Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අද ජනතාව මුදල් දී ලෙඩ ගන්නා තත්ත්වයට පත් වෙලා

"ශ්‍රී ලංකාවේ දියුණු සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පැහැදුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා ඩොලර් මිලියන 200ක් අපට ලබා දුන්නා. ජපානය මිලියන 1000ක් ද, ආසියානු සංවර්ධන බැංකුව මිලියන 60ක් ද ලබා දුන්නා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීමට එම මුදල් වැය කළ යුතුයි. ඒ සඳහා අවුරුද්දකට මිලියන 500ක් පමණ අප අමාත්‍යාංශයෙන් වැය කළ යුතුයි. නමුත් අපේ රටේ රාජ්‍ය සේවයේ පවතින උදාසීනභාවය නිසා එම මුදල් වැය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා." යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

රුපියල් ලක්ෂ 20කට වැඩි මුදලක් වැය කරමින් පසුගිය 03 වැනි දා අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ ඉදි කරනු ලැබු පෝෂණ මන්දිරය විවෘත කරමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

"සුද්දන් හඳුන්වා දුන් පිටි සීනි ආහාර යහමින් ආහාරයට ගැනීම නිසා බෝ නොවන රෝග වැළඳ ගන්නා ජනතාව එම රෝගවලින් මුදාගැනීමට පෝෂ්‍යදායී දේශීය ආහාර වේලක් ලබාගැනීමට අප අමාත්‍යාංශයෙන් මෙවැනි පෝෂණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට කටයුතු යෙදුවා. මේ පෝෂණ මන්දිරයෙන් උදේ ආහාර වේලට ධාන්‍ය ඇතුළ ආහාර වේලක් සියලු නිලධාරීන්ට ලබා දෙනවා. ඔවුන්ගේ නිවෙස්වලට ඒවා ගෙන යෑමෙන් පසු එම ආහාරවලට නිවෙස්වල ජීවත් වන බිරින්දෑවරුන් සහ දරුවන් ද කැමැත්තක් දක්වන පරිදි කටයුතු කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ඉල්ලා සිටිනවා.

අද මහජනතාව මුදල් දී රෝග වැළඳ ගන්නා තත්ත්වයකට පත්ව තිබෙනවා. සීනි, මත්පැන් සහ සිගරැට් මඟින් එම තත්ත්වය උදා වී තිබෙනවා. මේවා තුරන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තදබල නීති රීති ගෙනැවිත් තිබෙනවා. වර්තමාන ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැති වශයෙන් කටයුතු කරන අතරතුර දී සිගරැට් පැකට් එකක 80%ක් රූපමය අවවාද ස‍ඳහන් කරන ලෙස සිගරැට් සමාගමට පාර්ලිමේන්තු පනතකින් නියම කළා. නමුත් හිටපු ජනාධිපතිවරයා එය 60%ක් දක්වා අඩු කිරීමට කටයුතු කළා. පාර්ලිමේන්තුවෙන් සම්පාදනය කළ නීති බාල්දු කරමින් කටයුතු කළා. මේ නිසා අද වන විට ශ්‍රී ලංකාවේ සිගරැට් භාවිතය බොහෝ දුරට අඩු වී තිබෙනවා. ඉතිරි ප්‍රමාණය අඩු කිරීමට සිගරැට් පැකට්ටුවේ 80%ක රූපමය අවවාද සටහන් කිරීමටත්, පාසල් අවට මීටර් 100ක දුරක් සිගරැට් අලෙවිය වැළැක්වීමටත් ඉදිරි කාලයේ දී කටයුතු කරනවා.

මුදල් වියදම් කරමින් බෝ නොවන රෝග ළඟා කරගැනීම වළක්වාගැනීමට අධික සීනි සහිත ආහාර, මත්පැන් දුම් බීමෙන් වැළැකීම, දියවැඩියාව හෘද රෝග වළක්වා ගැනීම ආදියට ජනතාව උනන්දු විය යුතුයි. මැලේරියාව, බරවා මෙරටින් සහමුලින්ම තුරන් කර තිබෙනවා. එච්. අයි .වී. , රුබෙල්ලා වැනි රෝග මෙරටින් තුරන් කිරීම ඊළඟ පියවරයි."

අම්පාර ප්‍රාදේශීය ලේකම් එන්. එම්. උපේක්ෂා කුමාරි මහත්මිය ද අදහස් දැක්වූවාය

හිටපු සෞඛ්‍ය හා පෝෂණ ඇමැති පී. දයාරත්න, නැඟෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති, අම්පාර මහ දිසාපති තුසිත පී. වනිගසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා සුභාෂිණී කුලතුංග මුදලි, අම්පාර මහ රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ලංකාතිලක ජයසිංහ, අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුෂ්ක රණසිංහ, ග්‍රාම නිලධාරී ලීලසිරි යසරත්න මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගි වුහ.

දිගාමඬුල්ල සංචාරක පියසේන වතුදුර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();