වසර 2 ක් පමණ ගතවූයේ කඩා වැටී තිබූ ආර්ථිකය ගොඩගැනීමට බවත් මුදල් නොමැතිව රට ඉදිරියට ගෙන යාමේ අපහසුතාවයක් ඇතිව තිබුණු බවත් රටේ විශාල ණය බරක් තිබුණු බවත්, නමුත් දැන් එය තරමක් කළමනාකරණය කර ගත හැකි මට්ටමකට පැමිණ තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටී. අග්‍රාමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර සිටියේ ගාල්ල වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
පසුගිය කාලයේ ඇතිවූ ගංවතුර නිසා හානියට පත් වූවන්ට මුදල් ලබාදීමේ වැඩසටහනක් අද සිදු කෙරෙනවා. මෙම ප්‍රදේශයට ගංවතුර විශාල ගැටළුවක්. එම මුදල් ලබාදීම තරමක් කල්යෑම පිළිබඳව ඔබලාගෙන් මම පළමුවෙන් සමාව ඉල්ලා සිටිනවා. අනාගතයේදී ගංවතුර පාලනය කිරීම පිළිබදව අප දැන් අවධානය යොමු කරනවා. ගිං ගඟේත්, නිල්වලා ගඟේත් වතුර හම්බන්තොට දක්වා රැගෙන යන ව්‍යාපෘති පිළිබදව අප වාර්තා ඉල්ලා තිබෙනවා. එම ව්‍යාපෘති සාර්ථක වෙනවා නම් අපට ගං වතු පාලනය කිරීමට හැකියාව ලැබෙනවා.
වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විශාල අඩුපාඩුවක්ව පැවැති නව තෙමහල් ගොඩනැගිල්ල ද අද අප විවෘත කරනවා.
වජිර අබේවර්ධන ඇමතිතුමා මෙම නව කාර්යාලය ඇති කිරීම සම්බන්ධයෙන් විශාල උනන්දුවක් ගෙන තිබෙනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නවීකරණය කිරීම එතුමා දිවයින පුරාම සිදු කරනවා. එතුමාගේ ඡන්ද බල ප්‍රදේශය වන නිසා මේ ප්‍රදේශයේ කටයුතු විශේෂ උනන්දුවකින් යුතුව සිදු කිරීමට එතුමාට සිදු වී තිබෙනවා. මේ ප්‍රදේශයේ අනෙක් මහජන නියෝජිතයන්ද මෙම වැඩකටයුතු සම්බන්ධයෙන් නිරන්තරයෙන් එතුමාට දැනුම් දෙනවා. මෙම වැඩකටයුතු සිදු කරන අතරම දක්‍ෂිණ සංවර්ධන සැලැස්ම හරහා මේ ප්‍රදේශයේ ජනතාවට මීට වඩා යහපත් ජීවන තත්ත්වයක් ලබාදෙන්නේ කෙලෙසදැයි අපි සලකා බලනවා. මේ ප්‍රදේශයත් මේ අවට ප්‍රදේශයත් එම සැලැස්ම යටතේ දියුණු කිරීමට කටයුතු කරනවා. බෙන්තර, දේද්දුව, බලපිටිය, අම්බලන්ගොඩ, අකුරළ, කොහිල වගුර ආදි ප්‍රදේශවලත් සංචාරක කර්මාන්තය සහ අනෙක් කර්මාන්ත දියුණු කිරීමට අප සැලැසුම්කර තිබෙන බව කිව යුතුයි.
මේ සියල්ලම දකුණ සංවර්ධන සැලැස්මේ කොටසක් ලෙස සැලකිය හැකියි. ස්වදේශ කටයුතු අමාත්‍යතුමා මේ ප්‍රදේශයේ වැඩකටයුතු හොදින් ඉටු කරනවා. එතුමා සියලූම ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල දියුණු කරමින් සිටිනවා. දිවයින පුරාම එම වැඩකටයුතු සිදු කරමින් ඒවා විවෘත කිරීම සඳහා මට ආරාධනා කරනවා. ඒ වගේම ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනත් සාර්ථකව සිදු කරනවා. එයත් ඉතා වැදගත්. ස්වදේශ කටයුතු සහ ඉඩම් අමාත්‍යංශ හරහා එදිනෙදා ජීවිතයට අවශ්‍ය කාර්යයන් බොහොමයක් ඉටු වෙනවා. එම අමාත්‍යවරුන් සමග මනූෂ නානායක්කාර අනෙක් මන්ත්‍රීවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලූ දෙනාම එකතු වී වැඩකටයුතු සිදු කරනවා.
මෙහි තිබූ පැරණි ගොඩනැගිල්ලේ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම ගොඩනැගිල්ල විවෘත කළා. මේ හරහා ප්‍රදේශීය ලේකම්තුමා, දිසා ලේකම්තුමා ආදීන් එකවරම කළ යුතු රාජකාරී ප්‍රමාණය වැඩි වී තිබෙනවා. සමෘද්ධිය ලබාදීම සඳහා නව සමෘද්ධි නිලධාරීන් බඳවා ගැනීමට සිදුව තිබෙනවා. එන්ටර්ප්‍රයිස් ලංකා වැඩසටහනේ වැඩකටයුතු සිදු කිරීමට තිබෙනවා. බිම් මට්ටමට ප්‍රාග්ධනය ලබාදීමේ වැඩසටහන අපි පසුගියදා ආරම්භ කළා. බැංකු හරහා මුදල් ලබාදීම සම්පූර්ණයෙන්ම සාර්ථක වුනේ නැහැ. ඔබේ ප්‍රදේශයේ දියුණුවක් ඇති කිරීමට නම් ගමේ ව්‍යවසායකයින් හඳුනා ගනිමින් ඔවුන්ට දිය හැකි සහයෝගය ලබා දිය යුතුයි. ග්‍රාමීය මට්ටම පිළිබඳව ඔබ දැනුවත් නිසා නව ව්‍යාපාරයක් සාර්ථකව ආරම්භ කළ හැක්කේ කාට දැයි ඔබ දන්නවා. සියලූ දෙනාම මුදල් ඉල්ලා සිටියත් ඒවා ලබාදිය නොහැකියි. එම තත්ත්වය අවබෝධ කර ගනිමින් වැඩකටයුතු සිදු කිරීම ඔබේ ප්‍රධාන කාර්යක් බව කිව යුතුයි.
එමෙන්ම “ගම්පෙරළිය” වැඩසටහනට අපි මුදල් විශාල ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. මෙම වැඩසටහන් ප්‍රධාන ස්ථානයක් හිමි වන්නේ මාර්ග සංවර්ධනයයි. මාස 18 ක කාලයක් වෙන් කර තිබෙනවා. ඒ අනුව ඔබට ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරී වෙනුවෙන් පූර්ණ කාලීනව කැපවිය යුතු වෙනවා. අපේ රියදුරන්ගේ භාෂාවෙන් කියනවා නම් ඇක්සලේටරය බෝඩ් එකට යනකම්ම දැන් පෑගිය යුතුයි. එසේ නොමැතිනම් ඇමතිතුමනි මෙම කාර්යාල විවෘත කිරීමෙන් පළක් නැහැ. මේ වැඩකටයුතු සඳහා අපි මුදල් ලබාදී තිබෙන්නේ ඉතා අපහසුවෙන් බව පැවසිය යුතුයි. ඒ මුදල් ලබා දුන්නේ දකුණ සංවර්දනය කිරීම සඳහායි. ශ්‍රම ශක්ති ව්‍යාපාරයත් අප දැන් ආරම්භ කර තිබෙනවා.
වසර 2 ක් පමණ අපට ගතවුනේ කඩා වැටී තිබූ ආර්ථිකය ගොඩගැනීමටයි. මුදල් නොමැතිව රට ඉදිරියට ගෙන යාමේ අපහසුතාවයක් ඇතිව තිබුණා. රටේ විශාල ණය බරක් තිබුණා. නමුත් දැන් එය තරමක් කළමනාකරණය කර ගත හැකි මට්ටමකට අපි පැමිණ තිබෙනවා. අපට තිබෙන ප්‍රධානම ගැටලූව ණය ගෙවීම පමණක් නොවෙයි. මෙම ණය ලබා ගෙන තිබෙන්නේ විදේශීය මුදල් ඩොලර් හරහා වීම දැන් ප්‍රධාන ගැටලූවක් බවට පත්ව තිබෙනවා.
නිදහස ලැබු කාලයේ සිට අප යුද්ධය අවසන් වන තුරු ණය ලබාගත්තේ රුපියල්වලින් පමණයි. වාණිජ ණය ලෙස ඩොලර්වලින් ලබාගෙන තිබුනේ ඩොලර් මිලියන 100 ක් වැනි මුදලක් පමණයි. විදේශ ණය ගණනාවක් අපට ගෙවීමට තිබූණේ සහනාධාර ක්‍රමයටයි. වසර 40 කින් හෝ 50 කින් ගෙවීම වැනි සහන ලැබී තිබුණා. 0.5% – 1% වැනි සුළු පොලියක් පමණයි අය කළේ. ඒ අනුව අප ලබාගෙන තිබුණේ දේශීය වානිජ ණයයි. අපේ රටේ මුදලේ අගය ශක්තිමත් වුණොත් එහි වටිනාකම වැඩි වනවා. අගය පහත වැටුණොත් වටිනාකම අඩු වෙනවා. මුදලේ පාලනය තිබෙන්නේ රට තුළයි. ඒ වගේම වටිනාකම තීරණය කිරීමත්, ගෙවීමත් තිබෙන්නේ අපේ පාලනය තුළයි. ලෝකයේ වෙනත් අයෙකුට එය පාලනය කළ නොහැකියි. 1977 සිට දේශීය ගනුදෙනුකරුවන්ට ණය ලබාගැනීමට හැකි ආකාරයට මහා බැංකුව ඇති කළා. එම තත්ත්වය 2009-2010 කාලයේදී වෙනස් වුණා. එම කාලයේදී ඩොලර්වලින් ණය ගැනීම ආරම්භ කළා. ඩොලරයේ වටිනාකම පාලනය කරන්නේ අපි නොවෙයි. එහි වටිනාකම වැඩිවූ විට අපට කළ හැකි කිසිවක් නැහැ. එවිට සිදු වන්නේ ගෙවීමට තිබෙන මුදල වැඩිවීමයි. අපි අපේ රටේ මුදලේ අගය ආරක්‍ෂා කිරීමට නම් පොලිය වැඩි කළ යුතුයි. එවිට මෙහි තිබෙන මුදල් පරිහරණය අඩු වෙනවා. දැන් ඇතිවී තිබෙන්නේ එවැනි තත්ත්වයක්.
2013-2014 කාලයේදී රටේ මුදල් තිබුණේ නැහැ. රටට ආදායමක් තිබුණේ නැහැ. 2015 දී ඔවුන් රටේ මැතිවරණයක් පැවැත්වූයේ එම නිසයි. අප මෙම මැතිවරණයෙන් ජයග්‍රහණය කොට ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රටේ ජනාධිපති බවට පත් වුණා. ඉන් පසුව මෙම තත්ත්වය අප කළමනාකරණය කළා. ඒ සඳහා වසර දෙකක් පමණ ගත වුණා. අද රටේ ආදායමෙන් ණය මුදල් ගෙවීමට හැකියාවක් ලැබී තිබෙනවා. ඒ වගේම මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ද සිදු කරමින් ග්‍රාමීය මට්ටමට ණය ලබාදීමට ද අපට දැන් හැකිවී තිබෙනවා. 2010-2014 කාලය අතර, ශ්‍රී ලංකාව පළමුවතාවට ඩොලර්වලින් බැඳුම්කර ලබාගත්තා. එතෙක් කල් අප බැඳුම්කර ලබා ගත්තේ රුපියල්වලින් ඒ අනුව වාරික ලෙස ගෙවීමට අප ඩොලර් මිලියන 5000 ක මුදලක් ලබාගෙන තිබෙනවා. ඒ දවස්වලට අනුව නම් එය රුපියල් 120 කින් වැඩි කළ හැකිව තිබුණත් වර්තමානයේ රුපියල් 160 කින් වැඩි කළ යුතුයි. අපට තිබෙන විශාලම ගැටළුව එයයි. එය ගෙවීමට හැකියාවක් නැත්නම් වෙනත් ණයක් ගැනීමටවත් අපට පුළුවන් කමක් නැහැ.
නමුත් අපේ ආණ්ඩුව ගත් පියවර නිසා අපට එම ණය ගෙවීමට දැන් හැකිවී තිබෙනවා. එම නිසා අපට ඇතැම් ණය ගෙවීමටත් අවශ්‍ය වෙලාවට වෙනත් ණය ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. සංවර්ධන වැඩකටයුතු ගණනාවක් සඳහා අප ණය ලබාගත්තේ වාණිජ කොන්දේසි යටතේයි. මහවැලියට ණය ලැබීමේදී ඇතැම් මුදල් ආධාර ලෙස ලැබුණා. ඇතැම් මුදල් වසර 50 ක කාලයකදී ගෙවීමට හැකි වන ලෙස ලැබුණා. පළමු වසර 10 න් පසු එහි පොලිය 0.5% ක් දක්වා අඩු කළා. එච්.එස්.බී.සී බැංකුව, නොර්වේ බැංකුව, චීනයේ බැංකුවකින් ආදී ලෙස විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඩොලර් මිලියන 5000 ට අමතරව නොරොච්චෝලය වෙනුවෙන් ඩොලර් මිලියන 890 ක මුදලක් ලබාගෙන තිබෙනවා. එම ණය මුදල ගෙවීමේ ගැටළුව තවමත් අවසන් වී නැහැ. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී නිතරම සාකච්ඡා කෙරෙනවා.
දක්‍ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට බවට පවසමින් එම අධිවේගී මාර්ගය මාතර සිට බෙලිඅත්ත හරහා සැලසුම් කළා. නමුත් මා දන්නා පරිදි නම් මාතර සිට හම්බන්තොට දක්වා ගමන් කරන්නේ මාතර, දික්වැල්ල, තංගල්ල හරහා හම්බන්තොටයි. නමුත් නව භූගෝල පොතට අනුව මාතර සිට හම්බන්තොට දක්වා ගමන් කරන්නේ මාතර, දික්වැල්ල, බෙලිඅත්ත හරහා හම්බන්තොට දැයි මට ගැටළුවක් ඇති වෙනවා. රටේ ජනතාව ලෙස ඔබ මේවාට සිනහා නොවී කඳුළු සැලිය යුතුයි. එම මාර්ගය සඳහා අප ඩොලර් මිලියන 683 ක් ගෙවිය යුතුයි.
ඒ වගේම මාතර, හම්බන්තොට දක්වා ඉදිවෙන දුම්රිය මාර්ගය ඉදිකර තිබෙන්නේත් බෙලිඅත්ත හරහායි. එම නිසා එම ව්‍යාපෘතියට අමතර ඉදිකිරීම් කටයුතුත් සිදු කිරීම ද සිදුවෙනවා. බෙලිඅත්ත හරහා එම මාර්ගය සකසන්නේ නැතිව සාමාන්‍ය ලෙස එය ඉදිකළා නම් පහසුවෙන්ම අමතර ඉදිකිරීම් නොමැතිව හම්බන්තොට දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ හැකියාව ලැබෙනවා. එසේ වූවා නම් මෙම වියදම් වන මුදලින් භාගයක්වත් වියදම් නොවන බව පැවසිය යුතුයි. මාතර සිට බෙලිඅත්ත දක්වා වන දුම්රිය මාර්ගයට ඩොලර් මිලියන 200 ක් අනෙක් ඉදිකිරීම් කටයුතු තවමත් සිදු කර නැහැ.
කොළඹ පිටත වටරවුම් මාර්ගය කෙළවරපිටියේ සිට කඩවත දක්වා ඉදිකිරීමේ මුදල ඩොලර් මිලියන 494 ක් බව පවසනවා. නමුත් ඒ දුර කිලෝ මීටර් 09 යක් පමණයි. මෙම ව්‍යාපෘති සඳහා අප නියමවූ මුදල් ගෙවිය යුතුයි. හම්බන්තොට වරාය වෙනුවෙන් බිලියන 1.3 ක් ලබාගෙන තිබෙනවා. මත්තල ගුවන් තොටුපොළ සඳහා බිලියන 350 ක මුදලක් වැය කර තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ලබාගත් මිලියන 1000 ක මුදල තවමත් ගෙවීමට නොහැකිව සිටිනවා. මේ ආකාරයට අනාවරණය නොවූ ගෙවීමට තිබෙන විශාල මුදල් ප්‍රමාණයක් තවත් තිබෙනවා. මැරුණු ශරීර ගොඩඑනවා මෙන් එම ණය මුදල් පිළිබඳ තොරතුරු විටින් විට මතු වෙනවා.
පළමුවෙන් ලබාගත් ඩොලර් මිලියන 5000 ට අමතරව තවත් මිලියන 3000 ක් පමණ ගෙවීමට තිබෙන බව පැහැදිලි වෙනවා. ඒ අනුව වාණිජ ක්‍රමයට අනුව ඩොලර් මිලියන 8000 ක පමණ මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා. අප මුදල් සොයා ගත යුත්තේ මේවා වෙනුවෙනුයි. අපට බදු වැඩිකිරීමට සිදු වන්නේ එම නිසයි. මෙවර වැට් වැඩි කිරීමේදී ආණ්ඩුවට චෝදනා එල්ල කළා. නව බදු එකතු කරන විට බොහෝ දෙනා අපට දෝෂාරෝපණය කරනවා. නමුත් එම බදුවල අඩු පාඩුකම් සොයා බලා ඒවා සංශෝධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එහෙත් බදු වැඩිකිරීමට අපට සිදුව තිබෙන්නේ එම ප්‍රශ්න නිසයි. නැතිනම් බදු වැඩිකිරීමට අපට වුවමනාවක් නැහැ. ජනතාව අපහසුතාවට පත් කරන්න උවමනාවක් නැහැ. අපි උත්සාහ ගන්නේ හැමදාමත් ජනතාව සතුටින් තැබීමටයි.
ඒ වගේම රුපියල ශක්තිමත් කිරීම සඳහා අප පොලිය වැඩි කරනවා නම් ව්‍යාපාරිකයන්ට මුදල් නොමැති වී යනවා. එම නිසා මෙම තත්ත්වයන් දෙකම අප සමබරව තබාගත යුතුයි. අප මෙවැනි ගැටළුවකට මැදිව සිටියත් කෙසේ හෝ ඉදිරියට යා යුතුයි. මෙම ණය ගැටළුව නොතිබුණා නම් මීට වඩා වෙනස් ආකාරයකට රටේ ආර්ථිකය හැසිරවීමට හැකියි. සංවර්ධනයක් ඇති කරමින් ඉදිරියට යාමටත් හැකියි. නමුත් අප පළමුවෙන් අවදානය යොමු කළේ වැටී සිටින තත්ත්වයෙන් ගොඩ ඒමටයි. ඒ සඳහා 2015 සිට අපි විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. ක්‍රියාකාරී මට්ටමේ නොතිබුණු හම්බන්තොට වරාය අපට චයිනා මර්චන්ට් සමාගමට ලබාදීමට හැකි වුණා. එය කලාපයේ ප්‍රධානම වරාය බවට පත් කරන බව ඔවුන් පවසනවා. ඔවුන් එය දියුණු කරන අතර, අපට ඩොලර් මිලියන 1000 ක් ලබා දුන්නා. එම හම්බන්තොට වරාය හවුල් ව්‍යාපාරයේ කොටස් කරුවන් වන්නේ චයිනා මර්චන්ට් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වන නිසා එහි ඉතිරි මුදල් අප ගෙවිය යුතුයි. කෙසේ හෝ හම්බන්තොට වරාය වෙනුවෙන් ලබාගත් ණය මුදලින් අපට ගෙවීමට තිබෙන මුදල මිලියන 1000 කින් අඩු කර ගැනීමට හැකි වීම විශාල ජයග්‍රහණයක්. ඔවුන් අපට රට විකුණුවා යැයි චෝදනා කරන්නේ මේ නිසයි.
ඒ වගේම මත්තල ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් අප ඉන්දීය සමාගමක් සමග සාකච්ඡා කරමින් සිටිනවා. එවිට ඒ සඳහා ගෙවීමට තිබෙන ණය මුදලින් මිලියන 1300 ක් පමණ අඩු කර ගැනීමට හැකි වෙනවා. අනෙක් මුදල් ගෙවීමට අප ආදායම් ඇති කර ගත යුතුයි. හිට්ලර් මැතිතුමාගේ වැඩිමහල් සහෝදරයා තමන් බලයේ සිටියා නම් මත්තල, හම්බන්තොට වැනි තවත් ගුවන් තොටුපොළ වරාය ඇති කරන බව පවසා තිබෙනවා. නමුත් දැනට තිබෙන මෙම ගුවන් තොටුපොළත් වරායත් නිසා රට වැටී තිබූ ණය බරින් අප බේරුණේ ඉතා පහසුවෙන් බව පැවසිය යුතුයි.
අප රටට විදේශ විනිමය ලබාගත යුතුයි. චයිනා මර්චන්ට් සමාගම හම්බන්තොට වරාය ලබාගත් නිසා විදේශීය ආයෝජකයින් ගණනාවක් ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ හරහා තවත් සමාගම් රට තුළට පැමිණෙනවා. අප මෙම වැඩකටයුතු සිදු කිරීමේදී සුළු පිරිසක් රට විකුණනවා යැයි චෝදනා කරනවා. නමුත් අප උත්සහා කරන්නේ රටට විදේශ විනිමය ගෙනැවිත් සංවර්ධනය කිරීමටයි.
ඒ වගේම මේ ප්‍රදේශයේ ප්‍රධාන සංචාරක කලාපයක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දේදුව, කොග්ගල, අකුරල ආදී ප්‍රදේශ වැඩි ආදායමක් සහිත සංචාරකයන් වෙනුවෙන් සංචාරක කලාප ලෙස සංවර්ධනය කරනවා. ඒ හරහා රටේ ආදායමට විශාල මුදලක් එකතු වෙනවා. මේ ලෙහෙසි කාර්යයන් නොවේ. අප අද මේවා නොකරන්නේ නම් ඉදිරියේදී රටට අනාගතයක් නොමැති වෙනවා. මෙම වැඩකටයුතු තවත් කල්දැමීම මටත් ඉතා ලෙහෙසියි. නමුත් කෙසේ හෝ රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ආ යුතුයි. රටේ අපනයනය වැඩිකිරීමට අප කටයුතු කළ යුතුයි. ඒ අතර, විදේශ ආයෝජන ද ලබාගත යුතුයි. චීනය, ජපානය ආදී ආසියානු කලාපීය රටවල්වලින් අපට විදේශ ආයෝජන ලබාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව අපට ඉදිරියට යා හැකියි.
රටට පැමිණෙන ආයෝජයෙකුට කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා ඉඩම් ලබාදීමට තිබෙනවා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා එම වැඩකටයුතු කඩිනම් කළ යුතුයි. ඒවා කඩිනම් නොකළොත් අපට අපේ පව් ගෙවීමට නොහැකි වෙනවා. කොතරම් මුදල් ආදායම් ඇති කර ගත්තත් කෙළවරපිටියේ කඩවත මාර්ගයට, මාතර බෙලිඅත්ත මාර්ගයට, මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ආදියට අපට විශාල මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා. කෙසේ හෝ මත්තල හා හම්බන්තොට බේරා ගැනීමට අපේ රජයට හැකි වුණා. මෙම ගෙවීමට තිබෙන ණය මුදල් වල පසුබිම පිළිබඳව ඔබව දැනුවත් කිරීමට මා කල්පනා කළේ බොහෝ දෙනා අපෙන් එය විමසන නිසයි. ඉදිරි වසර දෙක තුළ රටට අවශ්‍ය ආයෝජන ගෙන එමින් ඉදිරියට යාමට අප බලාපොරොත්තු වෙනවා.
පසුගිය වසරේ 2025 පොහොසත් රටක් දර්ශකය අප ඔබට ඉදිරිපත් කළා. ඒ අනුව මෙම වැඩකටයුතු අවසන් කරමින් ඉදිරියේදී රටේ ආදායම් වැඩිකර සංවර්ධනය කරා යන ගමන අප ආරම්භ කරනවා. එම කාර්යේදී මෙම ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇති වන බවට කිසිදු සැකයක් නැහැ. ඒ වෙනුවෙන් ඔබේ සම්පූර්ණ සහයෝගය අපට ලබාදෙන්න යැයි මම අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා යැයි පැවසීය.
The post වසර 2 ක් පමණ ගතවූයේ කඩා වැටී තිබූ ආර්ථිකය ගොඩගැනීමටයි – අගමැති කියයි. appeared first on Lanka News Column.
0 Comments