ශ්‍රී ලංකාවේ තුරඟ තරග ක්‍රීඩාවට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිවෙයි. ආසියා හා ඕෂනියා කළාපයේ තුරඟ තරග ක්‍රීඩාවට සම්බන්ධ රටවල් 25ක පමණ සහභාගීත්වයෙන් පැවැති මහා සභාවකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නුවරඑලිය තුරඟ සමාජය එක්වූ අතර එහිදී ජාත්‍යන්තරයේ මූලික පිළිගැනීමක් හිමිව තිබේ.
37වැනි වරටත් කොරියාවේ සෝල් නුවර පැවැත්වූ මේ රැස්වීම ASIAN AND OCEANIAN STUD BOOK COMMITTEE MEETING ලෙස නම්කොට තිබූ අතර එහිදී අශ්වයන් පිළිබඳ හා තුරඟ තරග ක්‍රීඩාව සිදුකෙරෙන රටවල ඉතිහාස වාර්තා සමාලෝචනය කෙරුණි. ශ්‍රී ලංකාවේ තුරඟ තරග දශක කිහිපයක් තිස්සේ පැවැතියද නුවරඑළිය රාජකීය තුරඟ සමාජය ක්‍රීඩාවට ලබාදී ඇති නව මුහුනුවර පිළිබඳ මේ රැස්වීමේදී පැහැදිලි කෙරුණි. එම රුස්වීමට සහභාගීවූ රාජකීය තුරඟ සමාජයේ ප්‍රධාන විධායක සින්ක්ලෙයාර් මාෂල්, කමිටු සාමාජික හා භාණ්ඩාගාරික නිසිත රූපසිංහ යන මහත්වරු ඡායාරූප හා වීඩියෝ දර්ශන මගින් ශ්‍රී ලංකා තුරඟ තරග ක්‍රීඩාව පිළිබඳ පැහැදිලි කළහ.
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට තුරඟ තරග ක්‍රීඩාව පිළිබඳ ජාත්‍යන්තර සංගමයක් නියෝජනය කිරීම විශේෂත්වයක් බවත් ඉතා ඉක්මණින් ජාත්‍යන්තරයේ නිල පිළිගැනීම ශ්‍රී ලංකාවට හිමිවන බවත් නුවරඑළිය රාජකීය තුරඟ සමාජයේ කමිටු සාමාජික හා භාණ්ඩාගාරික නිසිත රූපසිංහ මහතා ‘දිනමිණ’ ට පැවැසීය. මේ රැස්වීමට ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය සෘජු සාමාජිකයන් ලෙස මේ වසරේ සිට එක්ව ඇත. බහරේනය, චීනය, ඉන්දියාව, ජපානය, කොරියාව, මාලේසියාව, ඕමානය, පිලිපීනය, කටාර්, සෞදි අරාබිය, තුර්කිය, එක්සත් අරාබී එමීර් රාජ්‍යය, හොංකොං, පාකිස්තානය, ඉරානය, කුවේට් හා තායිලන්තය වැනි රටවල සාමාජිකයන් රැසක් මේ සභාව නියෝජනය කළහ.


0 Comments