හිරු උදාවීමත් සමඟ මාතර නගරයට ජනයා ඇදී එන්නේ නිල්වලා ගඟෙන් ජලය ගලා බසින්නාක් සේය. ඒ මිනිස්සුන්ගෙන් නගරයේ කඩ සාප්පුද පිරෙන්නේය. පසුගිය සිකුරාදාත් (22) මාතරට එවැනි කාර්ය බහුල දවසක්ය.
කොළඹ මාතර පාරේ පිහිටි ප්‍රධානම ස්වර්ණාභරණ වෙළෙඳ සැලට කවදත් පාරිභෝගිකයන්ගෙන් හිඟ පාඩුවක් නැත. වෙළෙඳ සල විවෘත වනතෙක් සමහර දිනවල පාරිභෝගිකයන් දොරටුව අසල රැඳී සිටිති. සාමාන්‍යයෙන් මේ වෙළෙඳසල විවෘත වන්නේ උදෑසන 9.30ට පමණය. සිකුරාදා උදේ ආයතනය ස්වකීය පාරිභෝගිකයන් සමග සුපුරුදු ගනුදෙනුවේ යෙදී සිටියෙය.
උදෑසන 10.25 වූවා පමණය. බලාපොරොත්තු නොවූ මොහොතක එක්වරම සිදු අත්දිග කමිස සහ කළු කලිසම් වලින් සැරසී සුදුපාට හෙල්මට් දැමාගත් හය දෙනෙකුගෙන් යුතු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ස්වර්ණාභරණ ආයතනය තුළට කඩා වැදුනෝය. එකෙක් හාත්පස දෙදරුම් කවමින් කෑ ගැසුවේය.
“ එකෙක් හෙල්ලෙන්න එපා... ඔක්කොම අත් උස්සගෙන ඇතුළට පලයල්ලා... එකෙක්වත් ෆෝන්වලට අත තියන්න එහෙම නෑ... දැඟලුවොත් ඔළු කට්ට කුඩු වෙන්න වෙඩි තියනවා...” විධානය බිහිසුණුය. නිරායුධ අහිංසක මිනිස්සු මර බියෙනි. ඔවුන් අභියස සිදුවෙමින් ඇත්තේ බිය උපදවන කොල්ලයකි.
කොල්ලරුවන් ස්වර්ණාභරණ සාප්පුව තුළ සිටි සියලුම දෙනා ප්‍රාණ ඇපයට ගෙනය. අනතුරුව ස්වර්ණාභරණ අලෙවිසලේ සේවකයන් ලවා ම සේප්පු විවර කරවමින් සියලුම ස්වර්ණාභරණ කොල්ල කෑවේය.
මරණය දැක දැකත් යුක්තිය වෙනුවෙන් ඊට අභියෝග කරන මිනිස්සු වෙති. මේ අතරේම සිටි එවන් මිනිසෙක් ස්වර්ණාභරණ ආයතනය තුළ ඒ මොහොතේ සිදුවෙමින් පැවති කොල්ලය සිය ජංගම දුරකථනයෙන් පොලීසියට දැනුම් දුන්නේය. ස්වර්ණාභරණ ආයතනය ඇත්තේ මාතර පොලිසියට නුදුරෙනි. සුළු මොහොතකින් පොලිස් නිලධාරීන් තිදෙනෙක් ස්වර්ණාභරණ අලෙවිහල වෙත දිව ආවෝය. කොල්ලකෑ රන් බඩු සමග කොල්ල කල්ලිය තවමත් ඇතුළේය. එහෙත් මේ පොලිස් නිලධාරීන්ගෙන් ආයුධ සන්නද්ධව පැමිණි තිබුණේ එක් නිලධාරියෙක් පමණි.
කොල්ල කල්ලියේ සියලු දෙනාගේම අත්වල ආයුධය. ඔවුන් පැමිණියේ සැලසුම් සහිතවය. කොල්ල කල්ලියේ තිදෙනෙක් එළියට පැමිණියේය. ඒ සමගම පොලිස් නිලධාරීහු ඔවුන් වටකළහ. වටකොට ඔවුන්ව මෙල්ල කරගැනීමට උත්සාහ කළහ. මේ සමගම ස්වර්ණාභරණ අලෙවිහල තුළ සිටි අනෙක් කොල්ලකරුවන් තිදෙනා එළියට පැමිණියහ. තිදෙනෙක් පිරිස ප්‍රාණ ඇපයට තබාගෙන අලෙවිසල තුළම රැඳී සිටියහ.
“පොලිස් නිලධාරින්ගේ එක්කෙනා ළඟයි ආයුධ තිබුණේ... එක පාරටම කඩේ ඇතුළේ ඉඳලා තුන්දෙනෙක් ආවා... එක පොලිස් නිලධාරියෙක් කොල්ලකාරයෝ තිෙදනා සමඟ හොඳටම අතින් පයින් ගහගත්තා...” එම ත්‍රාසජනක දුටු අයෙක් අපට කීවේය.
ස්වර්ණාභරණ ආයතනය තුළට රිංගු කොල්ලකරුවන් සයදෙනාට අමතරව තවත් දෙදෙනෙක් ඉන් පිටත සිට ආරක්ෂාව සලසා තිබිණි. කොල්ලකරුවන් තිදෙනා සමඟ අතින් පයින් පොර බැදු පොලිස් නිලධාරියා අසලට පැමිණි පිටත ආරක්ෂාව සලසමින් සිටි කොල්ලකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු පොලිස් නිලධාරියාගේ පපු පෙදෙසට තැබුවේය. එම වෙඩි පහරින් ඔහු ලේ පෙරාගෙන බිම ඇදගෙන වැටුණේය. ඒ සමගම අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනාටද කොල්ලකරුවෝ වෙඩි පිට වෙඩි තබන්නට වූහ. ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරියා ද කොල්ලකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කරන්නට විය. වෙඩි තැබූ කොල්ලකරුවන් තිදෙනා ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය ඔස්සේ දිවගොස් දකුණට හැරී දුම්රියපල මාර්ගයට හැරුණහ.
කොල්ල කරුවන් තිදෙනෙක් මෙල්ල කරමින් නිරායුධව සටන් කල පොලිස් නිළධාරියා වීරසිංහ ගෙදර ප්‍රදීප් සුරංග වීරසිංහ (69532) ය. මේ තිස්තුන් හැවිරිදි නිළධාරියාගෙන් බේරී පලා ඒමට කළ අවසන් උත්සාය වූයේ ඔහු ඉලක්ක කර මාරක වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමය. මේ වෙඩි ප්‍රහාරයෙන් මාරක තුවාල ලද කොස්තාපල් ප්‍රදීප් වහාම මාතර රෝහලට ඇතුළත් කළේය. ප්‍රදීප් සිටියේ මරණයත් සමග පොර බදමිනි. ඔහුට වහාම සැත්කමක් කිරීමට නිර්දේශ විය. එහෙත් සැත්කමට සූදානම් කිරමින් සිටියදී මේ අභීත නිලධාරියා මෙලොවින් සමුගත්තේය.
ප්‍රදීප් සුරංග වීරසිංහ පොලිස් නිලධාරිය පදිංචිව සිටියේ මාතර ගොඩගම, කිරින්දගේ වත්තේය. විශේෂ කාර්ය බළකායේ වසර දොළහක සේවයෙන් පසුව පොලිස් සේවයට පැමිණි ඔහු වසර හතරක කාලයක සිට මාතර පොලීසියේ රාජකාරි කළ දක්ෂ නිලධාරියෙක් වූයේය. ඔහු දුවකගේ සහ පුතෙකුගේ පියෙකි. දුව පස් හැවිරිදිය. පුතණුවන් තුන් හැවිරිදිය. බිරිඳ සෞම්‍යා කුමාරි මාතර රෝහලේ හෙද නිලධාරිනියකි. මරණයට පත්වූ කොස්තාපල් ප්‍රදීප් සුරංග පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමට වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න තීරණය කළ බව වාර්තා විය.
මේ ගැටුමේදී පොලිස් නිලධාරින් දෙදෙනෙක් තුවාල ලැබීය. සිවිල් වැසියන් දෙදෙනෙක් අනතුරට ලක්වූහ. එහිදී තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනා වන පොලිස් සැරයන්වරයා සහ පොලිස් කොස්තාපල් රියැදුරුවරයා මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
ප්‍රධාන පාරේ ගොස් දුම්රියපල දෙසට හැරුණු කොල්ලකරුවන් තිදෙනෙක් මාර්ය අසල යතුරුපැදියක සිටි අයෙකු වෙත ගොස් ඔහුගේ හිසට පිස්තෝලය තබා යතුරු පැදිය පැහැර ගත්තේය. ඉන් පලා යන්නට හැදූ උත්සාහය ව්‍යාර්ථ විය. මීටර් විසි පහක් යන්නට කලින් යතුරුපැදිය නැවතුනේය. නැවතුණ යතුරුපැදිය පසෙක දමා අසල සිටි තරුණයෙකුගේ ස්කූටි වර්ගයේ යතුරුපැදියක් පැහැරගත් කොල්ලකරුවෝ අහසට වෙඩි තබමින් පලා යන්නට උත්සාහ කළහ.
මේ වනවිට මාතර පොලිසිය මෙහෙයුමට අවතීර්ණ වී සිටියේය. පලා යන කොල්ලකරුවන් තිදෙනා පසුපස පොලීසියද ලුහුබැන්දේය. පොලිස් කැබ් රථය කොල්ලකරුවන් පසුපස හඹා ගොස් ඔවුන් ගමන්කරමින් සිටි යතුරුපැදිය හප්පා දැම්මේය. යතුරුපැදිය මාර්ගයේ අත්හැර පැන ගිය කොල්ලකරුවන් තිදෙනා මාතර සුප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයකට යන මාර්ගයේ නිවෙසක් තුළට රිංගා ගත්හ.
කොල්ලකරුවන් පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් ඔවුන් සැඟවුණු නිවසට කඩා වැදිණි. එහෙත් අපරාධකරුවන් නිවස තුළ පෙනෙන්ට නොවූහ. නිවස වටා ආරක්ෂාව තරකළ පොලිසිය මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ නිල සුනඛයාව රැගෙන ආවේය. අවසානයේදී නිල සුනඛයා ලබාදුන් හෝඩුවාව අනුව පොලිසීය මේ බිහිසුණු කොල්ලයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත්තේය. ඔහු සිටියේ නිවසේ සිවිලිමෙහි සැඟවීගෙනය.
කොල්ලයට පැමිණ තිබුණේ රට හෙල්ලූ අපරාධ කල්ලියක් බව පොලිසිය දැනගත්තේ අපරාධකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට පත්වීමත් සමගය. සිවිලිමේ සැඟවී සිටියදී අත්අඩංගුවට පත්වන්නේ රටේ නම ගිය අපරාධකාරයෙකු සේ සැලැකෙන වේයන්ගොඩ මාලිගාතැන්නේ, අංක 54/3 දරන ලිපිනයේ පදිංචි චාමර ඉන්ද්‍රජිත් නමැති පාතාලයාය. ඔහු අපරාධ, මිනීමැරුම්, මංකොල්ල කෑම්, කප්පම් ගැනීම් රැසකටම පොලීසියට අත්‍යවශ්‍ය කළ චරිතයක් විය. චාමර ඉන්ද්‍රජිත් යනු පසුගිය අප්‍රේල් 21 වැනිදා නිට්ටඹුවේ පැවැති අවුරුදු උත්සවයක සංගීත ප්‍රසංගයකට සහභාගි වෙමින් සිටියදී ඝාතනය වූ රත්න දේවප්‍රිය ඝාතනයේ ප්‍රධාන සැකකරුවාය. එසේම 2016 දෙසැම්බ්ර් 24 වැනි දා වේයන්ගොඩදී මෝටර් රථයක යමින් සිටියදී ඝාතනය වූ ජානක සමන්ත කුමාර නොහොත් උදම්මිට සමරේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවාද ඔහුය.
මේ අතර පොලීසිය සිදුකළ වෙඩි තැබීම්වලදී තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි තිදෙනෙක් ගැන පොලිසියට ආරංචි විය. මේ පුද්ගලයන් තිදෙනා සැකපිට පොලිස් අත්අඩංගුවට පත්විය. පොලිසිය නොසිතූ මොහොතක මෙසේ අත්අඩංගුවට පත්වන්නේ රට හෙල්ලූ අපරාධකාරයන් තිදෙනෙකි. එකෙක් ධර්මකීර්ති තාරක පෙරේරා නොහොත් කොස්ගොඩ තාරකය. අනිකා මදුක නිර්මාල් පෙරේරාය. කොස්ගොඩ තාරකගේ මල්ලීය. තුන්වැන්නා ගුරුදෑව, දුටුවැව අතුල කිත්සිරි කුමාරය.
කොස්ගොඩ තාරක යනු ගිය වර්ෂයේ ඔක්තෝබර් 29 වැනිදා ඌරගස්මංහන්දිය, යුදපිටිය ප්‍රදේශයේදී ඝාතනය වූ මහින්දරාජා නමැති හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු පුතුන් දෙදෙනාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවාය. කොස්ගොඩ තාරක මීට කලකට පෙර අත්තිඩියේ බැංකුවක් කොල්ල කෑමට පැමිණියේය. එම කොල්ලයට එරෙහි වූ බැංකුවේ නිරායුධ ආරක්ෂකයාව තාරක විසින් වෙඩි තබා මරා දමා තිබුණේය. මේ කොල්ලයට උදව් කර තිබුණේ මාකඳුරේ මධුෂ්ය. පාතාලයෙක් වුවත් මධුෂ් පවා තමන් නිරපාරද අවුලකට ඇද දැමූ මේ ඝාතනය නිසා තාරක සමග විරසකව සිටියේය. ඒ අතර මාතර හුණුකොටුව හන්දියේ සිට මේ කොල්ලයට පැමිණි තවත් සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට පත්විය. දැනට මේ කොල්ලයට පැමිණි සැකකරුවන් පස් දෙනෙක් පොලිස් අත්අඩංගුවේය. මේ ලියන අවස්ථාව වනවිට කොස්ගොඩ තාරක ඇතුළු සැකකරුවන් රඳවා සිටින කරාපිටිය රෝහලට විශේෂ කාර්ය බලකාය මගින් විශේෂ ආරක්ෂාවක් සපයා තිබිණි.
කොල්ලකරුවන් පැමිණි එක් යතුරුපැදියක් කොස්ගොඩ තාරකගේ මවගේ බවට සැලවීමත් සමඟ ඇයද කොස්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය. මේ මංකොල්ලය සඳහා අපරාධකරුවන් පැමිණි යතුරුපැදි දෙකක් අත්අඩංගුවට ගැනුණි. ඔවුන් පැමිණ තිබුණේ නවීන ආයුධවලින් සන්නද්ධවය. වෙඩි තැබීමට රැගෙන ආ මිනි ඌෂි වර්ගයේ ස්වයංක්‍රිය ගිනිඅවියක්ද මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 18ක් සහිත මැගසිනයක්ද පොලිස් අත්අඩංගුවට පත්විය. කොල්ලකරුවන් විසින් දමා ගිය තවත් පිස්තෝල මැගසින් එකක් පොලීසිය තමන් භාරයට ගත්තේය.
ලැබෙන තොරතුරු අනුව මේ කොල්ලය සදහා දසදෙනකුගෙන් පමණ සමන්විත කල්ලියක් පැමිණ තිබේ. ඔවුන් පලා යාමට මෝටර් රථයක්ද සූදානම් කර තිබූ බව කියැවිණි. අපරාධකරුවන් සැලසුම් කර තිබුණේ ස්වර්ණාභරණ ආයතනය කොල්ලකා අධිවේගී මාර්ගය ඔස්සේ පලා යාමය. අපරාධය සඳහා පැමිණි අපරාධකරුවන්ගෙන් පස්දෙනෙක් තවම නිදැල්ලේය. පොලිස් නිලධාරීන් තිදෙනෙක් ජීවිත පරදුවට තබා කළ සටන අවසානයේ මහා පාතාල කෙරුමන් යැයි කියාගන්නා අපරාධකරුවන් පස්දෙනෙක් දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේය. මේ රට දැන් කියන්නේ මේ මිනීමරු පාදඩ සංස්කෘතිය නිමා කිරීමට කාලය එළඹ ඇති බවය.
ඡායාරූප - චමින්ද වන්නිආරච්චි
- දෙවුන්දර සමූහ
0 Comments