අගමැති
2016 සිට මේ දක්වා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන බැරැලයක මිල ඩොලර් 41 කින් ඉහළ ගොස් ඇති බැවින් මෙරට ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවූ බවත් ලෝක වෙළෙපොළ ඉන්ධන මිල අඩු වූ වහා ඒ සහනය මෙරට ජනතාවට ලබාදීමට කටයුතු කරන බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (12) හික්කඩුවේදී පැවසීය.
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැවැති ජනහමුවේදී අගමැති වික්‍රමසිංහ මහතා ඒ බව පැවැසීය.
මීට අමතරව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (12) හබරාදූව, අක්මීමන, ගෝනාපිනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නව ගොඩනැගිලි විවෘත කිරීම්ද සිදු වු අතර, එදින සවස ගෝනාපිනුවල ජල යෝජනා ක්‍රමය ද අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
පසුගිය බ්‍රහස්පතින්දා දින තෙල් සංස්ථාව ඉන්ධන මිල වැඩි කළා. මීට පෙර අප කටයුතු කළේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩි වන සහ අඩු වන විට ඊට සමගාමීවයි. නමුත් ඊට පෙර පැවැති පාලනය තුළ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල වැඩි වූ විට මෙරට වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ දැමුවත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වන විට මෙරට වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහත දැමුවේ නැහැ.
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අපට පාලනය කළ නොහැකියි. එම නිසා ඉන්ධන මිල ඉහළ යන අවදියේදී ශ්‍රි ලංකාවේ වෙළෙඳ පොළ තුළ ඉන්ධන මිල ඉහළ දැමුවත් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අඩු වන කාලයේදී එම සහනය ජනතාවට ලබාදිය යුතු බව මමත්, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් විශේෂයෙන් සාකච්ජා කර තිබෙනවා.
2014 වසරේ බොර තෙල් බැරැලයක මිල ඩොලර් 55 ක් දක්වා අඩු වී තිබුණා. නමුත් ඒ කාලයේ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු වුණේ නැහැ. නමුත් අපි බලයට පත්වීමෙන් පසුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 117 දක්වා අඩු කළා. 2015 වර්ෂය අවසන් වන විට බොර තෙල් බැරැලයක මිල ඩොලර් 35 දක්වා අඩු වී තිබුණා. එම නිසා ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල පහත හෙළීමට තෙල් සංස්ථාවට හැකි වුණා.
2017 වසර වන විට ඉන්ධන මිල ඉහළ යාමට පටන් ගත්තා. 2017 වර්ෂය මැද භාගයේදී බොර තෙල් බැරැලයක මිල ඩොලර් 67 දක්වා වර්ධනය වූ අතර, ඊයේ දිනය වන විට එය ඩොලර් 77 ක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ ආකාරයට බලන විට ඩොලර් 35 සිට ඩොලර් 77 දක්වා වන අතිවිශාල මුදලක් එක් බොර තෙල් බැරැලයක් වෙනුවෙන් ගෙවීමට අපට සිදු වුණා. ඒ අනුව මේ වන විට ඩොලර් 41 කින් පමණ බොර තෙල් බැරැලයක මිල ඉහළ ගොස් තිබෙනවා. එය 2015 වර්ෂයේ පැවැති මිල මෙන් දෙගුණයක්. එම නිසා සීමා සහිතව ඉන්ධන මිල වැඩි කිරීමට අපට සිදු වුණා.
භූමි තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් රටේ වාද විවාද ගණනාවක් ඇති වී තිබෙනවා. අප භූමි තෙල් මිල අඩු කළ හොත් සිදු වන්නේ ඩීසල් වෙනුවට භූමි තෙල් වාහනවලට භාවිත කිරීමයි. එවිට ඩීසල් වෙළඳාම අඩු වන අතර, ආදායම ද අඩු වනවා. ඒ වගේම එම වාහන වලත් විවිධ ගැටලු ඇති වෙනවා. අප භූමි තෙල් මිල වැඩි කළේ එම නිසයි. නමුත් ධීවරයන්ටත්, විදුලි බලය නොමැති සමෘද්ධි ලාභී පවුල් වලටත් සහන මිලකට භූමි තෙල් ලබාදෙන ලෙස අප තෙල් සංස්ථාවට උපදෙස් ලබාදුන්නා.
අපට ඉන්ධන මිල වැඩි කිරීමට සිදු වුණේ මෙවැනි තත්ත්වයක් මතයි. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයත්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් තෙල් සංස්ථාවට නොගෙවූ රුපියල් බිලියන 70 ක පමණ බිල් පත් තිබෙනවා. කෙටිකාලයක් තුළ මෙම මුදල් ගෙවීමට හැකි වේවිද යන්න විශාල ගැටලුවක්. ලෝකයේ ඉන්ධන මිල ඉහළ යෑමෙන් ඇති වෙන පාඩුවත්, මෙම බිල් පත් නොගෙවීම හේතුවෙන් ලබා ඇති විශාල පාඩුවත් පියවීම සඳහා අප මෙම පියවර අනුගමනය කළා.
2013, 2014 කාලය ලබාගත් ණය මුදල්වල පොලී ගෙවීමටත්, රටේ ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ. අප 2015 දී ආණ්ඩුව භාර ගන්නා විට ආර්ථිකය කළමනාකරණය කරමින් 2016 – 2017 වන විට පොලී මුදල් හෝ ගෙවීමට හැකියාවක් ඇති වුණා. එමෙන්ම අනෙක් මුදල් සංවර්ධන වැඩකටයුතු සඳහා යෙදවීමටත් හැකි වුණා. නමුත් ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති කර ගන්නා විටම මීතොටමුල්ල කුණු කන්ද නායයාම, ගංවතුර තර්ජන, නියඟය ආදී ස්වභාවික විපත්වලට මුහුණදීමට අපට සිදු වුණා. රටේ ඇතැම් ප්‍රදේශවල ඇති වූ නියඟය සමස්ථ කෘෂි කර්මාන්තයට බලපෑම් ඇති කළා. ග්‍රාමීය ආර්ථිකයට බලපෑම් ඇති කළා. ඒ වගේම ගංවතුරෙන් හානියට පත්වූ ගාල්ල, මාතර ආදී ප්‍රදේශවල තවමත් සංවර්ධන කටයුතු සිදු වෙනවා. ඒ සඳහාත් මුදල් යෙදවීමට සිදු වුණා. මෙවැනි තත්ත්වයන් නිසා අය වැයෙන් හෝ රජයේ ආදායමෙන් තෙල් සංස්ථාවට සහයෝගයක් ලබාදීමට නොහැකි වුණා.
බැංකු පොලිය වැඩි යැයි දැනටමත් ඇතැම් ව්‍යාපාරිකයන් අපට චෝදනා කරනවා. තවත් 5% කින් හෝ 7% කින් පමණ බැංකු පොලිය වැඩි වුණා නම් ඔබ කරන්නේ කුමක්ද? එවැනි ජනතාවට පීඩාකාරී විසඳුම්වලට නොයා ඉන්ධන මිල වැඩි කිරීම වැනි විකල්පයක් තෝරා ගැනීමට අප තීරණය කළා. ඒ වගේම ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වන විට ශ්‍රි ලංකාවේ ඉන්ධන මිල අඩු කිරීමට අප කටයුතු කරනවා. දැනට ඩොලර් 77 ක්ව පවතින බොර තෙල් බැරැලයක මිල 80 දක්වා වැඩි කිරීමට සවුදි අරාබිය උත්සහ කරනවා. නමුත් අනෙක් රටවල් ඊට සහයෝගය දක්වන්නේ නැහැ. තවත් වසරක් පමණ ගත වන විට මෙම මිල තත්ත්වය අඩු වෙනු ඇතැයි අප විශ්වාස කරනවා. එවිට එම සහනය අපි ජනතාවට ලබා දෙනවා.
2015 දී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වීමේ සහනය අප ජනතාවට ලබාදුන්නා. 2017 දී ඉන්ධන මිල ඉහළ යෑම ආරම්භ වූවත් යම් තරමක පාඩුවක් දරා ගනිමින් අප ජනතාවට ඉන්ධන ලබාදුන්නා. නමුත් මේ වන විට තවදුරටත් ඉන්ධන මිල ඉහළ ගොස් ඇති නිසා විශාල අලාභයක් දැරීමට අපේ තෙල් සංස්ථාවට හැකියාවක් නැහැ.
ඉන්ධන මිල වැඩි නොකර තෙල් සංස්ථාවේ පාඩු පිරිමසා ගැනීම සඳහා රටේ මුදල් යෙදවුවහොත් සංවර්ධන කටයුතු සඳහා මුදල් නොමැති වෙනවා.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම ආරම්භ වී තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් ඔබව දැනුම්වත් කිරීමටයි මා මේ අදහස් ප්‍රකාශ කළේ.


0 Comments