Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තමන්ට වදිද්දි කෝප් නරකයි

කෝප් කමිටුවේ සභාපති ජ. වි. පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති





පළාත් සභා මැතිවරණය ළඟදී පැවැත්වෙන බව කියනවා. එය යළිත් මනාප ක්‍රමයට පැවැත්වෙන බවටයි ආරංචිය...

මම නම් තවම දන්නෙ නැහැ පැවැත්වෙන්නෙ කොයි ආකාරයටද කියලා. මනාප ක්‍රමය හොඳ නැහැයි කියලනේ මිශ්‍ර ක්‍රමය ගෙනාවේ. දැන් ආයිත් පරණ ක්‍රමයට යන්න හදනවා. මේක දේශපාලන ප්‍රතිපත්තිවල ප්‍රශ්නයක් මිසක් මැතිවරණ ක්‍රමයේ ප්‍රශ්නයක් නෙමෙයි. පක්ෂ ජනතා ප්‍රශ්න විසඳන ආකාරයෙක් කටයුතු කරනවා නම් කොයි ක්‍රමයත් එකයි. නමුත් නොවෙන්නෙත් ඒකමයි. නටන්න බැරි මිනිහ පොළොව ඇදයි කියනවා වගේ කතාවක් මේක.


20 වැනි සංශෝධනයට මොකද වෙන්නෙ. ඒක ලත් තැනම ලොප් වගේද?

ඒක ළඟදිම එයි. කැමැති අය පක්ෂ වෙයි. අකමැති අය අහක බලා ගනියි. අපිත් බලාගෙන ඉන්නවා. 20 වැනි සංශෝධනය ගේන්නෙ රටට යහපතක් කරන්න. ඒක අපි පැහැදිලිවම කියල තියෙනව. ඒකට ආණ්ඩුවේ සහාය ලැබෙයිද නැද්ද අපි දන්නෙ නැහැ.


ඒ වුණාට විමල් විරවංශ මහතා නිතරම කියන කතාවක් තමයි ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුවත් එක්ක ‘ඩීල් ‘තියෙනවා කියලා

එයාට එච්චරයිනෙ කියන්න පුළුවන්. එයාටත් මොනව හරි කියන්න තියෙන්න ඕනනෙ.දේශපාලන පැවැත්මට.


ඔබතුමා කෝප් සභාපතිවරයා. දූෂණ හොරකම් ගැන කතා කළක් කෝප් එකත් නෑ වගේනෙ දැනෙන්නෙ.

අඩුම ගානේ කෝප් එක තියෙන බවවත් දැන් ජනතාව දන්නවනේ. ඒකෙ යම් වැඩක් කෙරෙන බවත් ජනතාව දන්නවනෙ. කෝප් කියන්නෙ අද ඊයෙ ආපු එකක් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේම තිබුණා. ඒත් ඒ බවක්වත් කවරුවත් දන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ තමයි එහි ක්‍රියාකාරීත්වය ඇති කෙළේ. අඩුම ගානේ දැන් ජනතාවට ඒ ගැන කතා කරන්නවත් පුළුවන්. කෝප් කියන්නෙ දඬුවම් කරන්න පුළුවන් තැනක් එහෙමත් නැත්නම් උසාවියක් නෙමෙයිනෙ. අපිට අධීක්ෂණයෙන් නිර්දේශ සපයන්න පමණයි පුළුවන්. කෝප් එකෙන් මහා පරිමාණ දූෂණ 6ක් හෙළි කළා. ඒකෙනුත් එළියට ඇවිත් යම් මට්ටමකට හරි කරළියේ තියෙන්නෙ බැඳුම්කර ගනුදෙනුව විතරයි. අනෙක් ඒවා ගැන කතා නැහැ.


දඬුවම් නිර්දේශ කිරීමක් එහෙමත් නැත්නම් අඩුම ගානෙ ඒ ගැන ඉල්ලීමක්වත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්න බැරිද?

මම ආණ්ඩුවේ නෙමෙයිනෙ. ඒකට අගමැතිවරයා එහෙමත් නැත්නම් ආණ්ඩුව මුල් විය යුතුයි. මට දඬුවම් දෙන්න බලයක් තිබුණා නම් දඬුවම් නෙමෙයි වෙඩි තියන්නත් කීපදෙනෙක් ඉන්නවා. සමහර අයට තමන්ට වදින කොට කෝප් නරකයි. අනෙක් වෙලාවට හොඳයි.


රටේ සිදු වන මහා පරිමාණ සංවර්ධන වැඩ කටයුතු සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ හොඳක් දකින්නෙම නැහැ වගෙයි.

රටක සංවර්ධනය කියන්නෙ පාලමක් පාරක් හදන එක නෙමෙයි. බලන්න ඕන විදේශ ආයෝජකයො කීදෙනක් ලංකාවට ආවද? ඩොලර් මිලියන කීයක් ආයෝජනය කළාද? ඒ ඔස්සේ අපට රැකියා අවස්ථා කොපමණ උදාවෙනවද? රටේ ජීවන වියදම් අඩුවෙන්න එම ආයෝජන කොතරම් හේතු සාධක වුණාද? උපාධිධාරීන් කීදෙනෙකුට රැකියා ලැබුණාද? මේ වගේ කරුණුවලින් තොරව රටක් සංවර්ධනය කරන්නෙ කොහොමද? සංවර්ධනය කරන්නෙ කෝටි ගණනක් ණය වෙලා. ඒකෙනුත් කොමිස් ගහගෙන පාලමක් පාරක් හදන එක නෙ‍ෙමයි රටේ සංවර්ධනය ලෙස හඳුන්වන්නේ. දේශපාලනයට එන්නෙ සමහරු සංවර්ධනය වෙන්න.


ආණ්ඩුව වෙනස් මත දරන පක්ෂ දෙකක් එකතු කරගෙන රටේ යහපාලන ක්‍රමවේදයක් ඇති කරමින් මේ ගමන යන්නෙ. එහි සාර්ථකත්වයක් දකින්නෙ නැත්ද?

දෙපැත්තම එකයිනෙ. දැන් ඇමැති මණ්ඩලය 86ක්. මේ අලුතින් පත් කරපු අයට යන වියදම කවුද දැරිය යුත්තෙ. මහජනතාවනෙ. නමුත් ඒ අයට ඒක ප්‍රශ්නයක් නැහැ. ජනතාවයි විඳවන්නෙ. ඇමැතිවරු සංඛ්‍යාව වැඩි වුණා කියල බඩු මිල අඩුවෙනවද? ඒකෙන් රටේ ප්‍රශ්න විසඳෙනවද?


ඉවත් වූ 16 දෙනා වෙනුවන් ඒ අයට පත් වීම් ලැබිලා තියෙන බවයි ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පවසන්නෙ. ජනතාවගේ පැත්තෙනුත් ඒ තරම් විරෝධයක් පෙනෙන්නට නැහැ.

ජනතාවටත් ඒකෙ ගාණක් නෑනෙ... අලුතින් කට්ටිය ආවත් එකයි නාවත් එකයි. ඒකෙන් ජනතාවට වන සෙතක් නැහැනෙ. ඒක නිසා ජනතාව ඒ ගැන සොයා බලන්නෙ නැහැ. ඇමැතිවරු පත් වුණත් ජනතාවට වුණු සෙතක් නැහැ. මේ පැත්තෛන් කට්ටියක් අනිත් පැත්තට ගියැයි කියල ජනතාවට සිද්ධ වෙච්ච අයහපතකුත් නැහැ.


රටේ අධික ණය බර ගෙවන්න බදු ආදායම වැඩි කරද්දී ජවිපෙ ඒ ගැන චෝදනා කරනවා.

බදු බර නෙමෙයි රටේ හැම දෙයකම මිල වැඩියිනෙ. දැන් සිදු වන රුපියලේ අවප්‍රමාණ වීම අපට බලපා ඇති ආකාරය මේ අය දන්නෙ නැහැ වගේ ඉන්නව. රුපියලේ අවප්‍රමාණ වීම නිසා අපිට ගෙවන්න තියෙන විදේශ ණය ප්‍රමාණය බිලියන 225ක් නැත්නම් කෝටි 22500කින් වැඩිවෙලා තියෙනවා.


යම් විදිහකින් ඔබ පක්ෂයට බලය ලැබුණොත් මේ බදු බර අඩු කළ හැකියි කියල හිතනවද?

අනිවාර්යෙන්ම ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ ජනතාවාදී පක්ෂයක්. එහි හොරමැරකම් නැහැ. ඒක නිසයි ජනතාවටට සහන දෙන ප්‍රතිපත්තිමාලාවක් අපි එළි දක්වා තිබෙන්නෙ.සුදුසුකමට රැකියාව දෙන, අධ්‍යාපන අයිතීන් සුරැකෙන ඒකිය රාජ්‍යයක් තුළ කටයුතු කිරීමයි වැදගත් වෙන්නෙ.


සංවාදය - තාරක වික්‍රමසේකර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();