Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යාන් ඔය ව්‍යාපෘතියෙන් අවතැන් ජනතාව නැවත පදිංචි කිරීම කඩිනම් කරන්න

දැනට 95%කටත් වඩා ප්‍රධාන ඉදිකිරීම් වැඩ නිම වී ඇති යාන් ඔය ජලාශ ව්‍යාපෘතියට ඉඩම් පවරාගැනීම නිසා තම පාරම්පරික ගම්බිම් ඉඩකඩම් අහිමිව ගොස් සිටින අවතැන් පවුල් යළි පදිංචි කරවීමේ කාර්යය කඩිනමින් අවසන් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වාරිමාර්ග අමාත්‍යාංශය ඇතුළු අදාළ පාර්ශ්වලට උපදෙස් දී තිබේ.

මහවැලි උපදේශන කාර්යාංශයෙන් යාන් ඔය ජලාශ ව්‍යාපෘතියේ ඉඩම් පිළිබඳ පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාව මේ දක්වා නිකුත් නොකිරීම නිසා නැවත පදිංචි කිරීම සම්බන්ධව සමස්ත වැඩපිළිවෙළ ලත් තැනම ලොප් වෙමින් ඇති බව ව්‍යාපෘති ආරාංචි මාර්ග පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් යාන් ඔය ජලාශ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන කමිටු සභාපති හා අනුරාධපුර දිසාපති ආර්. එම්. වන්නිනායක මහතා සිය අප්‍රසාදය පල කරමින් අදාළ වාර්තාව හැකිතාක් ඉක්මනට ලබාදෙන ලෙස වාරිමාර්ග ලේකම්වරයා ඇතුළු අදාළ පාර්ශ්වවලින් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

පසුගිය දා ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී යාන් ඔය අවතැන් ජනතාව නියෝජනය කරමින් පැමිණ සිටි ඕමාරකඩ නව ගම්මානයේ ගොවි සංවිධානයේ සභාපති යු. බී. දිසානායක සහ ලේකම් එස්. අබේසිංහ මහත්වරුන් ඇතුළු සාමාජිකයන් තමන් පත්ව ඇති අසරණ තත්ත්වයට වාරිමාර්ග අමාත්‍යාංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ යාන් ඔය ජලාශ ව්‍යාපෘතියේ බලධාරීන් වගකීම භාර ගත යුතු යැයි අවධාරණය කළහ. තම ඉඩකඩම් සහ දේපළ පවරා ගැනීමේ දී ඉතා යහපත් ජීවන තත්ත්වයක් ලබාදෙන බවට රජය පොරොන්දු වුවද බලාපොරොත්තු වු ආකාරයෙන් ඒ කිසිවක් ඉටු නොවන තත්ත්වයක් උදා වී ඇති බව ද ගොවි ජනතාව පවසති.

යළි පදිංචි කරවීම නිසි කාලවකවානුවල දී අවසන් නොකිරීම, ජීවනෝපාය සඳහා ගොවිතැනට විකල්ප මඩ ඉඩම් වෙන්කර නොදීම, අලුතින් ඉදි වන ජනාවාසවල යටිතල පහසුකම් සැපයීමේ දී ඇති වන ප්‍රමාද දෝෂ ඇතුළු ගැටලු පිළිබඳ අදහස් දැක්වු ඕමාරකඩ, වහල්කඩ සහ මාවතගම ජනතාව යාන් ඔය ජලාශයේ ප්‍රධාන වේල්ල චීන සමාගම විසින් නියමිත කාලයටත් වඩා කලින් ඉදි කර ඇතත් යාන් ඔය ජලාශයට ජලය පිරවීම වසරක් පුරා දිනෙන් දින කල්යමින් පවතින බව සඳහන් කළහ.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඔවුහු මෙසේ පැවැසූහ.

"යාන් ඔය ජලාශ මෝයකට වැසීමේ කටයුතු දැන් කෙරීගෙන යනවා. නමුත් ජලාශයට අයත් වම් සහ දකුණු ප්‍රධාන ඇල මාර්ගවල ඉදිකිරීම් කටයුතු පටන් ගත්තා පමණයි. යාන් ඔය වැලි නිධිය නිසා ප්‍රදේශයේ මාර්ග පද්ධතිය සම්පුර්ණයෙන් අබලන් වී ගොස් තිබෙනවා. වැලි ගොඩදැමීමට අඩි 30-40 ගැඹුරට හැරීම නිසා ඇති වු ආවාට සහ විශාල වළවල් වසා දමා නෑ. දුවිල්ල නිසා ප්‍රදේශවාසීන් රෝගීන් වෙලා. තවමත් මෙට්‍රික් ටොන් 50,000ක පමණ වැලි ගොඩවල් ජලාශ භූමියේ ගොඩ ගසා තිබෙනවා. අපේ ඉඩම් පවරා ගත්තත් එම ඉඩම්වලට සම්පුර්ණ වන්දි හිමිකම් ලැබී නෑ. ජලාශය පිරවුවත් අක්කර 20,000ක් පමණ වගා කිරීමට ජලය ලබාදීමට නම් වම් සහ දකුණු ඉවුරු ප්‍රධාන ඇලවේලි ඉදිකොට අවසන් විය යුතුයි. තව කොපමණ කාලයකින් ඒ වැඩ අවසන් වෙනවා දැයි කියන්න බෑ. මේ තත්ත්වය යටතේ පවුලකට රු. 8000ක් වශයෙන් ලබා දෙන ජීවනාධාර මුදල සහ අක්කරයට රු. 35,000 බැගින් අහිමි කන්න වන්දි මුදල් දිගින් දිගටම ගෙවීමට පියවර ගන්න. අපේ ජීවනෝපාය සරි කරගැනීමට ජීවන පහසුකම් ලබාදීම සඳහා පියවර ගන්න."

ව්‍යාපෘති ආරංචි මාර්ග අනුව අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක දෙකටම අයත් වන ඌරා වැව, වහල්කඩ ඩී. 6 සහ ඩී. 8, මල්පොරුව, කජු වත්ත, කුඹුක් වැව, ඉස්සන් වැව, ඕමාරකඩ, මෝරාගම සහ ඉදුල්හිටියාව ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පවරා ගත් ඉඩම් වෙනුවෙන් නැවත පදිංචිය සහ ගොවිතැන් කටයුතු වෙනුවෙන් හෙක්ටයාර් 1370ක වනාන්තර භූමි ප්‍රදේශයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිදහස් කර ගත යුතුව තිබේ. ඒ හා සම්බන්ධ කටයුතු පාරිසරික බලපෑම් අධ්‍යයන වාර්තාව ලැබෙන තෙක් අවසන් කිරීමට නොහැකිව තිබේ. මේ පසුබිම තුළ යාන් ඔය අවතැන් ජනතාව දැඩි මානසික කඩාවැටීමකට ලක්ව නොසන්සුන්කාරී වී තිබේ.

අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමුහ නිමල් විජේසිංහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();