Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දැනට පවතින වර්ෂාව ඉදිරි පැය විසිහතර තුළදි වැඩි වීමේ අවදාමනක්

Author(s): 
සන්ධ්‍යා කරුණාරත්න

දැනට පවතින වර්ෂාව ඉදිරි පැය විසිහතර තුළදි වැඩි වීමේ අවදාමනක් පවතින අතර ගංවතුර, නාය යෑම් ඇතුළු ආපදාවන්ට ජනතාවට මුහුණ දීමට සිදු විය හැකි බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්. අමලනාදන් මහතා පවසයි.

රත්නපුර, කළුතර, කෑගල්ල, ගාල්ල, මහනුවර, බදුල්ල, කුරණෑගල, කොළඹ දිස්ත්‍රික්කයන්හි ස්ථාන කිහිපයක් නාය යාමේ අවධානමක් පවතින බවත් පස් කණ්ඩි අසල ජීවත් වන ජනතාව කල්පනාවෙන් කටයුතු කළ යුතු බවත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.

පවතින වර්ෂාව හේතුවෙන් මේ වන විට පුද්ගලයන් හයදෙනකු මරණයට පත්ව ඇති බවත් ආරක්ෂිත ස්ථාන 30 ක පුද්ගලයන් 1000 ක් පමණ රැඳී සිටින බවත් අමලනාදන් මහතා පැවැසුවේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (21) ප්‍රකාශ කළේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, කුරුවිට, ඇහැළියගොඩ, අයගම, කොළොන්න, නිවිතිගල, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දැරණියගල, අරණායක, ගලිගමුව, යටියන්තොට, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, තවලම, නෙළුව, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ, දොළුව, ගඟවට කෝරලේ, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව, මල්ලවපිටිය, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක යන ප්‍රදේශයන්හි නාය යාමේ තත්ත්වයක් ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවලට මේ වන විටත් රතු නිවේදන නිකුත් කර ඇති අතර ඇතැම් ස්ථානවල ජනතාවට අවදානම නිසා එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසට දැනුම් දී ඇති බවත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා කීය.

කැලණි හා කළු ගංගාවන්හි සුළු ගංවතුර තත්ත්වයේ සිට මහ ගංවතුර තත්ත්වයක් දක්වා ඇති විය හැකි යැයි ද, ඇතැම් ස්ථානයන්හි පවතින පිටාර මට්ටම සලකා බලා ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර ඇතැයි ද ඒ මහතා පවසයි.

අද (22) දිනයේදි සාමාන්‍ය වැසි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි අතර හෙට (23) සහ අනිද්දා (24) දිනයන්හි වර්ෂාව වැඩි වීමේ අවදානමක් පවතින්නේ යැයි ද, බස්නාහිර හා දකුණු පළාත්වල සුළඟේ වේගය වැඩි විය හැකි යැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඇතැම් ස්ථානයන්ට මිලිමීටර් 200 ක වැසි තත්ත්වයක් ලැබීම හේතුවෙන් නාය යාමේ අවදානම පවතින බවත් උඩවලව, දැදුරු ඔය ඇතුළු ස්ථානයන්හි වාන් දොරටු විවෘත කර ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කිසියම් ආපදාවක් ඇති වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව හා නිලධාරින් දැනුවත් කර ඇති බවත් බෝට්ටු 247 ක්, ඔරු අගුල් 275 ක්, ජීවිත ආරක්ෂක කබා, ස්වයංක්‍රීය කියත් යනාදිය අවදානම් පවතින ස්ථානයන්ට ලබා දී ඇති බවත් එම මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

ගංවතුරෙහි දිය නෑම හා එම ජලය පරිහරණය කිරීම අනතුරුදායක විය හැකි බවත් අකුණු සැර නිසා මරණ හතරක් සිදුව ඇති අතර අකුණු සැරවලින් ප්‍රවේශම් වන ලෙසට දැනුම් දෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කිසියම් ආපදාවක් වෙතොත් 117 ක්ෂණික ඇමතුමට හෝ 0112588946, 0112501834 දුරකථන අංකයන්ට දැනුම් දිය හැකිය. මීට අමතරව 119, 1998 (විදුලිය විසන්ධි වීම), 1990 (සුවසැරිය ගිලන්රථ) යනාදියට කතා කළ හැකිය.

මේ අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි, කාලගුණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස්, වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා) මාලා අලවතුගොඩ මහත්ම මහත්මීහු සහභාගි වූහ. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();