Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දින තුනක් තරග වදින ‘ශ්‍රී ලංකා T-Cup’ ජාත්‍යන්තර පාපැදි තරගය හෙට ඇරැඹේ

Author(s): 
වර්නන් ගුණසේකර

දෙස් විදෙස් තරගකරුවන් 70 දෙනෙකු සහභාගි වන ‘ශ්‍රී ලංකා T-Cup‘ ජාත්‍යන්තර පාපැදි තරගය පාසිකුඩාහි පාසි විලාස් හෝටලය අභියසින් හෙට පෙරවරු 9.05 ට ආරම්භ වෙයි.

ජාත්‍යන්තර පාපැදි කැලැන්ඩරයට ඇතුළත්ව තිබෙන දකුණු ආසියාවේ එක ම ජාත්‍යන්තර පාපැදි තරගය වන මෙය දෙවැනි වතාවටත් සංවිධානය කරන්නේ මෙරට ප්‍රධාන පෙලේ ජල ක්‍රීඩා හා සංචාරක ආයතනයක් වන ලංකා ස්පෝට්රයිසන් ආයතනයයි.

ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජපානය, කසකස්තානය, දකුණු කොරියාව, ලාඕස්, මලයාසියාව, පිලිපීනය, සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව යන රටවලින් කණ්ඩායම් 13ක් මෙවර තරගාවලියට සහභාගි වෙති.

ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් 2ක්

ඔස්ට්‍රේලියාව, ජපානය හා ශ්‍රී ලංකාව කණ්ඩායම් දෙක බැගින් මේ තරගයට ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාව ජාතික පාපැදි කණ්ඩායම හා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපතිගේ කණ්ඩායම වශයෙන් කණ්ඩායම් දෙකකින් තරග වදිනු ඇත.

බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව), සන්ජු ඩීමන්ත (ගුවන් හමුදාව), දර්ශන ප්‍රසාද් (නාවික හමුදාව), විරාන් රමේෂ් (වරාය අධිකාරිය) හා ප්‍රභාත් මධුශංක (නාවික හමුදාව) ජාතික කණ්ඩායම නියෝජනය කරන අතර ජනක හේමන්ත කුමාර (නාවික), ලහිරු මධුශංක (ගුවන්), ප්‍රියන්ත විජේසිංහ (දෙහිවල/ගල්කිස්ස නගර සභාව), අවිශ්ක මැඩොන්සා (නාවික) හා සුධීර නිලංග (පොලිසිය) සභාපතිගේ කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

නැගෙනහිර වෙරළේ පාසිකුඩා සිට මහියංගණය හා මහනුවර හරහා බටහිර වෙරළේ මීගමුව දක්වා දින තුනක් තිස්සේ අදියර තුනකින් පැවැත්වෙන තරගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර 350.9කි.

පාසිකුඩා සිට වැලිකන්ද, දිඹුලාගල, පල්ලේගම, දෙහිඅත්තකණ්ඩිය හා ගිරාඳුරුකෝට්ටේ හරහා මහියංගණය දක්වා පැවැත්වෙන හෙට පළමු අදියර තරගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර 132කි.

මහියංගණය සමාධි බුදු පිළිමය අභියසින් අනිද්දා (5) පෙරවරු 9.05 ට ඇරැඹෙන දෙවැනි අදියර තරගය හසලක, උඩදුම්බර, හුන්නස්ගිරිය, තෙල්දෙණිය, දිගන, කුණ්ඩසාලේ හරහා පැමිණ ගුරුදෙනිය මහා විද්‍යාලය ඉදිරිපිටින් අවසන් වීමට නියමිතය. දුර ප්‍රමාණය කිලෝ මීටර 90.9කි.

මැයි මස 6 වැනි ඉරු දින පෙරවරු 9.05 ට තරගයේ තෙවැනි හා අවසන් අදියර ආරම්භ වන්නේ මහනුවර ඩී.එස්.සේනානායක විදුහල අභියසිනි. මේ අදියරේ දුර කිලෝ මීටර 128කි. කටුගස්තොට, ගලගෙදර, මාවතගම, කුරුණෑගල, නාරම්මල, ගිරිඋල්ල, පන්නල හා දංකොටුව හරහා තරගකරුවන් මීගමුව නගර සභා කාර්යාලය ඉදිරිපිටට පැමිණීමත් සමග මේ තෙදින තරගය අවසන් වෙයි.

ජය සංකේත ප්‍රදානය තරගයේ අවසානයෙන් පසුව මීගමුව නගර සභා කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරෙනු ඇති අතර ජයග්‍රාහකයන්ට පිරිනැමෙන සමස්ත ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් 24,235කි.

පසුගිය වසරේ පැවැති තරගයේ සමස්ත ජය හිමිකර ගැනීමට පිලිපීනයේ ජෝජ් ලුයිස් ඔකොනර් සමත්වූ අතර වේගවත් ක්‍රීඩකයා ලෙස මැලේසියාවේ සොෆියන් බක්රිත්, හොඳම ශ්‍රී ලාංකික තරගකරු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරියත් සම්මාන දිනා ගත්හ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();