Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාවක් චීනය පළමුවරට අත්හදා බලයි

 චීනය විසින් නිෂ්පාදිත පළමු ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව පළමුවරට මුහුදේ අත්හදා බැලීම් සිදුකරයි. චීනය තම නාවික හමුදාව නවීකරණය කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව නිෂ්පාදනය කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙම නෞකාව ‘ටයිප් 001 ඒ’ යනුවෙන් හැඳින්වෙන අතර පළමුවරට මුහුදේ දී අත්හදා බැලීම් කර ඇත්තේ පසුගිය (12) දිනයේදීය. ඊසාන දිග චීනයේ වරායකින් එරට වේලාවෙන් පෙරේදා (13) උදෑසන 6.45ට පමණ මෙම නෞකාව අත්හදා බැලීම් සහ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

යුද නෞකාව දියත් වන අයුරුත්, එහි තිබෙන ප්‍රහාරක ගුවන් යානා අහසට ගමන් අයුරු දැක්වෙන වීඩියෝ පට කිහිපයක් චීනයේ රාජ්‍ය රූපවාහිනි සේවය වන සී.සී.ටීවී රූපවාහිනි සේවය විසින් ප්‍රකාශයට පත්කෙරිණි. නෞකාවේ එන්ජිම, නාවික යාන්ත්‍රණ පද්ධතිය මුහුදේ දී අත්හදා බලන පළමු අවස්ථාව මෙය යැයි ද සී.සී.ටීවී පුවත් සේවය වාර්තා කළේය. මෙම නෞකාව නිල වශයෙන් දියත් කරනු ලැබුවේ මීට වසරකට පෙර වුවද නෞකාවේ එන්ජිම, නාවික යාන්ත්‍රණ පද්ධතිය සහ ප්‍රචාලනය (ඉදිරියට ගමන් කිරීම) අත්හදා බලනු ලැබුවේ පළමු වරට බව එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.

මෙම නෞකාව අධිකාරි ධුරයට පත්කිරීම 2020 වසරේ දී සිදුකිරීමට නියමිතව තිබෙන අතර මෙම නෞකාවත් සමඟ චීනය සතුව ඇති ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා සංඛ්‍යාව දෙකක් බවට පත්වේ.

තායිවානය නිදහස් අරගලයක් දියත් කළහොත් එය සීමා කිරීමටත් දකුණු චීන මුහුදේ තම බලය තවදුරටත් ශක්තිමත් කරගැනීමටත් චීනය බලාපොරොත්තු වේ. චීනය සතු අනෙක් ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව සෝවියට් නිෂ්පාදනයක් වන අතර එය යුක්රේනයෙන් මිලදී ගත්තකි. එම නෞකාව 2012 වසරේ දී මෙහෙයුම් ආරම්භ කළේය. එම නෞකාව ‘ලියෝනින්ග්’ නම් වේ.

මෙම නෞකාව නිෂ්පාදනය කිරීමත් සමඟ තම රටේම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාවක් නිෂ්පාදනය කළ සහ කරන රටවල් කිහිපය අතරට චීනය ද එක්වෙයි. අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ බ්‍රිතාන්‍ය තම රටේදීම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා නිෂ්පාදනය කළ අනෙකුත් රටවල් වෙයි.

කෙසේ නමුත් මෙම නෞකාව න්‍යෂ්ටික බලය සහිත අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා 11න් එකකට වත් සමාන නොවේ. අමෙරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා 11 න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ අතර ප්‍රමාණයෙන් අවි ආයුධ ශක්තියෙන් අනෙකුත් රටවල ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාවලට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් පසුවෙයි.

කෙසේ වෙතත් චීනය තම නාවික හමුදාව ද ඇතුළුව ත්‍රිවිධ හමුදාව නවීකරණය කිරීමේ වැඩසටහනක් දියත් කර තිබේ. චීන ත්‍රිවිධ හමුදාව මිලියන 2ක මිනිස් බලයකින් සමන්විත වන අතර එය ලොව විශාලතම හමුදාව ද වෙයි. චීනය මේ වනවිට තම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව ද නිෂ්පාදනය කරමින් සිටින අතර තෙවැනි නෞකාවක් ද නිෂ්පාදනය කරන බවට වාර්තා වුවත් එරට ආරක්ෂක අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();