වන සතුන් පිළිබඳ නොමිනිස් ක්‍රියාකාරකම් අතුරින්, ඇස් අදහාගත නොහැකි ම්ලේච්ඡතම සිදුවීම වාර්තා වූයේ පෙරේදා ය. ඒ, කිලිනොච්චියේ අම්බාල්කුලම ප්‍රදේශයෙනි.
වනාන්තරයේ සිට දඩයමක් පසුපස පැමිණි කොටියෙක් පෙරේදා (21) උදෑසන අම්බාල්කුලම ගම්මානයට ඇතුළු වී තිබුණේ ය. මිනිසුන්ගේ ඇස ගැටුණු විගස ලැහැබක සැඟවී මුවාවීම කොටියාගේ සාමාන්‍ය චර්යාවයි. එලෙස වන ලැහැබේ සැඟවී සිටින කොටියා පිළිබඳ ආරංචිය ගම්වාසීන් අතර ඇසිල්ලකින් පැතිරී ගොසින් තිබිණි. ඒ කොටියා යළි වනාන්තරයට පන්නා දැමීමට ගම්වාසීහු ඉක්මන් වූහ. සටනක් මග හැර මුවාවී සිටින සතකු අසලට කලබලකාරී ලෙස ළඟාවීම ප්‍රතිප්‍රහාරයකට නිමිත්තකි. ඕනෑම බියපත් සතෙකු පිළිබඳ සොබා දහමේ නීතිය එයයි. එහෙත් ඒ ගැන තැකීමක් නොකොට කොටියා පන්නා දැමීමට තැත් කළ මිනිසුන්ට කොටියා දක්වා තිබුණේ ප්‍රචණ්ඩ හැසිරීමකි. කොටියාගේ සපා කෑමට ලක්ව අම්බාල්කුලම ගම්වාසීන් එකොළොස් දෙනකුට රෝහල්ගත වීමට සිදුව තිබුණේ ඒ නිසා ය.
මේ අතර ගම් වැදුණු කොටියෙක් මිනිසුන් සපා කතැ’යි යන පුවත කලාප වනජීවී කාර්යාලයටත්, කිලිනොච්චි පොලීසියටත් දැනුම් දෙන්නට ගම්වැසියන් පියවර ගෙන තිබුණි. එතැනට ළඟාවූ වනජීවී නිලධාරීන් කොටියා අල්ලා ගැනීමට දියත් කළ මෙහෙයුම අසාර්ථක වී තිබුණේ රොක් වී සිටි මිනිසුන්ගේ කලබල කිරීම් නිසා ය.
අවසානයේ කොටියා අල්ලා ගැනීමට පැය කිහිපයක මෙහෙයුමක් දියත් කළ වනජීවී නිලධාරීන් එතැනින් පිටව යන්නේ ගම්වැසියන්ගේ කලබලකිරීම් හමුවේ කොටියා අල්ලා ගැනීමට නොහැකි බවට චෝදනා කරමිනි.
ඉතිහාසයේ ම්ලේච්ඡතම සත්ව ඝාතන නාටකය ඇරඹෙන්නේ එතැන් පටන් ය. ගෙවල්වල තිබූ කැති, උදලු, පොලු අතට ගෙන කොටියා මරා දමන්නට සිය ගණනක් මිනිස්සු සංවිධානය වූහ. ලැහැබ පීරූ මිනිසුන්ගේ උදලු, කැති පහරවලට ලක්ව මීළඟ මොහොතේදී කොටියා ජීවිතක්ෂයට පත්විය. ඒ සත්ව ඝාතකයන්ගේ පහත් මානසිකත්වය කොතෙක්ද යත්, මරා දැමුණු කොටියා කරමත තබාගෙන ජයඝෝෂා නඟමින් ප්‍රීතිය සමරන්නට වූයේ අශිෂ්ට ගෝත්‍රිකයන් මෙනි. සමහරු මේ මුළු මෙහෙයුමම සිය ජංගම දුරකථනවලින් වීඩියෝගත කළහ. එතැන සිටි සියලු දෙනාම පාහේ මිය ගිය කොටියාගේ ලේ වැකුණු මළ සිරුර කර මත තබාගෙන වීරයන් සේ සෙල්ෆි පින්තූර ගෙන තිබිණ. ඔවුන්ම වීඩියෝ ගත කළ සජීවී රූප රාමු ජනමාධ්‍යය ඔස්සේ ලැව් ගින්නක් සේ පැතිර ගියේය.
කිලිනොච්චිය අම්බාල්කුලම් වැසියන් විසින් ම්ලේච්ඡ ලෙස මරා දැමුණේ ශ්‍රී ලංකාවට ආවේණික කොටි උපවිශේෂයක වැඩුණු සතෙකි. Panthera pardus kotiya නමින් වර්ගීකරණය කෙරුණු මේ වර්ගයේ සතුන් ශ්‍රී ලංකාවේ ඒකදේශිකයන් වන නිසා ම, ඔවුන් සියැසින් නරඹන්නට ලෝකය වටා සත්වප්‍රේමීහු මේ මනරම් දිවයිනට එති. ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධති තුනේම දැකගත හැකි වන මේ කොටියා වඳවී යෑම පිළිබඳ අන්තරායට ලක්වූ සංරක්ෂිත සත්වයෙකි. Panthera pardus kotiya ගේ විශේෂත්වය වන්නේ ඌ ස්වභාවික වනාන්තර පද්ධතිවල පමණක් වාර්තා වීම ය. ගම්වැදීම සහ ගම්බිම් ආශ්‍රිතව ලැබෙන ආහාරවලට හුරුවීම මේ සතාගේ හැසිරීමක් නොවේ. එසේ වී නම් මේ කිලිනොච්චියේදී මරා දැමුණු කොටියා අම්බාල්කුලම ගම ආශ්‍රිත ලැහැබට පැමිණෙන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි.
ඒ පිළිබඳ ව පරිසරවේදී සජීව චාමිකර මහතා දක්වන්නේ මෙවන් අදහසකි. “කිලිනොච්චි කොටියා දඬුමුගුරුවලින් පහර කාලා මිය ගිහින් ඉවරයි. නමුත් අපි මේ සතා ගම පැත්තට ආවේ ඇයි කියන එක හිතා බලන්න ඕන. මේ වෙනකොට මේ ප්‍රදේශයේ මහා පරිමාණ වනාන්තර එළි කිරීමක් සිදුවෙනවා. ඒ හේතු කිහිපයක් නිසයි. අලුත් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන්, අලුත් ජනාවාස වෙනුවෙන්, නගර සහ පාරවල් නිර්මාණය කිරීම වෙනුවෙන් සහ බඩඉරිඟු සහ කෙසෙල් වැනි මහා පරිමාණ වාණිජ වගා බිම් තැනීම වෙනුවෙනුයි මේ කැලෑ එළි කරන්නේ. කැලෑව කියන්නේ කොටියාට අයිති බිම. මිනිස්සු තමයි ඒ සීමාව බලෙන් ආක්‍රමණය කරන්නේ. දඩයම් කරගෙන ජීවත්වෙද්දී ගොදුරු බිම් ප්‍රදේශ ප්‍රමාණවත් නොවන කොට කොටියා බාහිර ප්‍රදේශයට පැමිණියා වන්නට පුළුවන්. එවන් සතෙකුට මේ වගේ ම්ලේච්ඡ ලෙස පහරදී මරා දැමීම හැම අතින් ම අමානුෂික ක්‍රියාවක්. ඒ වගේ ම නීති විරෝධී ක්‍රියාවක්.”
“කොටියා කියන්නේ දේශීය වනාන්තරවල හමුවෙන හොඳ ම විලෝපිකයා. පරිසර පද්ධතිවලින් කොටියා අන්තරායට ලක්වීම මහා අපරාධයක් වෙන්නේ ඒ නිසයි. අනෙක් අතට කොටියා කියන්නේ සංචාරක ආකර්ෂණය දිනාගන්නා ශ්‍රී ලාංකික සලකුණ.”
කිලිනොච්චියේ මරා දැමුණු කොටියාට මේ ඉරණම අත්වූයේ වනජීවී නිලධාරීන් නිසි පරිදි සිය රාජකාරිය ඉටු නොකළ නිසා ය යනුවෙන් චෝදනාවක් නැඟේ. මෙවන් අවස්ථාවකදී වනජීවී නිලධාරීන් විසින් සිදු කළ යුතුව තිබූ කාර්ය භාරය පිළිබඳ ව අප විමසූයේ පරිසරවේදී නයනක රන්වැල්ල මහතාගෙනි.
“දෙමළ භාෂාවෙන් නිසි පරිදි සන්නිවේදනය කරලා ගමේ මිනිස්සු දැනුවත් කිරීම හරියාකාරව සිද්ධවෙලා නැති බවක් පේනවා. ඒ වගේ ම මෙවැනි හදිසි මොහොතක් අතිරේක ආරක්ෂාව සඳහා පොලීසිය කැඳවන්න වනජීවී නිලධාරීන්ට පුළුවන්කම තිබෙනවා. නිසි ක්‍රමවේදයට සතාගේ හැසිරීම නිරීක්ෂණය කරලා, ඌට ගමන් කරන්නට තිබෙන වනාන්තර පෙදෙසින් මිනිසුන් ඉවත්‍කරලා සතාව එළවා දමන්න තිබුණා. නැතිනම් නිසි නිරීක්ෂණයකින් අනතුරුව පශු වෛද්‍යවරුන්ගේ සහය අරගෙන සතාව නිර්වින්දනය කරන්න තිබුණා. නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කරන මිනිසුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න තිබුණා. මම කියන්නේ ඉතාම විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව වනජීවී නිලධාරීන් ක්‍රියා කළා නම් කොටියාට මෙවන් ඉරණමක් අත්වෙන්නේ නැහැ කියන එකයි.”
“අනෙක් අතට කොටියා කියන්නේ තමා වගේ හය ගුණයක බරක් වුණත් කටින් ගෙන ගස් නඟින්න පුළුවන් තරම් දැවැන්ත ශක්තියක් තිබෙන සතෙක්. එහෙව් සතෙක් මිනිසුන්ට මේ විදියට ගොදුරුවීම ගැන අපට සැකයක් තිබෙනවා. වනජීවී නිලධාරීන් මෙහෙයුම අත්හැරලා යනවිට ඔවුන් ගියේ සතාට එක නිර්වින්දන මාත්‍රාවක් ලබාදීලා ද කියන සාධාරණ සැකය මෙහිදී මතුවෙනවා. එහෙම වුණා නම් මද සිහි තත්ත්වයේ කොටියා හිටියා නම් මිනිසුන්ට ගොදුරුවීම විශ්වාස කරන්නට පුළුවන්.”
“කොහොම නමුත් මේක වැරදි පූර්වාදර්ශයක් වෙන්න පුළුවන් නිසා කඩිනමින් මේ වීඩියෝවල සිටින වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි පොලිස් පැමිණිල්ලක් කළා. වරදකරුවන් අත්අඩංගුවට ගන්න අම්බාල්කුලම ගමට යන්න එස්.ටී.එෆ්. නිලධාරීන්ගේ සහය වනජීවී නිලධාරීන්ට ලැබෙන බව නොනිල ආරංචි මාර්ග හරහා අපට දැනගන්න ලැබී තිබෙනවා.”
මරා දැමුණු කොටියා වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 30 වැනි වගන්තියට අනුව දැඩි ආරක්ෂිත ක්ෂීරපායි සතෙකි. එවැනි සතෙක් මෙලෙස මරා දැමූ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේ දැයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පැහැදිලි කරන්නේ මෙසේය.
“එවැනි ආරක්ෂිත සත්ත්වයෙක් මරන්න, ඌට හිංසා කරන්න හෝ මළ සතෙකුගේ කොටස් ළඟ තබාගන්න කිසිසේත්ම කිසිවකුට හැකියාවක් නැහැ. එය වරෙන්තු නැතුව අත්අඩංගුවට ගන්න පුළුවන් විදියේ වරදක්. ඒ වගේ ම ඇප ලැබෙන්නෙත් නැහැ. ඒ වගේ ම මේ සිද්ධියේ චූදිතයන්ට සත්ව හිංසා වැළැක්වීමේ ආඥා පනත යටතේත් නඩු පවරන්න පුළුවනි. සියලු දෙනාම එකතුවෙලා පොදු චේතනාව මත මේ ක්‍රියාව කළ නිසා හැමෝටම එකම නඩුව ගොනු කරන්න පුළුවනි. මහේස්ත්‍රාත් අධිකරණයක නඩුව විභාග කරලා රුපියල් තිස් දහසත් - ලක්ෂයත් අතරේ දඩයක් හෝ අවුරුදු 2 ත් 5 ත් අතර සිර දඬුවම් හෝ ඒ දෙකම ලබා දෙන්නත් පුළුවන්. මගේ ජීවිත කාලය තුළ මම දුටු ම්ලේච්ඡතම වනසත්ව ඝාතනය මෙයයි.” කිලිනොච්චි කොටියා මරා දැමූ අමනුෂ්‍ය ම්ලේච්ඡයන් නීතියේ රැහැනට හසුවන තුරු සියල්ලෝ සීරුවෙනි.
0 Comments