් නෑ කියන්න. ඒ නිසා මුදලට විකිණෙන එක ව්‍යවස්ථාමය කරුණුවලින් වළක්වන්න බැහැ. ඒකට රටේ යහපත් දේශපාලන සදාචාරයක් හදන්න ඕනෑ. හොරකම් කරපු ඇමැතිවරුන්ට ඉල්ලා අස්වෙන්න පුළුවන් වෙන්නේ පුරවැසි සමාජයේ බලපෑම මතයි.
0 Comments