ඩොව්රිච්-හෝල්ඩර් යළිත් ඔසවති
බාබෙඩෝස්හි පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය අතිවිශිෂ්ට අයුරින් ආරම්භ කළ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ බටහිර ඉන්දීය කොදෙව් පිලේ මුල් පෙල පිතිකරුවන් පස් දෙනා ම ඕවර 23යි පන්දුවක් ඇතුළත ලකුණු 53කට දවාලූ අතර පළමු දින තරගය නතර කරන විට කොදෙව්වෝ කඩුලු 5කට ලකුණු 132ක් රැස්කර ගෙන සිටියහ.
බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායමේ හිටපු කඩුලු රකින්නකු වූ ජෙෆ් ඩූජොන් විසින් ප්‍රකාශ කරන ලද, ඔහු දුටු වඩාත්ම කොල පැහැති කෙන්සිංටන් ඕවල් තණතීරුවේ සුරංග ලක්මාල් පළමු කඩුලු 2 ලබා ගැනීමෙන් පසුව ලහිරු කුමාර හා කසුන් රාජිත කොදෙව් ඉනිම තවදුරටත් වනසමින් කඩුලු 3ක් ලබා ගත්හ. තරග තහනමකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් වෙනුවට මේ තරගයේ ශ්‍රී ලංකාව මෙහෙයවන සුරංග ලක්මාල් තරගය නතර කරන විට ලකුණු 42කට කඩුලු 2ක්ද, කසුන් රාජිත ලකුණු 36කට කඩුලු 2ක්ද, ලහිරු කුමාර ලකුණු 40කට එක කඩුල්ලක්ද දවා ගෙන සිටියහ.
ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ අභියෝගයෙන් කොදෙව් පිල අන්දමන්ද වීමෙන් පසුව කඩුලු රකින - පිතිකරු ෂේන් ඩොව්රිච් හා නායක ජේසන් හෝල්ඩර් වේගයෙන් කඩා වැටෙමින් තිබූ ඉනිමට තිරිංග දමමින් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79ක නොබිඳි සබඳතාවක් ගොඩනැගූහ. ඩොව්රිච් හතරේ පහර 8ක්ද සමගින් පන්දු 101කින් නොදැවී ලකුණු 60ක්ද, හෝල්ඩර් පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමග නොදැවී ලකුණු 33ක්ද රැස්කර ගෙන සිටියහ.
ෂේන් ඩොව්රිච් ශ්‍රී ලංකාවට ‘ඇණයක්’ බවට පත්වූයේ මේ තරගමාලාවේ දෙවැනි වතාවටය. පළමු ටෙස්ට් තරගයේදී ඔහු ජේසන් හෝල්ඩර් සමග එක්වී 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90ක සබඳතාවක් පිහිටවුයේ ජයග්‍රහණයට මං විවර කරමිණි.
වර්ෂාව නිසා තරගය තෙවතාවක්ම නතර කෙරුණු අතර මේ හේතුවෙන් ඕවර 43යි පන්දු 3ක් ක්‍රීඩාවට අහිමි විය.
කැරිබියන් දූපත්හි ප්‍රථම වතාවට පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ රෝස පැහැති පන්දුවෙන් පළමු කඩුල්ල ලබා ගත්තේ සුරංග ලක්මාල් ය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ බටහිර ඉන්දීය කොදෙව් පළමු ඕවරයේදී අවසන් පන්දුවෙන් බිඳ වැටුණේ මුළු ලකුණු 3දීය. ලක්මාල්ගේ වේග පන්දුව ඩෙවොන් ස්මිත්ගේ (2) පිත්තේ වැදී තෙවැනි ‘ස්ලිප්’හි පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා අතට ඇදි ගියේය.
අනෙක් ආරම්භක පිතිකරු ක්‍රෙග් බ්‍රැත්වෙයිට් ද ආපසු ක්‍රීඩාගාරයට යැවීමට තවත් ගතවූයේ මිනිත්තු කිහිපයකි. ඒ කඩුල්ල සිය තෙවැනි ඕවරයේදී ලබා ගත්තේද ලක්මාල් ය. බ්‍රැත්වෙයිට් (2) දැවී ගියේ ධනුෂ්ක ගුණතිලකගේ අතිදක්ෂ උඩ පන්දු රැකීමකිනි. ඒ වන විට කොදෙව් මුළු ලකුණු සංඛ්‍යාව 8ක් වී තිබිණි.
ඊළඟ ඕවරයේදී කොදෙව් තෙවැනි කඩුල්ල බිඳ වැටෙමින් කීරන් පවල් ලකුණු 4කට දැවී ගියේ ලහිරු කුමාර එවූ පන්දුවට දෙවැනි ‘ස්ලිප්’හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් ඉතාමත් පහළින් ආ පන්දුව අල්ලා ගැනීමෙනි. 8 වැනි ඕවරයේ වැසි පතිත වීම හේතුවෙන් ක්‍රීඩාව නතර කෙරිණි. ක්‍රීඩාව නැවත ආරම්භ වූයේ මිනිත්තු 42කට පසුවය.
මුළු ලකුණු ප්‍රමාණය 24ක්ව තිබියදී තරගයේ ප්‍රථම වතාවට පන්දු ප්‍රහාරය සඳහා කැඳවූ කසුන් රාජිත ඔහුගේ පළමු පන්දු තුනෙන් ලකුණු ලබා නොදී සිවුවැනි පන්දුවෙන් රොස්ටන් චේස්ගේ මැද ඉන්න ගලවා දැම්මේ ඔහු ලකුණු 14ක් රැස්කරගෙ සිටියදීය.
සවස තේ පානය සඳහා තරගය නතර කරන විට කොදෙව් පිල කඩුලු 4ක් දැවී ඕවර 21කින් රැස්කර ගෙන සිටියේ ලකුණු 46ක් පමණි.
තේ පානයෙන් පසුව ක්‍රීඩාව නැවත ආරම්භ වී යැවුනු තෙවැනි ඕවරයේ පළමු පන්දුවෙන් රාජිත ඔහුගේ දෙවැනි කඩුල්ල ලබා ගත්තේය. මෙවර ඔහුගේ ගොදුර බවට පත්වූයේ ෂායි හෝප් ය. කුසල් මෙන්ඩිස් දෙවැනි ‘ස්ලිප්’ ස්ථානයේ සිට උඩ පන්දුව රැක ගත් අතර හෝප් ලකුණු 11කට දැවී ගියේය. කොදෙව් පස්වැනි කඩුල්ල බිඳ වැටුනේ මුළු ලකුණු 53දීය.
ඕවර 33.3ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාව නැවත වතාවක් නතර කෙරිණි. ඒ අතරවාරයේ රාත්‍රී ආහාරයද ගැණිනි. කොදෙව්වෝ කඩුලු 5කට ලකුණු 132ක් රැස්කර ගෙන සිටියදී (ඕවර 46.3) යළිත් වැසි පතිතවීමෙන් පළමු දින ක්‍රීඩාව නතර කෙරිණි.
ශ්‍රී ලංකාව මේ තරගය සඳහා වෙනස්කම් දෙකක් සිදු කරමින් දිනේෂ් චන්දිමාල් වෙනුවට ධනුෂ්ක ගුණතිලක හා අකිල ධනංජය වෙනුවට ඩිල්රුවන් පෙරේරා කැඳවා තිබිණි. කොදෙව්වන්ගේ කණ්ඩායමේ වෙනසක් සිදුකර නොතිබිණි.
කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා මණ්ඩප ජගත් ක්‍රිකට් ලෝකය දෙවනත් කළ අතිශ්‍රේෂ්ඨ බාබේඩියානුවන් වන ගාෆීල්ඩ් සෝබර්ස්, වොරල් වීක්ස්, ක්ලයිඩ් වෝල්කොට්, වෙස් හෝල්, චාලි ග්‍රිෆිත්, ගෝඩ්න් ග්‍රීනිජ් සහ ඩෙස්මන්ඩ් හේන්ස් වෙනුවෙන් නම් කර තිබුණේ ඒ ඉසව්වට මහත් අභිමානයක් එක් කරමිණි.
0 Comments