Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්‍රීඩාවේ උන්නතියට දායක වූ පරිපාලනයේ දක්ෂයන්ටත් නිලවරණවලට ඉදිරිපත් වීමේ අවස්ථාව ලබා දිය යුතුයි

 ජාතික මට්ටමෙන් ක්‍රීඩා කර නැතත් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් දායකත්වය ලබා දුන් පරිපාලනයේ දක්ෂයන්ට ක්‍රීඩා ඇමැතිවරයාගේ කැමැත්ත අනුව ජාතික ක්‍රීඩා සංගම්වල නිලවරණවලට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දිය යුතු බව ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති වෛද්‍ය මයියා ගුණසේකර මහතා අවධාරණය කරයි.

“ජාතික මට්ටමෙන් ක්‍රීඩා නොකළත් ක්‍රීඩා පරිපාලනයේ දක්ෂ අය ඉන්නවා. මේ සමහරු මෙරට ක්‍රීඩා සමාජ නගා සිටුවීම සඳහා කැපවීමෙන් යුතුව ලොකු දායකත්වයක් ලබා දී තියෙනවා. මෙවැනි පුද්ගලයන්ට ක්‍රීඩා සමාජවල ඉල්ලීම හා ක්‍රීඩා ඇමැතිවරයාගේ කැමැත්ත මත ජාතික ක්‍රීඩා සංගම්වල නිලවරණවලට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දිය යුතුයි” ඒ මහතා කියයි.

“නිලවරණයකට ඉදිරිපත් වූ පමණින් කෙනෙකුට තනතුරු ලැබෙන්නේ නැහැ. ඔහු ජන්දයෙන් ජය ගත යුතුයි. නිලවරණයට ඉදිරිපත් වීමට තිබෙන අයිතියට අකුල් හෙලීම සමාජයට කරන අසාධාරණයක්. ක්‍රීඩා සමාජවලට කරන අසාධාරණයක්. ප්‍රජාතන්ත්‍රවාදයට කරන අසාධාරණයක්.”

ජාතික ක්‍රීඩා සංගම්වල නිලවරණ පැවැත්වීමේදී කළ යුතුව තිබෙන්නේ ඒ ප්‍රවාහයෙන් පුද්ගලයන් ඉවත් කිරීම නොව දක්ෂයන් ඊට ඇතුළත් කර ගැනීම බවද විශේෂඥ ශල්‍ය වෛද්‍ය මයියා ගුණසේකර මහතා සඳහන් කරයි.

“ක්‍රීඩාව කරපු අය තනතුරුවලට පත්වීම හරි. නමුත් ක්‍රීඩාව නොකළත් ක්‍රීඩාවට ආදරය කරන අයත් ඉන්නවා. මේ අය අතරින් පරිපාලන ක්ෂේත්‍රයේ බොහෝ පළපුරුද්ද තියෙන අය ඉන්නවා. ඔවුන්ටද තනතුරුවලට ඡන්දය ඉල්ලීමේ අයිතියක් තියෙනවා. ඔවුන් දිනුවොත් තනතුරුවලට පත්වේවි. වැදගත් වන්නේ ඒ සඳහා නිලවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව ඔවුන්ට ලබා දීමයි. මේ අය එයින් ඉවත් කිරීම අසාධරණයි. එය මෙරට ක්‍රීඩාව නගා සිටුවීමට දරණ ව්‍යායාමයට කරන බාධාවක්.”

“තනතුරුවලට ඉදිරිපත් වෙන්න පුළුවන් ක්‍රීඩාව කරපු අයට පමණක් කියා නීති දාන්න එපා කියලා ජාත්‍යන්තර රග්බි සම්මේලනයත් ඒ දවස්වල අපට කියා සිටියා. ක්‍රීඩාව නොකරපු එහෙත් පරිපාලනයේ දක්ෂයන් අයින් කිරීම අසාධාරණයි” ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සිවු වසරක් සභාපති හා උපසභාපති ධූරයන් දැරූ මයියා ගුණසේකර මහතා ප්‍රකාශ කරයි. දක්ෂ රග්බි ක්‍රීඩකයෙකු වූ ඒ මහතා වසර අටක් ම ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායම් නියෝජනය කිරීමට සමත් විය. මයියා ගුණසේකර මහතා දෙවසරක් ජාතික රගර් පුහුණුකරු ලෙසද කටයුතු කර තිබේ.

ජගත් ඔලිම්පික් කමිටුවද පරිපාලකයන් තනතුරුවලට පත්වීම ප්‍රතික්ෂේප නොකළ බවද ජාතික ක්‍රීඩා සභාවේ වසර හයක් සභාපති ලෙස කටයුතු කර ඇති වෛද්‍ය මයියා ගුණසේකර මහතා පෙන්නා දෙයි.

පරිපාලනයේ දක්ෂ පුද්ගලයෙකු මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට දායක වූවාද නැද්ද කියා දන්නේ ක්‍රීඩා ඇමැතිවරයා බවත් ඒ අනුව ඇමැතිවරයාගේ කැමැත්ත ඇත්නම් එවැනි පුද්ගලයන්ටද නිලවරණයට ඉදිරිපත් වීමට ඉඩ ලබා දිය යුතු බවත් ඒ මහතා කියයි.

“මෙය දේශපාලන බලපෑමක් කියා සමහරෙක් අර්ථ කථනය කරනවා නම්, ක්‍රීඩා සංගමයේ ක්‍රීඩා සමාජවල බහුතරයකගේ කැමැත්ත අනුව එවැනි පුද්ගලයන්ට නිලවරණයට ඉදිරිපත් වීමට ඉඩ සැලසීම ඒ සංගම්වල වගකීමයි. ඒ අයට නිලවරණයට එන්න පුළුවන් විදිහට සංගමයේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි.”

“ක්‍රීඩා කළ පමණින් කෙනෙකු දක්ෂ පරිපාලකයෙකු වෙන්නේ නැහැ. පරිපාලකයන් ඉවත් කිරීමෙන් සිදු වන්නේ දක්ෂයන් නැතිවී අදක්ෂයන් පත්වීමයි!” මයියා ගුණසේකර මහතා වැඩි දුරටත් කියා සිටී. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();