ජාතික කණ්ඩායම ශක්තිමත් කිරීමට පිටපළාත් ක්‍රීඩාව ඉහළ නැංවිය යුතුයි
“ජාතික කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයන් බිහි වෙන්නේ පාසලින් බව මා තදින් විශ්වාස කරනවා. නමුත් වර්තමානයේදී එවැනි සංස්කෘතියක් දක්නට ලැබෙන්නේ නැහැ. එම සංස්කෘතිය මේ වන විට බරපතල ලෙස අර්බුදයට ලක්වෙමින් තියෙනවා. මා ජාතික කණ්ඩායමේ නායකත්වය පත් වුණේ 1991 වර්ෂයේදී. ඉන්පසුව සෑම අවස්ථාවකදීම පිට පළාත් ක්‍රීඩකයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළා. උදාහරණයක් ලෙස 1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිහා බලමු. එයින් සියයට අසූවකට වඩා බහුතරය පිට පළාත්වලින් පැමිණි ක්‍රීඩකයන්. ඔවුන් නොවන්නට 96දී ලෝක කුසලානය දිනා ගැනීමේ හැකියාවක් අපිට උදා වන්නේ නැහැ. මගේ අදහස වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය අදටත් තියෙන්නේ පිට පළාත්වල බවයි. අපි පිට පළාත්වල ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කළ යුත්තේ ඒ නිසයි ” හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය. ඒ මහතා මේ බව කියා සිටියේ “රන් සටන” වාර්ෂික පාසල් එක්දින ක්‍රිකට් තරගයේ ජය සංකේත ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
තරගය සහ ජය සංකේත ප්‍රදානය පෙරේදා (13) පැවැත්වුණේ ත්‍රිකුණාමලය ශ්‍රී කෝනේස්වරා හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදීයි. රන් සටහන නමින් විරුදාවලිය ලත් වාර්ෂික පාසල් එක්දින ක්‍රිකට් තරගය මෙවර පැවැත්වුණේ 25වැනි වරට ත්‍රිකුණාමලය ශ්‍රී කෝනේස්වරා හින්දු විද්‍යාලය සහ මඩකලපුව ශිවානන්දා විද්‍යාලය අතර පැවැත්වුණි.
තරගයේ කාසිය වාසි දිනූ මඩකලපුව ශිවානන්දා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඕවර් 49යි පන්දු 3කදී සියලු දෙනා දැවී ඔවුන් ලකුණු 156ක් රැස් කළේය. එස්. ප්‍රතීස් ලකුණු 29යි. ජූඩ් විනිස්ටාන් ලකුණු 25යි.
තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ත්‍රිකුණාමලය කෝනේස්වරා විද්‍යාලය ජයග්‍රාහී සීමාව පසු කළේ ඕවර 48යි පන්දු 3කදී කඩුලු 6ක් පමණක් දැවී සිටියදීයි. ඒ අනුව ත්‍රිකුණාමලය කෝනේස්වරා හින්දු විද්‍යාලය තරගය කඩුලු හතරකින් ජය වාර්තා කළේය. කේ. තිනුක්ෂාන් ලකුණු 45ක් රැස් කරමින් තරගයේ වීරයා සහ හොඳම පිතිකරු සම්මානය දිනා ගත්තේය.



0 Comments