අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට (02) සවස නිදහස් චතුරශ්‍රයේ දී සිදුකරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඒ මහතගේ අවමංගල්‍ය කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකරන බවත් උදෑසන නිවසේ දී ආගමික වතාවත් පැවැත්වීමෙන් පසු දේහය නිදහස් චතුරශ්‍රයට ගෙනවිත් මහජන ගෞරවය සඳහා තැන්පත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ ද කීවේය.
''ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා දේශීය හා විදේශීය වශයෙන් සම්භාවනාවට පාත්‍ර වූ අසහාය සිනමාවේදියෙක්. එතුමා සිනමා ක්ෂේත්රයට කරන ලද මෙහෙවර අමරණීයයි. සිංහල සිනමාව දේශීය අන්යවතාවයක් අනුව ගොඩනැගීමට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පුරෝගාමී මෙහෙවරක් කළා. එතුමා දැයෙන් සමුගන්නා මොහොතේ එතුමා වෙනුවෙන් රාජ්‍ය ගෞරවය පුද කිරීමට තීරණය කර තිබෙනවා."
ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ (බම්බලපිටිය ඩික්මන් පාර) ඒ මහතා පදිංචිව සිටි නිවසේ දී කතෝලික ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව පෙරවරු 10.00ට දේහය රැගත් රිය පෙරහැර පිටත්වීමට නියමිතය. මෙම රථ පෙරහැර නිදහස් චතුරශ්‍රය වෙත යන අතරතුර ජාතික චිත්‍රපට සංස්ථාව ඉදිරිපිට ද සිනමාවේදීන් ඇතුළු කලාකරුවන් විසින් භාරගෙන රූපවාහිනී සංස්ථාවත්, ගුවන්විදුලි සංස්ථාවත් අතර ඇති ප්‍රේමකීර්ති ද අල්විස් මාවත ඔස්සේ නිදහස් චතුරශ්‍රය වෙත පැමිණීමට නියමිතය.
දේහය නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කිරීමෙන් පසු පවුලේ ඥාතීන්ට හා කලාකරුවන් දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව සළසා දහවල් 12.00 සිට සවස 3.00 දක්වා මහජන ගෞරවය සඳහා විවෘතව පවතී. ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ අවමංගල්‍ය උත්සවයේ කටයුතු සවස 3.00ට ආරම්භ කිරීමට නියමිත බවයි.
එහි දී බෞද්ධ ආගමික වතාවත් සිදුකිරිමෙන් පසු කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් විසින් ආශීර්වාදාත්මක දේශනය පවත්වනු ලබයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශෝකය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිදහස් චතුරශ්‍ර භූමියේ චිතකයට බහාලන දේහයට ගිනි දැල්වීමට නියමිතය.
0 Comments