කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේ දී සිදු වී ඇතැයි කියන මුදල් අක්‍රමිකතාව සම්බන්ධ සිද්ධියට අදාළව නිමල් පෙරේරා යන අයගේ ගිණුමට දෙවරක දී බැර වූ යූරෝ ලක්ෂ 7ක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත් ඊට බැංකු ගිණුම් විස්තර සහ අදාළ සමාගමේ ලේඛන අන්‍යෝන්‍ය සහයෝගීතා පනත යටතේ සිංගප්පූරු රජයෙන් ඉල්ලා ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (18) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ දැනුම් දුන්නාය.
සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් (16) දා සහ පෙරේදා (17) ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත් එම මුදල් ඔහුට ඉතාලි ජාතිකයකුගෙන් ලැබුණු බවට ප්‍රකාශ කළ බවත් එහෙත් එම විදේශිකයාගේ ලිපිනය තමන් නොදන්නා බවට අදාළ ප්‍රකාශ මගින් දැනුම් දී ඇතැයි ද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඊයේ (18) දින සිට ලබන ජූලි 13 වැනිදා දක්වා විදේශ ගත වීමට ද මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දූන්නාය.
නාමල් රාජපක්ෂ මහතාට විදේශ රටවල් පහකට පමණ යාමට ඇති බව කියමින් පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඇතුළු නීතිඥ මඬුල්ල සිදු කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරිය මේ අවසරය ලබා දුන්නාය.
ඒ මහතා විසින් නිසි පරිදි අධිකරණයට ඉදිරිපත්වීම සහ අවසර ලබා විදේශ ගත වීමෙන් අනතුරුව අධිකරණයට නැවත ඉදිරිපත්වීම යන කරුණු සලකා බලා අවසර ලබා දෙන බව ද මහේස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.
පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංසදයේ තරුණ සමුළුව නියෝජනය කරමින් නේපාලය සහ රුසියාවට ගොස් පැමිණ සිටි නාමල් රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කළ අතර, එය නැවතත් මන්ත්‍රීවරයාට මුදා හරින ලෙසත් ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙසටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
විදේශ ගතවීමෙන් පසුව ඉදිරි නඩු දිනය දා විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මෙහි දී මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත විමර්ශන සිදු කරන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
මේ මුදල් අක්‍රමිකතාව සම්බන්ධ සිද්ධියට ඇප මත සිටින හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (18) අධිකරණයේ පෙනී සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව 2018 වසරේ ජුලි මස 13 වැනිදා යළි කැඳවන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මේ සිද්ධියට සම්බන්ධව රුපියල් මිලියන 70ක පමණ මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට දූෂණ විරෝධී හඬ සංවිධානය පොලිස්පතිවරයාට සිදු කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇති අතර, එම කොට්ඨාසය පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වී අධිකරණයට කරුණු දැක්වීය.


0 Comments