ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම් බාලේන්ද්‍ර ඇන්තනී හා හම්බන්තොට පාපන්දු ලීගයේ ලේකම් එම්. මොහොමඩ් යන මහත්වරුන්ට දින 90ක පාපන්දු තහනමක් පැනවෙයි. ඒ අනුව එම මහත්වරු දෙදෙනාට පාපන්දු පරිපාලනයට හෝ පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ කිසිදු කටයුත්තකට සම්බන්ධවීමේ අවස්ථාව පරීක්ෂණ නිමවනතුරු තහනම් කිරීමට පාපන්දු විධායක සභාව තීරණය කොට තිබේ.
පසුගිය පාපන්දු නිලවරණයේදී හම්බන්තොට පාපන්දු ලීගය නියෝජනය කරමින් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව සිටි භාණ්ඩාගාරිකවරයාගේ නම වෙනුවට වෙනත් අයෙකුගේ නම සදහන් කොට තිබූ ලිපියකට හම්බන්තොට පාපන්දු ලීගයේ ලේකම් අස්සන් නොකළ බවට කර ඇති ප්‍රකාශයකින් අනතුරුව මෙම තහනම පැනවීමට තීරණය විය. එම අස්සන කවුරුන් විසින් යෙදූ එකක් ද යන්න විමර්ශනයක් මගින් තහවුරු කරගන්නා තුරු මෙම තහනම ක්‍රියාත්මක කිරීමට පාපන්දු විධායක සභිකයෝ තීරණය කළහ.
පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම් බාලේන්ද්‍ර ඇන්තනී මහතාගෙන් මේ පිලිබඳ ලිඛිතව විමසීම් කළද එයට දිගින් දිගටම පිළිතුරු නොදීම හේතුවෙන් පරීක්ෂණයට යටත්ව තහනම ක්‍රියාත්මක බව පාපන්දු ලේකම් යූ. එල්. ජස්වර් මහතා ‘දිනමිණ‘ ට පැවැසීය. හම්බන්තොට පාපන්දු ලීගය එවැනි ලිපියක් පාපන්දු සම්මේලනයට යොමු නොකළ බව පැවැසීමෙන් ඇතිව තිබෙන අර්බුදය අවසන්කර ගැනීමට ඇන්තනී මහතා වෙත ලියාපදිංචි තැපෑලෙන් ලිපි දෙකක් යවා තිබුණද, එයට ලිඛිත පිළිතුරක් දීමට තවමත් අපොහොසත්වී ඇතැයි ජස්වර් මහතා පැවැසීය.
මේ පිළිබඳව පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම් බාලේන්ද්‍ර ඇන්තනී මහතාගෙන් කළ විමසීමකදී පැවැසූවේ එයට අවශ්‍ය පිළිතුරු දුරකතනයෙන් ලබාදුන් බවයි.
“ ලිපියට කවුරුන් හෝ හොර අස්සන් ගහලා තියෙනවා නම් පොලීසියට දීලා පරීක්ෂණයක් කරන්න කියා මා කිව්වා. පාපන්දු නිලවරණයට කලින් හම්බන්තොට ලීගයේ භාණ්ඩාගාරිකවරයාගේ නම වෙනුවට වෙනත් අයෙකුගේ නම සදහන් කොට ඡන්දය වෙනස් කරදෙන ලෙස ඉල්ලා ෆැක්ස් එකක් ආවා. එය සුදුසු කටයුතු වෙනුවෙන් මගේ ලේකම්වරියට යොමු කළා. ගම්පොළ ලීගයේ ඉල්ලීමක් අනුවත් එහෙම වෙනස්කමක් කරන්න අප ඉඩ දුන්නා. මේක අලුත් දෙයක් නොවෙයි. මේ ගැන කරුණු විමසා මට ලිපියක් ඇවිත් තිබුණා. මා හිටපු ලේකම් ලෙස දුරකතනයෙන් කී දේ විශ්වාස කරන්න බැරි ඇයි “ ඇන්තනී මහතා ප්‍රශ්න කළේය. තහනමක් පිළිබඳ නොදන්නා බවත් එවැනි දැනුම්දීමකින් පසුව ඉදිරි පියවර ගන්නා බවත් හිටපු පාපන්දු ලේකම්වරයා පැවැසීය.
මේ අතර පාපන්දු සම්මේලනයේ රුපියල් මිලියන 28ක පමණ මුදල් අතුරුදන්වීම සම්බන්ධව මූල්‍ය කමිටුවේ හා හිටපු අනෙකුත් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කොට විමර්ශනයක් කිරීමට විශේෂ කමිටුවක් විධායක සභාව විසින් පත්කරණ ලදී. හිටපු මූල්‍ය කළමනාකරුවෙකු මෙම මුදල් ලබාගත් බව ප්‍රකාශයක් කොට ඇති හෙයින් දැනට නඩුවක් විභාග වුවද, හිටපු නිළධාරීන් නොදැනුවත්ව මෙලෙස විශාල මුදලක් ගිණුම්වලින් ලබාගත්තේ කෙසේද යන්න මෙම කමිටුව විමර්ශනය කොට වාර්තාවක් ලබා දිය යුතුව ඇත. එම විමර්ශන කමිටුවට මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි, සහකාර පොලිස් අධිකාරී අශෝක නවුගලගේ, එම්. එම්. රමීස් හා යූ. එම්. පෙරේරා යන මහත්වරු ඇතුලත් වෙති.
බංග්ලාදේශයේ පැවැත්වෙන දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය වෙනුවෙන් කණ්ඩායම පුහුණුකරන රුමී පකීර් අලී මහතාගේ පෞද්ගලික පරිහරණයට මෝටර් රථයක් ලබාදීමට තීරණයවූ අතර පාපන්දු සම්මේලනයේ ලේකම්වරයා දැනට භාවිතා කරන මෝටර් රථය ඒ වෙනුවෙන් යෙදවීමට එකඟවී ඇති හෙයින් සම්මේලනයට අමතර වැයක් නොමැතිබව නිවේදනය කෙරුණි.
දැනට සංචිතගත කොට සිටින පාපන්දු ක්‍රීඩකයන් 35කට රුපියල් 25000 බැගින් හා දකුණු ආසියා පාපන්දු ශූරතාවලියට තෝරා ගන්නා කණ්ඩායමේ ක්‍රීඩකයන් 23ට රුපියල් 35000 බැගින් ගෙවීමටත් තීරණයවී තිබේ. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජූලි මාසයේ සති දෙකක කාලයක් ජපානයේ පුහුණු කදවුරකට එක්වන අතර එම මාසයේ 9වැනිදා සිට 15වැනිදා දක්වා කාලය අතරතුර ලිතුවේනියා පාපන්දු කණ්ඩායමක් සමග ශ්‍රී ලංකාවේ තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතය.


0 Comments