පාපන්දු තරග බිමේ ප්‍රබල කණ්ඩායම් දෙකක් වන ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර රුසියාවේ කසාන් හිදී අද (30) පැවැත්වෙන තරගයෙන් 21 වැනි ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දෙනාගේ තරග වටය ආරම්භ වෙයි.
පෘතුගාලය සහ උරුගුවේ අතර තරගයද අද සොචීහිදි පැවැත්වෙයි.
කණ්ඩායම් 32ක් මූලික වටයේදී කාණ්ඩ 8ක් යටතේ තරග වැදුණ අතර එහි පළමු සහ දෙවැනි ස්ථාන දිනාගත් කණ්ඩායම් අවසන් 16 දෙනා අතරට එක්විය. ඒ අනුව ‘ඒ’ කාණ්ඩයෙන් උරුගුවේ සහ සත්කාරක රුසියාව, ‘බී’ කාණ්ඩයෙන් ස්පාඤ්ඤය සහ පෘතුගාලයත්, ‘සී’ කාණ්ඩයෙන් ප්‍රංශය සහ ඩෙන්මාර්කයත්, ‘ඩී’ කාණ්ඩයෙන් ක්‍රොඒෂියාව සහ ආර්ජන්ටිනාවත් අවසන් 16 ට එක්විය.
බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය ‘ඊ’ කාණ්ඩයෙන්ද, ස්වීඩනය සහ මෙක්සිකෝව ‘එෆ්’ කාණ්ඩයෙන්ද 16 ට එක්වූ අතර ‘ජී’ කාණ්ඩයෙන් බෙල්ජියම සහ එංගලන්තයත්, ‘එච්’ කාණ්ඩයෙන් කොළොම්බියාව සහ ජපානයත් 16 දෙනා අතරට සුදුසුකම් ලැබීය.
මූලික වටයේ කැපී පෙනෙන සිදුවීම වුයේ පසුගිය වර ශූරයන් වු ප්‍රබල ජර්මනිය මෙවර තරගාවලියේ ඉවතට විසිවීමය.
මේ අතර තරගාවලියේ මූලික වටයට නිමාවනවිට ගෝල් ලාභීන් අතර පෙරමුණ ගැනීමට එංගලන්ත පිලේ නායක හැරී කේන් සමත්ව සිටී. ඔහු තරග 3කදී ගෝල් 5ක් රැස්කර තිබේ.
පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ බෙල්ජියමේ රොමේලු ලුකාකු ගෝල් 4ක් බැගින් රැස්කරමින් දෙවැනි ස්ථානවල පසුවන අතර රුසියාවේ ඩෙනිස් චෙරිශෙව් සහ ස්පාඤ්ඤයේ ඩියාගෝ කෝස්තා ගෝල් 3ක් බැගින් රැස්කර තිබේ.
කණ්ඩායම් 16 අතර තරග 8 අද සිට ලබන මස 3 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඉන් ජයගන්නා කණ්ඩායම් 8 අර්ධ අවසන් වටයට පිවිසෙයි. එම වටයේ තරග 4 ජූලි 6 සහ 7 දිනවල පැවැත්වෙන අතර 10 සහ 11 දෙදින අවසන් පූර්ව තරග පැවැත්වෙයි. ඉන් ජය ගන්නා කණ්ඩායම් දෙක 15 වැනිදා අවසන් මහා තරගයට එක්වන අතර පරාජය වන කණ්ඩායම් දෙක 14 වැනිදා තෙවැනි ස්ථානය සඳහා තරග වැදීමට නියමිතය.
මේ අතර පෙරේදා නිමාවූ මූලික වටයේ තරගයකින් පෝලන්තය හමුවේ ගෝල් 1-0ක පරාජයක් අත්වුවද ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය ගැනීමෙන් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට ජපානයට හැකිවිය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ 16 දෙනාගේ වටයට පිවිසි එකම ආසියානු කණ්ඩායම වන්නේද ජපානයයි. තරගාවලියට ආසියානු කලාපයෙන් කණ්ඩායම් 5ක් එක්ව සිටියේය. එනම් සෞදි ආරාබිය, ඉරානය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව සහ ජපානයයි.
පෝලන්තය මේ තරගයෙන් ජය ගත්තද ඔවුන් සහභාගිවූ මුල් තරග 2 කම පරාජය වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවිය.
තරගාවලියේ පළමු තරගයෙන් ගෝල් 2-1කින් කොළොම්බියාව පරාජය කළ ජපානය සෙනගාලය සමග තරගය ජය පරාජයෙන් තොරව නිමාකර ගත්තේය.
‘එච්’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසි මේ කණ්ඩායම් අතුරින් ජපානය සහ සෙනගාලය අතර ප්‍රසාද ලකුණු මෙන්ම ඔවුන් රැස්කළ ගෝල් සහ ඔවුන්ට එරෙහිව රැස්කළ ගෝල් ද සමාන විය. අවසානයේ ඔවුන් ලබා තිබූ කහ කාඩ්පත් ප්‍රමාණය මගින් දෙවැනි ස්ථානය තේරීමට සංවිධායකයෝ පියවර ගත්හ. එහිදී ජපානය අවම කහ කාඩ්පත් ලබමින් 16 දෙනාගේ වටයට එක්විය.
0 Comments