මෙවර පාපන්දු ලෝක කුසලානයේදී බොහෝ දෙනා කතාබහ කරන කණ්ඩායමක් බවට අයිස්ලන්තය පත්ව තිබේ. තමන් මුහුණ දුන් පළමු තරගයේදී ම ප්‍රබල ආර්ජන්ටිනා පිල සමග ගෝල 1-1 ක් ලෙස ලකුණු සම කළ බැවින් එම කතාබහ ඇති විය.
ජනගහනය 350,000 ක් පමණ වන රාජ්‍යයක් ලෝක පාපන්දු කුසලානය සඳහා සුදුසුකම් ලැබීම ම වටිනා කතා පුවතකි. අයිස්ලන්තය මෙසේ සුදුසුකම් ලැබීම මගින් ලෝක කුසලානයට සුදුසුකම් ලද අඩුම ජනගහනයකින් යුත් රාජ්‍යය බවට පත් වූයේ ය.
එසේ සුදුසුකම් ලැබීම වාසනාවට වඩා, මනා වැඩපිළිවෙළක් ඔස්සේ සිදු වූවකි.
අයිස්ලන්තය ගිනිකඳු ගහන ප්‍රධාන දූපතකින් සහ කුඩා දූපත් කිහිපයකින් සමන්විත රාජ්‍යයකි. ප්‍රධාන දූපත ආර්ක්ටික් වෘත්තය ආසන්නයේ ඊට දකුණින් පිහිටා තිබේ. වසරේ බොහෝ කාලයක් අධික ශීතලෙන් යුතු මෙරට එළිමහනේ පාපන්දු ක්‍රීඩා කළ හැක්කේ ගිම්හානයේ පමණි.
රටෙහි අගනුවර රේක්යාවික් නම් වන අතර එහි උපරිම සාමාන්‍ය උෂ්ණත්වය ජූලි-අගෝස්තු සමයේ වාර්තා වේ. ඒ සෙල්සියස් අංශක 13 කි. රටේ ජනගහනයෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් රේක්යාවික් සහ ඒ අවට ප්‍රදේශයන් හි ජීවත් වෙති.
අයිස්ලන්තය ක්‍රි.ව. 9 වන සියවසෙහි සිට ජනාවාස ව පැවති බව විශ්වාස කෙරෙන අතර ලොව පවතින පැරණිම පාර්ලිමේන්තුවට හිමිකම් කියන්නේ ද එරට යි. එහි ඉතිහාසය ක්‍රි.ව. 930 තෙක් දිවේ. කලක් ඩෙන්මාර්ක පාලනය යටතේ වූ අයිස්ලන්තය 1918-44 සමයේ ඩෙන්මාර්කය සමග ඒකාබද්ධතාවක සිටියේ ය. 1944 දී එරට ජනරජයක් බවට පත් වූයේ ය.
අයිස්ලන්තයේ උපත් අනුපාතිකය සාපේක්ෂව ඉහළ අගයක් ගනී. එමෙන්ම රටේ ජනගහනයෙන් පහෙන් එකක් පමණ වයස අවුරුදු 14 ට අඩු ළමයි වෙති. තවත් සියයට 13 ක් පමණ වයස අවුරුදු 15-24 කාණ්ඩයට අයත් ය. එනම් රටේ ජනගහනයෙන් තුනෙන් එකක් වයස අවුරුදු 24 හෝ ඊට අඩු අය වෙති.
අයිස්ලන්ත ජාතිකයන් බොහෝ දෙනෙකුට නිශ්චිත පෙළපත් නාම නැත. ඔවුන්ගේ නමෙහි අග කොටසින් කියැවෙන්නේ ඔවුන් කවරකුගේ පුත්‍රයා හෝ දියණිය හෝ ද යන්න ය. අයිස්ලන්ත පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් 22 දෙනකුගේ ම නම් අවසන් වන්නේ -සන් යන ප්රත්යයෙනි. කාන්තාවන්ගේ නම් මෙම නම -ඩෝටිර් යන්නෙන් අවසන් වේ. සාමාන්‍යයෙන් බොහෝ විට පියාගේ නම ආශ්රයෙන් මෙම නම් තැබීම වන නමුත් ඉඳ හිට මවගේ නම ද යොදාගන්නා අවස්ථා ඇත.
ලොව පළමු ජනාධිපතිවරිය ලෙස ඉතිහාසගත වූයේ ආර්ජන්ටිනාවේ ඉසබෙලිටා පෙරෝන් ය. නමුත් ඇය ප්රජාතන්ත්රවාදී මැතිවරණයකින් තේරී පත් වූ ජනාධිපතිවරියක් නොවූවා ය. ලොව පළමු වරට ප්රජාතන්ත්රවාදී ජනාධිපතිවරණයකින් ජයගත් ජනාධිපතිවරිය වූයේ විග්ඩිස් ෆින්බොගාඩෝටිර් ය. ඇය 1980 දී අයිස්ලන්තයේ ජනාධිපති ධුරයට පත්වූ අතර ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත් වූවාය. 1984 සහ 1992 වසරවල ඇය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට ඇයට එරෙහිව කිසිවකුත් තරග නොකළෙන් ඇය නිතරගයෙන් ම එම ධුරයට පත් වූවා ය. 1988 දී ඇය හා තරග කළ තවත් කාන්තාවක ඉතාම පහසුවෙන් පරාජය කළා ය. ඇය 1996 දී ජනාධිපති ධුරයට යළි තරග නොකිරීමට තීරණය කළා ය. මේ අනුව ලොව වැඩිම කලක් ධුරය දැරූ ජනාධිපතිවරිය ද වන්නේ ඇය යි.
අයිස්ලන්තයේ පළමු පාපන්දු ක්‍රීඩා සමාජය 1899 දී පිහිටුවන ලද අතර පාපන්දු ලීගය ඇරඹුණේ 1912 දී ය. අයිස්ලන්ත පාපන්දු සංගමය 1947 දී පිහිටුවන ලද අතර එය ජාත්‍යන්තර පාපන්දු ෆෙඩරේශනයට එම වසරේ ම එක් විය. එය යුරෝපා පාපන්දු සංගමයේ ද සාමාජික රටකි. පළමු වරට අයිස්ලන්තය ජාත්‍යන්තර තරගයක් යයි පිළි ගැනෙන තරගයකට ඉදිරිපත් වූයේ 1946 දී ය. එයින් ඔවුන් ඩෙන්මාර්කයට පරාජය වූයේ 3-0 ක් ලෙස ය.
අයිස්ලන්තය 1954 දී ලෝක කුසලානය සඳහා ඇතුළත් වීමට ඉල්ලීමක් කළ ද ඊට අවස්ථාව ලැබුණේ නැත. 1958 සිට ඔවුන් සෑම අවස්ථාවක ම පාහේ සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගී වූ නමුත් මෙවර තෙක් කිසිදු අවස්ථාවක ලෝක කුසලානයට සුදුසුකම් නොලැබී ය. මේ අයුරින් ම ඔවුන් යුරෝපා පාපන්දු කුසලානයට ද තරග කළ නමුත් 2016 තරගාවලිය තෙක් එයට ද සුදුසුකම් නොලැබී ය.
1994 දී අයිස්ලන්තය ලෝක ශ්‍රේණිගත කිරීම්වල එතෙක් පැමිණි ඉහළම ස්ථානයට පැමිණි නමුත් ඉන්පසු යළි එය පසු බැස්සේ ය. 2018 ලෝක කුසලානයට පෙර අයිස්ලන්තය 22 ස්ථානය කරා පැමිණීමට සමත් වූයේ ය.
අයිස්ලන්ත පාපන්දු සංගමය දශක දෙකක පමණ කාලයක් තිස්සේ මනා සැලසුමක් අනුගමනය කරමින් පාපන්දු ක්‍රීඩාවේ උන්නතියට කටයුතු කරයි. දේශපාලන අර්බුද, ආණ්ඩු වෙනස් වීම් ආදිය හේතුවෙන් ඔවුන්ගේ සැලැස්මෙහි මූලික කරුණු වෙනස් වී නොමැත. එහෙයින් මෙම අඛණ්ඩ වැඩපිළිවෙළෙහි ප්‍රතිඵලය ලෙස අයිස්ලන්තය යුරෝපා පාපන්දු ශූරතාව සහ ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීම ගත හැකිය.
අයිස්ලන්ත පාපන්දු සංගමය වටහාගත් පළමු ගැටලුව වූයේ රටේ දේශගුණය යි. වසරේ මාස හතරක පමණ කාලයක් (මැයි - සැප්තැම්බර්) ක්‍රීඩා කිරීමෙන් ලෝක මට්ටම කරා යෑම අපහසු ය. මේ අනුව පාපන්දු සංගමය විසින් ගෘහස්ථ ක්‍රීඩාංගණ ඇතුළු පාපන්දු ක්‍රීඩාංගණ ඉදි කිරීමට සහ වැඩිදියුණු කිරීමට කටයුතු කරන ලදී. එසේ ඉදි කළ පළමුවන ගෘහස්ථ ක්‍රීඩාංගණය 2000 දී සිදු වූවකි. 2004 සිට 2013 දක්වා කාලය තුළ ලෝක පාපන් දු ෆෙඩරේශනයෙන් ලද මුදල් ද සමග යටිතල පහසුකම් සංවර්ධනය වේගවත් වූයේ ය. තවත් ගෘහස්ථ ක්‍රීඩාංගණ හතක්, කුඩා ප්‍රමාණයේ ගෘහස්ථ ක්‍රීඩාංගන හතරක්, එළිමහන් ක්‍රීඩා පිටි 22 ක් සහ කුඩා ප්‍රමාණයේ පිටි 111 ක් මේ අනුව ඉදි කෙරුණි.
මේ අනුව, අයිස්ලන්තයේදී ගිම්හාන ක්‍රීඩාවක් ව තිබූ පාපන්දු ක්‍රීඩාව වසර පුරාම ක්‍රීඩා කිරීමේ හැකියාව ලැබුණි. එමගින් දේශීය ක්‍රීඩකයන්ට වැඩි පුහුණුවක් ලබාගත හැකි විය.
අයිස්ලන්තය ගත් ඊළඟ පියවර වූයේ පුහුණුකරුවන් පුහුණු කිරීම ය. මේ සඳහා පුහුණු කඳවුරු රට පුරාම පවත්වන ලදී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අද වනවිට අයිස්ලන්තයෙහි සුදුසුකම් ලත් පාපන්දු පුහුණුකරුවන් 800 ක් පමණ සිටින අතර එයින් 400 කට යුරෝපා පාපන්දු සම්මේලනයේ B-බලපත්‍රය හිමි ව තිබේ. එහි අදහස නම් එවන් පුහුණුකරුවකුට ආධුනික කණ්ඩායම් සහ වයස අවුරුදු 16 ට අඩු යොවුන් කණ්ඩායම් පුහුණු කිරීමට සහ සාමාන්‍ය ක්‍රීඩා සමාජ කණ්ඩායමක සහය පුහුණුකරු තනතුර දැරීමට ද සුදුසුකම් ඇති බව ය. එනම් රටේ ජනගහනයෙන් 825 දෙනකුගෙන් පමණ එක් අයකුට මෙම සුදුසුකම තිබේ.
මෙම කරුණ ඕනෑම ක්‍රීඩාවක දියුණුවට ඉතා වැදගත් බව නොකිවමනා ය. පන්දුවට පහර දිය හැකි වීමෙන් පමණක් හොඳ පාපන්දු ක්‍රීඩකයකු විය නොහැකිය. ඒ සඳහා ඉක්මන් තීරණ ගැනීම, කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීම, ශරීර සෞඛ්‍යය යනාදී විවිධ කරුණු රාශියක් වැදගත් වේ. සුදුසුකම් ලත් පුහුණුකරුවකු මේ දැනුම තමන් යටතේ වන ක්‍රීඩකයන් වෙත ලබා දෙයි. අයිස්ලන්තයේ පාපන්දු ක්‍රීඩාවට එළඹෙන කුඩා ළමුන් හෝ තරුණයින් හෝ එහි මුල් අත්පොත් තබන්නේ සුදුසුකම් ලත් පුහුණුකරුවන් යටතේ ය. මෙය ක්‍රීඩාවක දියුණුවට අත්‍යාවශ්‍ය සාධකයකි.
වර්තමානය වන විට අයිස්ලන්තය නියෝජනය කරන ක්‍රීඩකයන් බිහි වන්නේ මෙම පසුබිම යටතේ ය. වැඩි කාලයක් (වසර පුරා) පුහුණුවීම් සිදු කිරීමට අවස්ථාව ලැබීම සහ සුදුසුකම් ලත් පුහුණුකරුවන් යටතේ පුහුණු වීම හේතුවෙන් අයිස්ලන්තයේ පාපන්දු ක්‍රීඩකයන්ගේ ගුණාත්මකභාවය ඉහළ ගියේ ය. එසේ ම ඔවුනට වෙනත් රටවල ක්‍රීඩා සමාජ සඳහා ද දොරගුළු විවර වූ අතර එය ද ඔවුනගේ දියුණුවට බලපෑවේ ය.
2011 වන විට අයිස්ලන්ත කණ්ඩායම ලෝක ශ්‍රේණිගතකිරීම් අනුව 130 ගණන්වල රැඳී සිටියේ ය. එකල ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස ස්වීඩන් ජාතික වෘත්තීය පුහුණුකරුවකු වූ ලාර්ස් ලාගර්බැක් පත් කරන ලදී. ඒ වන විට ඔහුට පුහුණුකරුවකු ලෙස 34 වසරක අත්දැකීම් තිබුණ අතර ඉන් වසර නවයක් සිය රටෙහි ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර තිබිණි.
ලාගර්බැක්ගේ සහය පුහුණුකරු ලෙස පත් කෙරුණේ හයිමිර් හෝල්ග්රිම්සන් ය. අයිස්ලන්ත ජාතිකයකු වූ ඔහු වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙක් විය. ඒ අතර ක්‍රීඩා සමාජ කණ්ඩායම්වල පුහුණුකරුවකු ලෙස වසර 18 ක් සේවය කර තිබිණි. ලාගර්බැක්ට ලැබුණේ නැගී එන අයිස්ලන්ත පිලකි. ඔහු එම පිල මනාව කළමනාකරණය කරමින් 2014 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට ආසන්න තත්ත්වයකට ගෙන ආවේ ය. එහිදී ක්‍රොයේෂියාව විසින් අයිස්ලන්ත සිහිනය බොඳ කරන ලදී.
මෙයින් පසු ලාගර්බැක් සහ හෝල්ග්රිම්සන් සම පුහුණුකරුවන් ලෙස කටයුතු කරන නව ගිවිසුමක් ඇති කරගනු ලැබිණි. මෙම දෙදෙනාගේ මෙහෙයවීම යටතේ අයිස්ලන්තය 2016 යුරෝපා කුසලානයට සුදුසුකම් ලැබීය. එම සුදුසුකම් ලැබීමේ වටයේදී සුපිරි නෙදර්ලන්ත පිල පවා පරාජය කිරීමට අයිස්ලන්තය සමත් වූයේ ය.
අයිස්ලන්තය 2016 යුරෝපා කුසලානයේදී දෙවන වටයට සුදුසුකම් ලබා එහිදී එංගලන්තය පරාජය කිරීමට සමත් විය. මෙම ප්‍රතිඵලය පාපන් දු ලෝකය ම කැලඹීමට සමත් වූයේ ය.
එම තරගාවලියෙන් පසු ලාගර්බැක් පුහුණුකරු තනතුරෙන් ඉවත් වූ අතර නෝර්වේ රටේ පාපන් දු පිලෙහි පුහුණුකරු ලෙස පත් විය. හෝල්ග්රිම්සන් දිගටම අයිස්ලන්ත පුහුණුකරු ලෙස ක්‍රියා කරයි.
අයිස්ලන්තය සමග ශ්‍රී ලංකාව සන්සන්දනය කිරීම කළ හැක්කක් නොවන හෙයින් එසේ කිරීම නිෂ්ඵල ක්‍රියාවකි. 1998 දී පමණ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 122 වන ස්ථානයේ පසු විය. ශ්‍රී ලංකාවට ලෝක පාපන්දු ෆෙඩරේශනය වෙතින් බොහෝ සෙයින් ආධාර ද ලැබුණි. ඒවා එකල පාපන්දු ක්‍රීඩාවට අරක් ගත් බහිරවයින් විසින් ගිල දමන ලදී. අයිස්ලන්තය වසර හතක් තුල ලෝක ශ්‍රේණිගතකිරීමේ ස්ථාන 110 ක් පමණ ඉහළ නගිද්දී ශ්‍රී ලංකාව වසර 20 ක් තුල ස්ථාන 78 කින් පහළ වැටුණේ ය. එතැනින් තවත් පහළට නොවැටුණේ තවත් වැටෙන්නට තැනක් නොමැති හෙයිනි. ශ්‍රී ලංකාවට වඩා පහළන් සිටින රටවල් අතර පාකිස්තානය 201 වන ස්ථානයේ සිටියි. එයින් පසුව කේමන් දූපත් (බ්‍රිතාන්‍ය යටත් විජිතයකි. ජනගහනය 61,000), සැන් මරීනෝ (යුරෝපයේ කුඩාම රාජ්‍යයකි. ජනගහනය 33,000), බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් (ජනගහනය 31,000), මොන්ට්සෙරාට් (බ්‍රිතාන්‍ය යටත්විජිතයකි. ජනගහනය 4,900), ටර්ක්ස් සහ කේකස් දූපත් (බ්‍රිතාන්‍ය විජිතයකි. ජනගහනය 35,000), ඇඩ්රයිලා (බ්‍රිතාන්‍ය විජිතයකි. ජනගහනය 15,000), බහමාස් (ජනගහනය 391,000), එරිට්රියාව, සෝමාලියාව (යුද්ධ නිසා පාපන්දු තරග නොපැවැත්වේ) සහ ටොංගා (ජනගහනය 107,000) යන කණ්ඩායම් වෙති.
එතරම් විශාල ප්‍රාග්ධනයකින් තොරව දියුණු කළ හැකි ක්‍රීඩාවක් වෙතත් පාපන්දු කෙරෙහි ශ්‍රී ලංකාව තවමත් ප්‍රමාණවත් ලෙස අවධානය යොමු කර නැත. පාසල් මට්ටමෙන් පවා එම අවධානය අල්ප ය. එක් කලෙක දකුණු ආසියාවේ ඉන්දියාවට පමණක් දෙවැනි වූ ශ්‍රී ලංකා පාපන්දු පිල අද වන විට එම ක්‍රීඩාවට කෝඩුකාරයන් වන භූතානය සහ ඇෆ්ඝනිස්තානය වැනි රටවලට පවා දෙවනි වන තැනට පත් ව තිබේ.
0 Comments